අර්බුදයක ආරම්භය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් පහළ මට්ටමකට කඩා වැටුණේ ඉතිහාසයේ පළමු වරටය. එය කඩා වැටීමක් නොව විනාශයකි. එනම් ශ්‍රී ලංකාව දැන් තහනමක් පැනවුණු රටකි. ඒ තහනමෙන් ගැළවීමට නම් හරි පීල්ලේ ගමන් කළ යුතුය.

ලෝකයම ලෝක කුසලාන ක්‍රිකට් ගැන කතා කරද්දී අපට තහනමක් ගැන කතා කරන්නට සිදු වීමද රටක් ලෙස අභාග්‍යයකි. ඒ අභාග්‍යය උදාවූයේ එක් තැනකින් නොවේ. තැන් කීපයක සිදු වූ වැරදි අඩුපාඩු නිසා ය. ඒවා එකිනෙක විග්‍රහ කළ නොහැකි වූවද පරිපාලනයට එල්ල වූ බලපෑම් සහ එහි සිදු වූ දුර්වලකම් තරාදියක එක් පැත්තකටත් ක්‍රිකට් පරාජයන් මගින් ඇති වූ අසමත්කම් අනෙක් පැත්තටත් දැමුවහොත් කුමන පැත්තක් උඩ යයි ද කියා කියන්නට නොහැක.

දැන් හෝ ඒ වරදවල් නිවැරදි කර නොගත හොත් ජනතාවගේ දෝෂාරෝපණයෙන් ගැළවෙන්නට මේ වරදේ චූදිතයන්ට නොහැක. හරි යන්නත් වරදින්න ඕනෑ යැයි කියමනක් වූවත් මීටත් වඩා වරදින්න තැනක් නම් දැන් නැත. ළිං කටින් වැටුණු මිනිසා දැන් ළිං පතුළෙ නොව පතුළ දිගේ ද ගොස් පතළක සැඟව ඇති සෙයකි. ඒ නිසා ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දවන්න බැරි මෙන්ම කළ ගොන් කම් යළි කරන්නටද නොහැක.

සාමාජික ලැයිස්තුවේ නම කැපේ

මහත්වරුන්ගේ ක්‍රිකට්වල රස්තියාදු රැකට්… ඉතිං ක්‍රිකට් අභිමානය අහවරයි?

අද අප අතරින් දැනට වෙන්ව ගොස් ඇත්තේ මේ රටේ මිලියන 22 ක ජනතාවගේ හද බැඳ ගත් ක්‍රීඩාවයි. අයිසීසී පූර්ණ සාමාජික රටවල් හෙවත් ටෙස්ට් වරම් ලාභී සාමාජික රටවල් 12 අතරෙන් ශ්‍රී ලංකාවේ නාමය දැන් මැකී ගොස් ඇත. එම වගුවේ දැන් දැක්වෙන්නේ රටවල් 11 කි. දෙපාර්ශ්වයක් එකිනෙකාට විරුද්ධව සිදු කර ගත් බලපෑම් මත ඇති වූ අර්බුදයක ප්‍රතිඵල මත ශ්‍රී ලංකා ක්‍රිකට් යනු අද ලෝකයට තහනම් වචනයක් වී ඇත.

ලෝක කුසලාන දෙකක් (එක් දින හා පන්දු වාර 20-20) ජයග්‍රහණය කර ප්‍රෞඪ ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ වැජඹී සිටි ශ්‍රී ලංකාව ලෝකයේ ඕනෑම රටකට ඕනෑම මොහොතක අභියෝගයක් එල්ල කළ හැකි රටක් විය. මේ පුංචි රටේ මිනිස්සු ක්‍රිකට්වලට පුදුම දක්ෂයෝ වූහ. නැත්නම් ඉහත ලෝක කුසලාන දිනන්න ලැබෙන්නේ නැත. වැඩිම ලෝක කුසලාන දිනූ ඔස්ට්‍රේලියාව ද ශ්‍රී ලංකාවට එරෙහි සටනකට ආවේ දෙපාරක් නොව බොහෝ වතාවක් සැලසුම් හදලාය. ඒත් ඒ සුන්දර රට සමග අද ක්‍රිකට් ගහන්නට කවුරුත් එන්නේ නැත. අපි හුදෙකලාවේ කාලය ගෙවමින් සිටිමු.

පාපන්දු සහ රග්බි

එසේ මෑතකදී අප ලෝකයෙන් වෙන් වූ තවත් ප්‍රධාන ක්‍රීඩා දෙකකි. ඒ පාපන්දු සහ රග්බි ය. එහෙම බලන කල අපට දැන් මේවා නුහුරු නුපුරුදු ද නැත. එහෙත් එය ක්‍රිකට්වලට ද උදා වූ කල දැනෙන ප්‍රමාණය වැඩිය. පාපන්දු තහනමෙන් අප මිදුණේ මීට මාස දෙකකට පමණ ඉහතදී ය. එහෙත් රග්බි තහනම නම් තවමත් ඉවත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම කෙසේ හෝ ඔලිම්පික් හා ආසියානු ධජය යටතේ සහභාගි කරවන්නට අපි වාසනාවන්ත වීමූ. ක්‍රිකට්වලට එවැනි අවස්ථාවකට යන්න වේ දැයි අවිනිශ්චිත මොහොතක අපි සිටිමු.

රට ගොඩනැඟූ ලෙස ක්‍රිකට් ද ගොඩ ගන්නවා

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ තහනම පැනවූයේ පසු ගිය 10 වැනිදා සිකුරාදා රාත්‍රියේය. එම කළු සිකුරාදා පැනවූ තහනමෙන් මෙරට ක්‍රිකට් පිටිය අන්ධකාර වී ගියේය. ඒ අනුව අද 19 වැනිදා වනවිටත් ඒ අන්ධකාරයේ අතපත ගානවා මිස තහනමෙන් මිදීම සඳහා කිසිදු පාර්ශ්වයක් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් එකිනෙකාට ඇඟිලි දිගු කර ගනිමින් තම එදිරිවාදිකම් මොනවට පෙන්නුම් කරමින් සිටිති.

රජ ගෙදරට, පාර්ලිමේන්තුවට මතු නොව රටේ හැම දෙනාටම ප්‍රශ්නයක් වූ මේ ක්‍රිකට් තහනම පිළිබඳව ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී ද සාකච්ඡා කෙරිණි. පසුගිය 14 වැනිදා පැවති එම මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ ක්‍රිකට් තහනම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කැබිනට් අනුකමිටුව වෙත පැවරූ වගයි. කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟූ ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනඟන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. මෙවර අය වැයේදී ක්‍රිකට් සඳහා බිලියන 1.4ක් ලබා දුන්නේ පාසල් සිසුන්ගේ කුසලතා දියුණු කිරීමට බවත් ජනාධිපතිවරයා කීය.

“1996 දී අප ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ගාමිණී දිසානායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ නිසයි. එවකට මා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළා. ගාෆිල්ඩ් සෝබස් මහතා ලංකාවට පැමිණ අපට උදව් කළා. මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් වුණානම් ක්‍රිකට් ක්‍රීඩාවත් ගොඩගත හැකියි.”

මාධ්‍ය ප්‍රධානීන් හමුවේ එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය ඇති වූ වහාම සඳහන් කර තිබුණේ “තමා ක්‍රිකට් පැත්තේ ඉන්නා” බවයි. එනම් ශම්මි පාර්ශ්වය සහ රොෂාන් පාර්ශ්වය නොව ක්‍රිකට් පැත්තේ ජනාධිපති ඉන්නා බව ඉන් කියැවිණි.

රංජිත් බණ්ඩාරගේ තනතුරත් අනතුරේ

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දී උළු හැලෙන්න ඝෝෂා කරනු ලැබුවේ අද ඊයේ නොවේ. එම ඝෝෂා කිරීම් පාර්ලිමේන්තුවෙන් එළියට ගොස් පිට්ටනියට ද ගිය කල ක්‍රීඩකයන්ට ගෙන ආවේ අතිරේක පීඩනයකි. දැන් ඒ සියල්ල අවසන්ය. ක්‍රීඩකයන්ටත් ක්‍රිකට් දැන් නැත. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර විවාද කර ඉන්ද නොනැවතී පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත ද ක්‍රිකට් ගියේය.

එය පාර්ලිමේන්තුවටත් වඩා මහත් විජ්ජුම්බරයක් වූ තැනකි. එහි සභාපතිවරයා වූ රංජිත් බණ්ඩාර මහතා ට කෝප් මුල් පුටුව නැතිවෙන තරම්ම ඒ රැස්වීම් උණුසුම් විය. රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගොට්ටෙකු ලෙස හංවඩු ගැසූ කමිටු සාමාජිකයෝ ඔහුව එම ධුරයෙන් ඉවත් කරන ලෙසටද ඉල්ලීම් කළහ.

මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ පුත්‍රයා වූ කණිෂ්ක බණ්ඩාරත් කෝප් කමිටුවට සහභාගි වී තවත් ආන්දෝලනයක් ඇති විය. විපක්ෂ නායකයා ලෙස තමන්ට සහභාගි වී කතා කිරීම තහනම් කළ කෝප් කමිටුවේ රන්ජිත් බණ්ඩාරගේ පුතා ඉඳගන්නේ කෙසේ දැයි කථානායකවරයා පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න නැගීය. මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරියත් වගකව යුතු බව පැවසූ විට මහ ලේකම්වරිය කථානායකවරයාට දැන්වූයේ රන්ජිත් බණ්ඩාරගේ පුත් කණිෂ්ක බණ්ඩාර රන්ජත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් බවය.

පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටුවක් වන කෝප් කමිටුවේ සභාපතිත්වය දරන මෙම පුද්ගලයා කරුණු වසන් කිරීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ එහි සභාපතිත්වය දැරීමත්, ලබැඳියාවේ ගැටුම සම්බන්ධ කාරණාවේ දී පාර්ලිමේන්තු සදාචාරයට නොගැළපෙන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

ඒ අනුව දැන් කෝප් සභාපතිගේ තනතුරත් මේ ක්‍රිකට් ප්‍රශ්නය නිසා අනතුරේය. ලබන 24 වැනිදා සහ 28 වෙනිදා යළි කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කැඳවීමට නියමිත අතර එම අවස්ථාවේදී හෝ රංජිත් බණ්ඩාර වෙනුවට වෙනත් සාමාජිකයකු සභාපති ධුරයට පත්කර ප්‍රශ්න කිරීම් සිදු කළ යුතු බව බොහෝ මන්ත්‍රීවරු හඬනගා කියා සිටිති.

ලෝක කුසලානයෙන් ලැබුණු මුදල්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇමෙරිකානු ඩොලර් 180,000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක) මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

එහෙත් ක්‍රීඩක පිරිසට ගෙවන මේ මුදල ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම නිමාවන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත. ජගත් ක්‍රිකට් තහනම නිමා වූ වහාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ මුදල නිදහස් කරන බව සඳහන් වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල නෙදර්ලන්තය හා එංගලන්තය සමඟ පැවති තරග දෙක ජය ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 40,000 බැගින් ශ්‍රී ලංකාවට පිරිනැමුණු අතර, තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වන සෑම කණ්ඩායමකටම පිරිනැමෙන ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදල ද මේ මුදලට එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

ලබන 21 වැනිදා තීරණාත්මකයි

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) අනිද්දා (21 වැනිදා) රැස්වීමට නියමිත වේ. ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව තීරණය එහිදී ගැනීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ලබන ජනවාරි මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබීම ඉහත සාකච්ඡාවේදී දැඩි ලෙස අවධානයට ලක් වනු ඇත. ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර තහනම ලිහිල් කර ගැනීමට එම තරගාවලිය විශාල පිටිවහලක් වනු ඇත. මන්ද මේ වන විටත් එම තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකාව විසින් පූර්ව සූදානමක් ලෙස ක්‍රීඩාංගණ සියල්ල ප්‍රතිසංස්කරණය කර ඇත. ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටිය, පී. සරා ඕවල් පිටිය, එස්.එස්.සී. ආදී ක්‍රීඩාංගණ කීපයක් 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර නවීකරණය වූයේය. එම තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් ශ්‍රී ලංකාවට පැමිණේ. ඒ සඳහා අයිසීසී විසින් ශ්‍රී ලංකාවට මුදල් ද ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය මේ අවස්ථාවේ හැටියට වෙනත් රටකට ගෙන යෑම ද අපහසු කරුණකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ පනවා ඇති තහනම ඉවත් කළ ද ඒ සඳහා දැඩි කොන්දේසි පැනවීමට නියමිත බව ද වාර්තා වේ. අදාළ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයකු ලෙස සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට හැකියාව ඇතත් ක්‍රියාකාරී මට්ටමෙන් ඊට සහභාගි වීමේ හැකියාව අදාළ තහනම හේතුවෙන් ඔහුට අහිමි වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට්, අයිසීසී සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවට තීරණය කරමින් අයිසීසී නියෝජිතයෝ ශ්‍රී ලංකාවට එරෙහි තීරණය ගත්හ. එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට බාහිර බලපෑම් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපාන කාරණා ද වේ. එසේම 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් වීම ශ්‍රී ලංකාවට මේ තහනමෙන් මිදීමට මහත් රුකුලක් වනු ඇත. එහෙත් 21 වැනිදාත් කුමක් හෝ පරහට සිටිය හොත් අප හට ක්‍රිකට් බලන්නට තවත් කල් සිටින්නට සිදුවනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment