අල ලූනු ඇතත් ‘අල’ වෙන පිටකොටුවේ හරස් වීදි

550

ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් එක කිලෝ එකක්වත් තාම ඇවිත් නෑ

රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ගෙවන්නෙ පුද්ගලික අංශයෙන්

සීනි, තිරිඟු පිටි හිඟය දැනටමත් පවතිනවා

කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිස මෙරට නම් දරාපු ස්ථානයක් ලෙස ප්‍රකටව පවතින්නේ පිටකොටුව 04 වන හරස් වීදිය ය. එබැවින් සතියේ දින පහ පුරා එහි දකින්නට ලැබෙන්නේ ඇවිස්සුණු කඩිගුලක් බඳු ස්වරූපයක්ය. තොග මිලදී ගැනීම සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන් මෙන්ම තම තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් පිණිස ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණෙන සාමාන්‍ය පාරිභෝගික ජනතාවට ද 04 සහ 05 වන හරස් වීදීන් එක සේ විවෘතය. කඩිසරව ඔබ මොබ යන කරත්තකරුවන්, පිට පළාත්වලින් පැමිණෙන ලොරි රථ එහි නිතර දකින්නට ලැබීම හේතුවෙන් මෙම හරස් වීදින් හරහා නිදහසේ ගමන් කිරීම පවා ඇතැම්විට අසීරු කටයුත්තක් බවට පත්ව ඇත. එය කොතරම් කාර්යබහුල දැයි කිවහොත් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූවේ එම වීදින් දෙපස පිහිටි තොග වෙළෙඳසල් ආශ්‍රිතව හය දහසත් අට දහසත් අතර අගයක් ගන්නා සේවක පිරිසක් රැකියාවේ නිරත ව සිටින බවක්ය. 04 වන හරස් වීදියට නැතුවම බැරි කරත්තකරුවන් ද එම පිරිසට අයත්ය.

මේ සා විසල් පිරිවරක් සහිතව දිනපතා ක්‍රියාත්මක වන 4 සහ 5 වන හරස් වීදි තුළ මේ දිනවල යම් තරමක උදාසීන බවක් දැකගත හැක. තොග වෙළෙඳසැල් ආශ්‍රිතව වෙනදට දකින්නට ලැබෙන කඩිමුඩිය දැන් නැත.

ඊට හේතුව බවට පත්වන්නේ මේ දිනවල රට තුළ පැන නැගී ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පැන නැගීමය. එබැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීම පිණිස පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පිරිස්වල තරමක අඩුවක් දැක ගත හැක. මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදියෙන් 75%ක් පමණ මෙරටට ආනයනය කරනු ලබන්නේ පෞද්ගලික අංශය විසින්ය. ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ වෙළඳ මධ්‍යස්ථානය බවට පත්වන්නේ පිටකොටුව 04 සහ 05 වන හරස් විදීන්ය. ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් නිර්මාණය වේද යන ගැටලුව පිළිබඳ යම් සොයා බැලීමක් සිදු කිරීමේ අටියෙන් අප ඉකුත් දිනක පිටකොටුව තොග වෙළෙඳපොළ ආශ්‍රිතව නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනෙමු. එහිදී තොග වෙළෙඳ ව්‍යාපාරික මහතුන් කීප දෙනෙකු සහ මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ව්‍යාපාරික මහතුන් කීප දෙනෙකු හා කතාබහ කිරීමේ අවස්ථාවක් හිමි විය.

පිටකොටුව තොග වෙළෙඳපොළ මේ දිනවල හැසිරෙන ආකාරය පිළිබඳව එහිදී අදහස් දැක්වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති වත්මන් මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් 75%ක් පමණ රට තුළට ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් බවත් රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් තම සංගමය දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත්ය. ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා.

“රට තුළ ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවීමේ යම් ඉඩකඩක් පවතිනව. එහෙම නෑ කියලා කියන්න අපටවත් රජයටවත් අයිතියක් නෑ. පසුගිය මාසෙ 06 වැනිදා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඕපන් එකවුන්ට් හරහා රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම තහනම් කරනව කියල. ඒ දැනුම් දීමත් එක්ක ඒ වෙද්දී මෙරටට ආනයනය කරල තිබුණ අත්‍යවශ්‍ය ආහාර ටිකවත් වරායෙන් නිදහස් කර ගන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. වරායෙ සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඒ කියන්නෙ දඩ මුදලක් ගෙවල තමයි ඒව එළියට ගන්නවනම් ගන්න වෙන්නේ. අපි ඊයේ පෙරේදා මේ සම්බන්ධව වෙළෙඳ ඇමැතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡාවක් සිදු කළා. එතනදී මේ මාසෙ 06 වැනිදා වෙනකම් කාලයක් අපට ලබා දුන්න දඩ මුදල් ගෙවීමකින් තොරව ඒ ගෙන්වන ලද භාණ්ඩ නිදහස් කරගන්න. ඊට අමතරව මේ ගැටලුව සම්බන්ධව මේ වන විට මහ බැංකු අධිපතිවරයා සමගත් අපි සාකච්ඡාවක් පවත්වල තිබෙනවා. එතනදී මහ බැංකු අධිපතිවරයාගෙ මතය බවට පත්වුණේ ඕපන් එකවුන්ට්වලට අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම නතර කළ යුතුයි කියලා. නමුත් එතුමා කිව්ව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට අවශ්‍ය ඩොලර් දෙන්න බලන්නම් කියලා. නමුත් අපි ගෙන්වන්නේ අත්‍යවශ්‍ය ආහාර වර්ග හින්ද නැවක් ලංකාවට ආවට පස්සේ ඩොලර් හොය හොයා බැංකු ගානෙ යන්න අපට පුළුවන්කමක් නැහැ. බඩුටික ආවගමන් වරායෙන් නිදහස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. අල ලූනු වගේ දේවල් ඉක්මනින් නරක් වෙනවා. අලුතින් නිකුත් කළ ගැසට්එක හින්දා පසුගිය මාසෙ ගෙන්වන ආහාර ද්‍රව්‍ය තාමත් තියෙන්නේ වරායෙ. ඒ බඩුවලින් 25%ක් පමණ දැනටමත් නරක් වෙලත් ඇති. දැන් මාසයක් වෙනව ඊයේ පෙරේදා තමයි දඩ මුදල් ගෙවීමකින් තොරව ඒ ටික නිදහස් කර ගන්න රජයෙන් අවසර ලැබුණේ. ආනයනකරුවන් ලෙස අපි ගෙන්වන ආහාරවර්ග ඩොලර් නැතිව වරායේ හිරවුණොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන්නෙත් අපටමයි. කිලෝ එකකට දවසකට රුපියල් 40 ගානෙ ගෙවන්න ඕන.”

රට තුළ ආහාර හිඟයක් ඇතිවෙමින් පවතින බවට ප්‍රචාරය වන යම් යම් කරුණු සම්බන්ධව එලෙස අදහස් දක්වා සිටි නිහාල් සෙනෙවිරත්න මහතා ඉන් අනතුරුව පෞද්ගලික අංශය විසින් සිදු කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේ තවත් පැතිකඩක් හෙළිදරව් කරන්නට විය. එම අදහස් ප්‍රකාශ කිරීම තුළ ගැබ්ව තිබුණේ ඔවුන් විසින් සිදු කරන කාර්යභාරය පිළිබඳවය.

“පෞද්ගලික අංශයෙන් පමණක් මාසෙකට ඩොලර් මිලියන 150ට වැඩි ප්‍රමාණයක් වියදම් කරනව ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන්න. දුරකථන ඇමතුමකින් දැනුම් දුන්නට පස්සේ ඒ ඒ රටවල ඉන්න සැපයුම්කරුවො අපට බඩු එවනවා. රජයට ඒක කරන්න බෑ. අවුරුදු විස්ස තිහ පළපුරුද්දක් තිබෙන පිරිසක් තමයි මේ බිස්නස් එකේ ඉන්නේ. ඉන්දියාවට කෝල් එකක් දුන්නොත් දවස් හතරක් යද්දි ඇණවුම් කරන බඩු ටික ලංකාවට එනව. නමුත් ඕපන් එකවුන්ට් නතර කරලහින්ද දැන් එහෙම ගෙන්වන්නත් පුළුවන්කමක් නැහැ.”

එතනදී මොකද වෙන්නේ ඉල්ලුමට සැපයුම දෙන්න බැරිවෙනවා. ඒක තමයි දැන් වෙලා තිබෙන්නේ. අද පිටකොටුව තොග වෙළෙඳපොළ තුළ සීනි ටික නෑ. පාන්පිටි ටික නෑ. ලංකාවට අවශ්‍ය පාන්පිටිවලින් 75%ක් ගෙන්වන්නේ පිටකොටුවේ ව්‍යාපාරිකයන්, අල, ලූනු, පරිප්පු ගත්තොත් ඒව මුළුමනින්ම රටට ගෙන්වන්නේ මෙතනින්. ඩොලර් මිලියන 160ක් විතර යන වැඩේට ඩොලර් මිලියන 75ක් නම් ලැබෙන්නේ ගෙන්වන ප්‍රමාණය අඩුවෙනවා. ඒක තමයි මේ වෙද්දි සිද්ධවෙමින් පවතින්නෙ. එහෙම නැතුව අපිට හිතෙන හිතෙන ආකාරයට බඩු මිල ඉහළ දැමීමක් නොවෙයි මේ සිද්ධ වෙන්නේ.”

අල ලූනු ඇතත් 'අල' වෙන පිටකොටුවේ හරස් වීදි

“ඉන්දියානු ණය සහනාධාරය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන්න මුදලක් වෙන්කරලා තිබෙනවා. නමුත් තවමත් ඒ යටතේ එක කිලෝ එකක්වත් ලංකාවට ආවෙ නෑ. මේ ඇතිවෙලා තිබෙන තත්ත්වයට විසඳුම් දෙන්න නම් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් හරහා බඩු දිගටම එන්න ඕන. බැරිවෙලාවත් ඉදිරියේදී ආහාර මිලදී ගැනීම පිණිසත් මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙන්න උනොත් ඒක සාමාන්‍ය තත්ත්වයට පත් කරන එක එච්චර ලේසි පහසු කටයුත්තක් වෙන එකක් නැහැ.”

ඉන් අනතුරුව අප හා අදහස් දැක්වූවේ මෙරටට කරවල ආනයනය කරනු ලබන ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු බවට පත්ව සිටින නෙල්සන් ස්ටෝරස් අධිපති නෙල්සන් මහතාය.

“විශේෂයෙන්ම මේ අවුරුද්ද ගත්තොත් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පිටකොටුව තොග වෙළඳාම බරපතළ කඩාවැටීමකට ලක්වෙලා තිබෙනව. ඒක කොච්චර ද කියනවා නම් පිටකොටුවෙ පවා බෝම්බ පිපුරුන යුද්දෙ කාලෙදිවත් මේ වගේ කඩා වැටීමක් සිද්ධ වුණේ නැහැ. ඒ හින්ද ව්‍යාපාරිකයන් විදිහට අපට පමණක් නොවෙයි තොග වෙළෙඳ පොළ ආශ්‍රිතව රස්සා කරන නාට්ටාමිගේ සිට දහස් ගාණක් පිරිසට ලොකු දුෂ්කරතාවයන්ට මුහුණදෙන්න සිද්ධ වෙලා තිබෙනව. මේ තත්ත්වය ඇති වෙන්නේ ඩොලර් හිඟයත් එක්ක. පිටරටින් මෙරටට කරවල ආනයන කරන ව්‍යාපාරිකයෙක් ලෙස මගේ ව්‍යාපාරය ගත්තොත් ඩොලර් මත තමයි ඒක මුළුමනින්ම ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය කරවල ටික අපේ රටේ නිෂ්පාදනය කර ගන්න පුළුවන්කමක් අපිට තිබුණෙ නෑ. ඒ හින්ද හාල්මැස්සගෙ ඉඳල සියලුම කරවල වර්ග පිටරටින් ගෙන්වන අපට සිද්ධ වුණා. උදාහරණයක් විදියට කිව්වොත් ලංකාවෙ මිනිස්සු මාසයක් ඇතුළත හාල්මැස්සො ටොන් 25000ක් ආහාරයට ගන්නව. ඒක ලංකාවට ගෙන්වන්නේ මම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි ඒ බිස්නස් එක මෙච්චර කාලයක් කරගෙන ආව. මිරිස් ටික, කඩල, සුදු ලූනු, අල, ලූනු, හාල්, පරිප්පු ගත්තත් ඔය මොන දේත් පිටරටින් තමයි ලංකාවට ගෙනාවේ. රටේ ඩොලර් නෑ කියල මේවා ලංකාවට ගේන එක නතර වුණේ නෑ. ඒ ඒ රටවල ඉන්න සැපයුම්කරුවන් එක්ක කතාබහ කරල පෞද්ගලික මට්ටමින් යම් යම් සහන ලබා ගෙන තමයි ඒ දේවල් කරගෙන ගියේ. එතැනදී බඩු මෙසේ යම් ඉහළ යෑමක් සිද්ධ වුණා. නමුත් ප්‍රමාණවත් තරම් රටට ගෙන්වන්න පුළුවන්කම තිබුණා. නමුත්… රටේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් විදිහට පහුගිය 20 වැනිදා රජය විසින් තීරණයක් ගත්තා ඕපන් ඩොකියුමන්ට්වලට බඩු ගෙන්වීම තහනම් කරනව කියල. උණ්ඩියල් බිස්නස් එක නතර කරන්න ගත්ත තීරණයක් විදියට තමයි රජය විසින් එහෙම දෙයක් ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් ඒ තීරණයත් එක්ක පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍යවල හිඟයක් එකපාරම ඇතිවෙන්න ගත්ත. ඒක කොච්චර ද කියල දැනෙන්න තව සතියක් දෙකක් යනව. මොකද ඒ තීරණයත් එක්ක දැනටමත් ව්‍යාපාරික විශාල පිරිසක් බඩු ආනයනය කිරීම නතර කරලා තිබෙනව. ඉස්සර පිටරටින් බඩු ආනයනය කරන ව්‍යාපාරිකයෝ 50 හිටියා නම් අද ඉන්නේ 25 යි. දැන් මොකද වෙලා තියෙන්නෙ. ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න පුළුවන් කමක් නෑ… උදාහරණයක් විදියට කිව්වොත් රුපියල් දාහට තිබුණු කට්ටක් කරවල කිලෝ එකක් අද රුපියල් දෙදාහක් විතර වෙනව. රුපියල් හසියයට හත්සියට තිබුණ හාල්මැස්සො කිලෝවක් අද එක්දහස් දෙසීයක් විතර වෙනව. බලය කිලෝවක් එක්දහස් පන්සිය පැනල. ඒ ගාණට දෙන්නවත් බඩු නෑ… අල, ලූනු, පරිප්පු ගත්තත් ඕක තමයි ඇත්ත. ඒ හින්දා ගෙනාපු බඩු තියෙනවා නම් ඒවා විකුණනවා මිසක මේ තත්ත්වය යටතේ බඩු ආනයනය කරන්න ව්‍යාපාරිකයෝ එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. එතැනදී රට තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඉබේම ඇති වෙනව. මිල ඉහළ ගියා කියල ඉල්ලුමේ අඩුවක් නෑ. ඉල්ලුම තිබෙනව. නමුත් බඩු නෑ. 4 වෙනි හරස් වීදිය ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මෙතැනින් තමයි අත්‍යවශ්‍ය ආහාර වර්ග වැඩි ප්‍රමාණයක් රට පුරා බෙදා හරින්නේ. එහෙම තැනක ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති වෙනවා කියන්නේ ඒක මුළු රටටම බලපාන කාරණයක් බවට පත්වෙනව. දැන් ආරංචියක් තියෙනව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටට ගෙන්වීමේදී අලුත් බද්දක් පනවන්න යනවා කියල. ඒක ඇත්තක් බවට පත් වුණොත් දැනට ඉන්න ටික දෙනත් බිස්නස් එකෙන් අයින් වේවි. එහෙම නැත්නම් ඒ බදු බරත් පාරිභෝගිකයා මත පටවන්න සිද්ධවේවි. එහෙම වුණොත් මීට වඩා බරපතළ අහේනියකට රටක් ලෙස අපිට මුහුණ දෙන්න සිද්ධ වේවි. මේව සම්බන්ධව බලධාරීන් එක්ක කතා කරන්න ව්‍යාපාරිකයන් ලෙස අපට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. ඇමැතිවරයෙක් වේවා අමාත්‍යාංශ ලේකම්වරයෙක් වේවා මේව සම්බන්ධව කතා කරනවා නම් ඒ අය තමන්ගෙ පහළ නිලධාරීන් දෙන තොරතුරුවලට අනුව තමයි තීන්දු තීරණ ගන්නේ. නමුත් ලංකාවට අල ලූනු ගෙන්වන ව්‍යාපාරිකයො තමයි ඒ බිස්නස් එකේ ඇත්ත තත්ත්වය දන්නෙ. කරවල, පරිප්පු රටට ගෙන්වන කෙනා තමයි ඒ බිස්නස් එකේ ප්‍රායෝගික ඇත්ත නැත්ත දන්නේ. ටයි කෝට් දාගෙන කාමරවල ඉන්න මහත්වරු ඒව දන්නෙ නෑ. දන්න කෙනාව අදාළ සාකච්ඡාවට ගෙන්න ගන්නෙත් නෑ. දෙපාර්ශ්වය මුණගැහිලා එහෙම සාකච්ඡා කරන්න පුළුවන් වටපිටාවක් රට තුළ ඇති කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නවලට යම්තාක් දුරකට විසඳුම් හොයා ගන්න පුළුවන් කියලා තමයි ව්‍යාපාරිකයෝ වශයෙන් අපි විශ්වාස කරන්නෙ…”

පිටකොටුව මුල්කරගනිමින් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ප්‍රකට තොග ව්‍යාපාරිකයකු වූ විල්සන් ස්ටෝර්ස් හි අධිපතිතුමන් තමන් ඇතුළු තොග වෙළඳ ව්‍යාපාරිකයන් මේ වන විට මුහුණ දී සිටින ගැටලුව පිළිබඳව අප හා විස්තර කර සිටියේ ඒ ආකාරයෙන්ය. සමස්තයක් ලෙස ගත් කල ඔහුගේ අදහස් දැක්වීම මේ වන විට මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරන තොග ව්‍යාපාරිකයන්ගේ පොදු ප්‍රකාශයක් බඳුය. එම ප්‍රකාශය තුළ මෙරට ආහාර වෙළෙඳ පොළ තුළ ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත අවිනිශ්චිතභාවය පිළිබඳ ඉඟි බොහෝ විය.

එම ව්‍යාපාරික ස්ථානයෙන් පිටමං වූ අප තොග වෙළෙඳාමේ නිරත තවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සමඟ කතාබහක නිරත වූ අතර ඔවුන් ද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දැනටමත් තම ව්‍යාපාරික කටයුතුවල යම් අඩාල වීමක් සිදුවී ඇති බවත් රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉදිරියේ දී එය තවදුරටත් වර්ධනය වීමට ඉඩකඩ පවතින බවත්ය. මේ අතර තොග මිලදී ගැනීම් පිණිස පිට පළාත්වල සිට කොළඹ පැමිණි ව්‍යාපාරික මහතුන් කීප දෙනෙකු සමඟ ද කතාබහ කිරීමට අපට අවස්ථාව උදා වූහ. එහිදී ඔවුන්ද සඳහන් කර සිටියේ දැනට පිටකොටුව තොග වෙළෙඳපොළ තුළින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී භාණ්ඩ හිඟයක් දකින්නට නොලැබුණත් තොග මිලදී ගැනීම් ආදියට ඉහළ මිලක් ගෙවීමට සිදු වී ඇති බවක්ය. ඒ හේතුවෙන් රට පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමක් දිගින් දිගටම සිදුවීම තුළ පාරිභෝගික ජනතාවට අපහසුතාවයකට මුහුණ දීමට සිදුවී ඇති බවත්ය.

රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවයන් සපුරාලීම පිණිස ශාරීරික වශයෙන් වෙහෙසවන පිරිස අතර නට්ටාමි ප්‍රජාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්ය. පිටකොටුව තොග වෙළෙඳපොළ සහ ඒ අවට ඔවුන්ව බහුලව දැකගත හැක. ඔවුන්ගේ දහදිය මහන්සිය පිළිබඳ අප්‍රකට කතා බොහෝය. පිටකොටුව ප්‍රදේශයේ අප කළ සංචාරයේ අරමුණ ඒ පිළිබඳව සොයා බැලීම නොවූයෙන් බඩු මිල ඉහළ යෑම පිළිබඳව ඔවුන් කීප දෙනෙකු හා කරන ලද කතාබහින් පැහැදිලි වෙමින් පැවතියේ තොග මිලදී ගැනීම පිණිස ප්‍රමාණවත් පිරිසක් නොපැමිණීම හේතුවෙන් ඔවුන් නිරත වෘත්තියට ද මරු පහරක් එල්ල වී ඇති ආකාරයක්ය. එය ඔවුන්ගේම වචනයෙන් පහත පරිදිය.

“මොනව කරන්නද මහත්තය උදේට කරත්තයක් කුලියට අරගෙන කීයක් හරි හොයාගන්න තමයි අපිත් පාරට බහින්නේ. උදේට පාන් කාලක් කාල ටී එකක් බොන්න රුපියල් දෙසිය විස්සක් විතර යනව. දැන් හැම දෙයක්ම ගණන් ගිහිල්ල තියෙන්නේ. නමුත් අපේ රස්සාව කරන්න කාගෙවත් ආදායම් වැඩි වුණේ නෑ… බඩු කෑලි දහයක් පහළවක් ඇදලා කීයක් හරි වැඩිපුර ඉල්ලුවාම මුදලාලිලා අහනව උඹලත් ඩීසල් ගහල ද දුවන්නේ කියල. අපිටත් ගෑනු දරුවො ඉන්නව කියල කවුරුවත් හිතන්නේ නෑ. බඩු මිල කොච්චර ඉහළ ගියත් අපේ ආදායම එහෙමමයි. කාල බීල කරත්ත කුලිය දුන්නට පස්සේ ඇති දෙයක් නෑ මහත්තයා… නමුත් මේ රස්සාව නැතුව අපි වෙනවා මොනව කරන්නද මහත්තය. පොඩි මිනිහට තමයි හැමදාම සාගතේ… ඕක තමයි ඇත්ත…”

තිත්ත නමුත් ඇත්ත ඒකය. රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ යන බඩු මිල විසින් පීඩාවට පත් කරන්නේ ද එදා වේල සොයාගැනීමට වෙහෙසෙන දුප්පතුන්වය. මස්, මාළු, බිත්තර කෙසේ වෙතත් පරිප්පු හොද්දක් රත් කර ගැනීමට තරම්වත් ආර්ථික ශක්තියක් නැති පිරිසක් බවට අද ඔවුන් පත්වෙමින් ඇත. නුදුරේ දිනෙක හාල්, පිටි, සීනි මිලදී ගැනීම පිණිසත් පෝලිම් නිර්මාණය වීමට නියමිත රටක් එම අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මුදවා ගනු පිණිස විශ්මකර්මයන් පහළ නොවන බැවින් “එදා වේල” පිළිබඳව පවා ජනතාව තුළ දැන් පහළ වෙමින් පවතින්නේ අවිනිශ්චිත බියකි.

රුවන් ජයවර්ධන
ඡායාරූප –
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment