ක්‍රිකට් ළබැඳියාවෙන් කෝප් හාන්සියි

873

අප රටේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යුහය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්හිදී දෝෂ දර්ශනයට ලක්වේ. විශේෂයෙන් ගතහොත් ඉහළ සහ පහළ රාජ්‍ය සේවකයන්ගේ විෂමාචාරයන් ඉහ වහා ගොස් තිබේ. දේශපාලකයන් හරි හරියට තම කූට සිතැඟි ඉටු කරනුයේ රාජ්‍ය නිලධාරීන්ගේ ද ආධාර සහ අනුබලය සහිතවයි. ඒ සදහා දේශපාලකයන් තමන්ට හිතවත් හෝ ඥාතීන් රාජ්‍ය තන්ත්‍රයට ඇතුළත් කර ගැනීමට පැකිලෙන්නේ නැත. විවිධ අමාත්‍යාංශ කටයුතුවලදී මෙකී තත්ත්වය සුලභව සහ අපූරුවට කර ගන්නා ආකාරය සාක්ෂි සහිතව අප මේ පැයේදීත් අත්දකිමින් සිටී.

ඊට අමතරව රජයේ ඉහළ නිලධාරීන් අල්ලාගෙන සිය හොද්ද බොර කර ගැනීම අපේ රටේ ව්‍යාපාරික පැලැන්තිය විසින්ද පසුගිය කාලයේ පටන් ඉතා ගජරාමෙට කරගෙන යනු ලබයි. උදාහරණයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුදලින් විවිධ පර්යේෂණ කර ලබා ගන්නා සොයා ගැනීම් එකී පර්යේෂකයන් පුද්ගලික අංශයට පවරා දී සිය විශ්‍රාම දිවියේ සුඛ විහරණය සලසා ගනී. ඇතැම් රාජ්‍ය නිලධාරීන් සිය පැවැත්ම වෙනුවෙන් නොයෙක් ආයතනයන්හි කකුල් අත් පා ඇඟිලි විහිදුවා ගෙන එගොඩ ගොඩෙනුත් ගනී මෙගොඩ ගොඩෙනුත් ගනී. ඒ සඳහා නොයෙකුත් උප්පරවැට්ටි යොදයි. කොහොමින් හෝ මේ දූෂිත වැඩ අලවී ගියහොත් නඩු බොහොමයක් වැටේ. ඒ අතර එල්ලවන ප්‍රධානතම යෝජනාව ළබැඳියාවන්ගේ ගැටුමය. රැකියා ස්ථානයේ කළමනාකරුවෙකුගේ ඥාතියෙකුට සෑම විටම විශාලතම වැටුප් වැඩිවීම හෝ හොඳම පැවරුම ලැබෙන බවට සම-සේවකයන් මැසිවිලි නඟයි. ඇමැතිවරුන් තම දුවගේ පුතාගේ පුද්ගලික ආයතනවලින් සේවා රජයට සපයා ගනී. හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා තම බෑණාගේ සමාගමකින් අවි ආයුධ මිලදී ගත්තා යැයි කියවිණි. ඒ සියල්ල අයත් වන්නේ ළබැඳියාවේ ගැටුම යන මාතෘකාවටය.

මේ දිනවල ක්‍රිකට් සහ කෝප් කමිටුව සම්බන්ධයෙන් දිග හැරෙන කතාමාලාවේදී මේ කියන ළබැඳියාවේ ගැටුම උත්සන්න වී තිබේ. එහිදී සහලෝලා උණ ගැනෙන ළබැඳියාවන්ගේ ගැටුම ඇතිව ඇත්තේ දූෂිත ක්‍රිකට් පරිපාලකයන් සහ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර අතරය. ඒ බව මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රස මසවුළු වී ඇත්තේය. ඒ රසමසවුළු නැවුම් ලෙස පෙනුන ද ඒවා ඕජස් වෑහෙන, කුණු ගඳ ගහන පණුවන් පිරුණු තරමටම අප්‍රසන්නය, පිළිකුල්ය. පාර්ලිමේන්තුවෙන් ඇසෙන පරිදි ක්‍රිකට් ආයතනය කෝප් හමුවේ රෙද්ද කැඩෙද්දී කෝප් සභාපති මහාචාර්ය තෙමේ එහෙන් මෙහෙන් පැන රෙද්ද නැවත අන්දවයි. එහෙත් යළිත් ඒ රෙද්ද එහෙන් මෙහෙන් වැනෙද්දී සභාපතිතුමා තමන්ගේ ආදරණීය පුත්‍රයා ලව්වාද රෙද්ද තද කරයි. මේ නරි නාටකයේ සුල මුල හොයා යන විට කෝප් සභාපති ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ රෙදි අපුල්ලන්නකු බව ඔප්පු වේ. ඔහු එහි උපදේශකයෙකි. ක්‍රිකට් ආයතනයේ ඇති ව්‍යාපෘති දෙකකටම උපදේශනය ඔහු විසින් භාරගෙන ඇති බැවින් ඔහු ද අයත් වන්නේ අපි මේ කියූ ළබැඳියාවන්ගේ ගැටුමටමය. ස්වාධීන නොවූ අයෙකු බැවින් ඔහු ඉදිරියේ ක්‍රිකට් දූෂණ හෝ වංචා විමර්ශනය කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. තවදුරටත් කෝප් හමුවට ක්‍රිකට් පැමිණියහොත් මේ සභාපති සිටින තාක් ක්‍රිකට් ආයතනයේ නොපනත්කම් අඩිය අඟලටම තලනු ඇත. මේ නාඩගම තවදුරටත් හෙළිනොවූයේ නම් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ චූටි, චූටි වැරදි තිබුණ ද සමස්තයක් ලෙස සුපිරිසිදු පාලනයක් සිදුවන්නේ යැයි කෝප් සීල් එකද වදින්නට තිබිණ. කෙසේ හෝ වේවා දැන් මේ සියල්ල හෙළිවී කාගෙ කාගේත් රෙදි ගැලවී හුළඟේ ගසා ගොස් තිබීම සැනසුම් සුසුමක් හෙළිය හැකි වුවද මේ ළබැඳියන් තව කොහෙන් හෝ මෝරකු අල්ලාගන්නවා නිසැකය. එහෙන් බැරිනම් මෙහෙන් නැත්නම් හොඳින් හෝ නරකින් යන තේමාවෙන් ගහන ගේම් නිසා අපේ රට නැති නාස්ති වී සුන්නද්ධූලි වන කාලය නම් එතරම් ඈතක නොවන බව නම් පැහැදිලිය. එසේ වුවහොත් ඒ නැති නාස්තිවීම පැවරෙන්නේ කෝප් කමිටුවටමය. මෙය දූෂණයේ විෂම චක්‍රයක් වැන්න. අපි විටින් විට එක් එක් පැති කඩක් පමණක් දකිනු ලැබුවද සම්පූර්ණ චක්‍රයම දකින්නට ලැබෙන විට බඩු බනිස් වී හමාරය. අපේ රටට දැන් සිදු වී ඇත්තේ ද එයමය.

advertistmentadvertistment
advertistmentadvertistment