සමාවෙන්න!දුම්රිය ප්‍රමාදයි

713

ඉතිහාසයේ පටන් යුද බිමේදී පාවිච්චි කෙරුණු භයානක ආයුධ කිහිපයක් විය. ඉන් පළමු වැන්න කඩුවය. දෙවැන්න තුවක්කුවය. තුච්ඡ වූද නීච වූද ස්ත්‍රී දූෂණය නමැති අවිය තුන්වැන්නයි. බලහත්කාරකමක් මගින් ගැහැනියක බිම දැමිය හැකිය. ඇය තුළ තමා පහත් යැයි සම්මත හැඟීමක් ඇති කළ හැකිය. අපගේ කතු වැකිය අද අප පටන් ගන්නේ මෙතැනිණි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සිටින ඇතැම් කාන්තාවන් එම කාර්ය මණ්ඩලයේම සිටින පිරිමින් අතින් අපහරණයට ලක්වූ බව අප පසුගිය දිනයේ කියෙව්වෙමු. මේ පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා දැනටමත් සාමාජිකයන් තුන්දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කොට තිබේ. සමගි ජනබලවේගයේ මන්ත්‍රී රෝහිණී කවිරත්න කියන පරිදි පෙර කී කාන්තාවන් අපහරණ කළ කාම දුර්ජනයන් විසින් එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන ලිපියක් අපහරණයට පත්වූ කාන්තාවන් ලවා අත්සන් කර ගැනීමට උත්සාහ කර තිබේ. මෙය ඉතා භයානක තත්ත්වයකි. පාර්ලිමේන්තුවේ සිටින පිරිමි සේවක මණ්ඩලය විශාල නොවන බැවින් පෙර කී ලිංගික පිස්සන් සමූහය කවරේදැයි හඳුනාගැනීමට ඉතා පහසුය. හඳුනාගත් වහාම ඔවුන්ගේ වැඩ තහනම් කළ යුතුය. කථානායකතුමා මේ කාර්යය සම්බන්ධයෙන් දැඩිව සිටින බව අපට විශ්වාසය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න කියන පරිදි මෙය රට කරවන ප්‍රමුඛ ආයතනය වූ පාර්ලිමේන්තුවට එල්ල කරන ලද මඩ පහරකි. මේ පිළිබඳ තනිව නැගී සිට හඬ නැගීම ගැන රෝහිණී කවිරත්නට ස්තුතිවන්ත වෙමු. මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ට වාචිකව කරන ලද ලිංගික අඩන්තේට්ටම ගැනද දැනගන්නට ලැබිණ. යුද බිමේ තිබෙන ස්ත්‍රී අපහරණය නමැති නීච ආයුධය පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට ඉඩදිය යුතු නැත.

1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ අවස්ථාවේදී කැලණිය පැත්තේ සිටි ත්‍රාඩකාරයකු වූ ගෝනවල සුනිල් හෙවත් සුනිල් පෙරේරා සිටියේ හිරගෙදරය. ඔහු හිරේ ගියේ සාදයකදී නව යොවුන් ගැහැනු ළමයෙකු දූෂණය කිරීම නිසාය. බලයට පත්වූ ජේ. ආර්. ජනාධිපති සමාවක් හරහා සුනිල් පෙරේරා එළියට ගත්තේය. 1977 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මාස කිහිපයක් යන තුරු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රට පුරා ඇවිළී තිබිණි. එහිදී එක්සත් ජාතික පක්‍ෂයේ මැර පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා ආධාරකාරියන් නිරුවත් කොට පාරවල් දිගේ ඇවිද්ද වූහ. මෙසේ අපහරණය කරන ලද එක් කාන්තාවක් වූයේ පසුකාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක බවට පත් කමලා රණතුංගයි.

ජනාධිපති ප්‍රේමදාසගේ කාලයේදී ද විවිධ පාතාල මැරයෝ විවිධ ලෙස කාන්තාවන් අපහරණය කිරීමට පටන් ගත්හ. භයානක පාතාල මැරයකු වූ සොත්ති උපාලි ඉන් එකෙකි. ඔහු ජනාධිපති ප්‍රේමදාසට සම්බන්ධ වන්නේ සිරිසේන කුරේ හරහාය. සුදු සරමක් සුදු අත්දිග කමිසයක් හැඳි සොත්ති උපාලි රස්සාවට කළේ පස් පිඩැලි ඇල්ලීමය. ගම්උදා භූමි වල පස් පිඩැලි ඇල්ලීමේ කොන්ත්‍රාත්තුව සිරිසේන කුරේ විසින් සොත්ති උපාලිට අල්ලාදෙන ලදී. මෙතැන් සිට සොත්ති උපාලි කල්පනා කළේ රටේ උප ජනාධිපති ලෙසය. ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු සොත්ති උපාලිට සැලියුට් කළහ. සොත්ති උපාලිට එරෙහි වූ ලොකුම චෝදනාව නම් රාත්‍රී කාලයේදී බොරැල්ල කනත්තට තරුණියන් ඇදගෙන ගොස් දූෂණය කිරීමය. 1994 චන්ද්‍රිකා කුමාරතුංග විසින් ආණ්ඩුව පිහිටුවන තුරු සොත්ති උපාලි බලයේ සිටියේය. අන්තිමට සියල්ල නැතිකර ගත් මේ අභාග්‍ය සම්පන්න මිනිසා තමන් සතුව තිබූ සියලු වාහනද අහිමි කරගෙන බස් වල යන්න එන්නට පටන් ගත්තේය. දිනක් නඩුවක් ඉවර වී ප්‍රයිවෙට් බස් එකක යමින් සිටි සොත්ති උපාලිට වෙඩි තබා මරන ලදී. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වූ පසු මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉහළින්ම රැකෙනු ඇතැයි ජනතාව අදහස් කළේය. ඒත් චන්ද්‍රිකාගේ කාලයේදී වැඩේ හුඟක්ම අල විය. 1999 වයඹ පළාත් සභා ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාතාල මැරයෝ යූඑන්පීයට වැඩකළ කාන්තාවන් අල්වා ඔවුන් නිරුවත් කර පාරවල් දිගේ දක්කාගෙන ගියහ. ඇත්තම කතා කළහොත් 1970 – 77 බණ්ඩාරනායක ආණ්ඩුවට කෙළවෙන්නේද මෙවැනි නීච වැඩ නිසාය. 71 අප්‍රේල් කැරැල්ල සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිනියකු වූ ප්‍රේමවතී මනම්පේරි නමැති තරුණිය අත්අඩංගුවට ගෙන ඇය දූෂණය කර නිරුවතින් පාරවල් දිගේ ඇවිද්දවා වෙඩි තබා මරා දමන ලදී. මෙයට වගකිව යුත්තෝ 71 දී සිටි යුද හමුදා කපිතාන්වරයෙකි. මහින්ද රාජපක්‍ෂ සමයේදීද මේ චක්කරය එසේම භ්‍රමණය විය. 2011 දී තංගල්ලේ හෝටලයකට කඩා පිනූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වනචරයන් පිරිසක් බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කළහ. එහිදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැඩිසේ මෙයට එරෙහිව නැගී සිටි බැවින් මිනී මරුවන්ද, ස්ත්‍රී දූෂකයන්ද වෙන වෙනම අල්ලා හිරේ යැවීමට හැකිවිය.

පාර්ලිමේන්තුව තුළ කෑ ගසන ඇතැම් කුපාඩියකුගේ වනචර වචනවලට ඉලක්ක වූ ප්‍රමුඛ කාන්තාවක ලෙස රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ හඳුනාගත හැකිය. හැබැයි ඩයනා ගමගේ කුණුහරුප කාරයන් වෙතින් අපහරණය වන විට රෝහිණී කවිරත්න ඊට එරෙහිව කට ඇරියේ නැත. සමහර විට මේ වෙලාවේදී ඇයට එය නෑසුනා වන්නට පුළුවන. ඇතැම් විට ඇය නින්දේ සිටියා වීමටත් පුළුවන.

අපට පෙනෙන හැටියට මේ රට අවුරුදු විස්සක පටන් ශිෂ්ටාචාරයේ පස්සෙන් පස්සට ගමන් කරමින් සිටී. මිනිසුන් නිතර කුණුහරුප කියන්නේත්, කාන්තාවන් අපහරණය කරන්නේත් ශිෂ්ටාචාරය නමැති පීල්ලෙන් පිට පැන්න විටය. ඔවුන් මේ වනවිට පීල්ලෙන් පිටට පැන ඇතිවාක් පමණක් නොව ශිෂ්ටාචාරය නමැති රේල් පාරේ සිල්පර කොටද ගලවා දමා ඇත. මේ නිසා මනුෂ්‍යකමේ කෝච්චිය තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment