දේශපාලනය උඩු යටිකුරු කළ ඓතිහාසික නඩු තීන්දුවක්!

625

ශ්‍රී ලංකාව නොනවතින ආර්ථික – දේශපාලනික -සමාජීය අර්බූදයකට තල්ලු කළ 2019-2020 කාලය තුළ ගත් වගකීම් විරහිත සහ අශීලාචාර දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී දුන් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැතහොත් පොහොට්ටු පක්ෂයට පමණක් අදාළ නොවේ. එම පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වර්තමාන පාලනයේ අඩිතාලම වන බැවින් එතුමාටත් මෙම තීන්දුව මගින් ඇතිකරන දේශපාලන සුනාමිය නොසලකා කටයුතු කළ නොහැක. එලෙසෙම අනාගත වික්‍රමසිංහ – පොහොට්ටු ‘ක්‍රියාන්විතයකට’ සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින දැනට පොහොට්ටුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ටද මෙම තීන්දුව අනිවාර්යෙන්ම බලපානු ඇත. ඡන්දය දෙන ජනතාව මෙම නඩු තීන්දුව පිළිබඳව දැනුවත් කිරීම මුද්‍රිත සහ සමාජ ජාලා ඇතුළු විද්‍යුත් මාධ්‍යවල වගකීමයි. සියලු මාධ්‍ය තම වගකීම නිසිලෙස ඉටුකළහොත් ආර්ථික පීල්ලෙන් පිට ගොස් සිටින ශ්‍රී ලංකාව නැවත නිවැරදි මාර්ගයට ගෙන ඒමට මෙම අධිකරණ තීන්දුව ප්‍රධාන ආධාරකයක් වෙනු නොඅනුමානය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ඉදිරියේ 2022 මැයි 25 දින මහ බැංකු අධිපති සහ මූල්‍ය මණ්ඩලයේ සභාපති ලෙස කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක නිසි අවධානය යොමු වූයේ නැත.

එදා කෝප් කමිටුව රැස්වූයේ මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙනි. එම මන්ත්‍රීවරයා අද කෝප් කමිටුවේ සාමාජිකයෙකි. එලෙසම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් 2022 ජුලි මාසයේදී කැඩී ගිය කණ්ඩායමේ සාමාජිකයෙකි.

ආර්ථිකය වළපල්ලට යැවීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවලට අදාළව රටේ ඉහළම අධිකරණය නොවැම්බර් මාසයේ 14 දින ප්‍රකාශයට පත්කළ තීන්දුව මැති සභයට මහා බැංකු අධිපතිවරයා එදා කළ මහත් ආන්දෝලණාත්මක ප්‍රකාශය නැවතත් අවධාරණය කර ඇත. නැතහොත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන් තිත්ත ඇත්ත අධිකරණය සනාථ කර ඇත. විධායකයට සහ ව්‍යවස්ථාදායකයට තම වගකීම්වලින් කිසිසේත් මගහැර යෑමට නොහැකි බව පෙන්වා දී ඇත.

පස්දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලේ හතර දෙනකු එනම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලලගොඩ සහ මුර්දු ප්‍රනාන්දු එම තීන්දුව ප්‍රකාශ කළේය. විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන එම තීරණයට එකඟ නොවීය.

අධිකරණය වරදකරුවන් කළ අය අතර එවකට ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන ගෝඨාභය රාජපක්ෂ (2019 නොවැම්බර් – ජුලි 2022) සහ ඔහුගේ ජනාධිපතිධූර කාලය තුළ මුදල් අමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ (2019 නොවැම්බර් – ජුනි 2021) සහ බැසිල් රාජපක්ෂ (ජුනි 2021 – අප්‍රේල් 2022) වීම එම තීන්දුවේ ප්‍රබල බව අවධාරණය කරයි. කැබිනට් මණ්ඩලයට රටේ නීතියට පිටින් ක්‍රියාත්මක නොවිය හැකි බවද ව්‍යවස්ථාදායකයට පෙන්වා දෙයි. ඊට අමතරව පස් දෙනකුගෙන් සමන්විත මූල්‍ය මණ්ඩලයද වරදකරුවකු ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙය සුවිශේෂී තත්ත්වයකි.

ආචාර්ය වීරසිංහ මහ බැංකු අධිපති සහ මූල්‍ය මණ්ඩලයේ සභාපති ලෙස පළමුවරට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරියේ 2022 මැයි 24 සහ කෝප් කමිටුවට ඊට පසුදින කළ ප්‍රකාශය සිහි බුද්ධියෙන් අසා සිටිය කිසිවකු අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් කිසිසේත් පුදුම වන්නේ නැත. ඒ එතුමා ත්‍රස්තවාදය පරාජය කළ රට අන්ත අසරණ කළ වගකීම් විරහිත ක්‍රියාදාමයට වගකිවයුතු කණ්ඩායම පාර්ලිමේන්තුවටම පෙන්වා දී තිබුණ නිසාය. එලෙසම අයවැය ක්‍රියාදාමය තුළ බලයේ සිටි සියලුම ආණ්ඩු රට අස්ථාවර කළ ආකාරය අවධාරණය කිරීමටද එතුමාට ශක්තිය තිබුණේය. අවාසනාවකට පාර්ලිමේන්තුව දැස් පියාගෙන සිටියේය.

මහබැංකු අධිපතිවරයා 2022 මැයි 25 දින කළ අතිශය බරපතළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය 2023 නොවැම්බර් 14 තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගය කුමක්ද?

ආර්ථිකය කඩාවැටීම විමර්ශනයට වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුව පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙන්ම පොහොට්ටුවේ කැරලිකාර කණ්ඩායමද, ජාතික ජන බලවේගයද ප්‍රතික්ෂේප කළේය. ඒ මෙම වසරේ ජුලි 06 වැනි දිනය. එම කාරක සභාවේ නායකත්වය පොහොට්ටු පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පත්කිරීම සම්බන්ධයෙන් බරපතළ විරෝධතාවයක් ඇතිවිය.

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය හේරත් තමන් මාස තුනක් තුළ සමස්ත අර්බුදය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුව පසුගිය සතියේ ප්‍රකාශයට පත්කරන තුරු ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් වශයෙන් මහාචාර්ය හේරත් අතුරු වාර්තා ඉදිරිපත් කර තිබුණේ නැත.

තිත්ත ඇත්ත

කෝප් කමිටුව මහා බැංකුව නියෝජනය කළ කණ්ඩායමට 2022 මැයි 25 ඉදිරිපත් කළ ප්‍රශ්න රාශියකට වීරසිංහ එදා පැවති තත්ත්වය පැහැදිලි කර දුන්නේය. මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන ද එම කණ්ඩායමේ විය.

අවාසනාවකට සත්‍යය අවබෝධ කරගැනීමට පාර්ලිමේන්තුවේ අතිශය බහුතර ආසන හිමි ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. ඒ වනවිටත් ඡන්ද මිලියන 6.9 කින් 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ විධායක බලය දැරුවේය. මහා බැංකු අධිපතිවරයා අවධාරණය කළ අතිශය බරපතළ කරුණු කාරණා සම්බන්ධයෙන් මූලික පියවර ගැනීමටවත් පොහොට්ටු ආණ්ඩුවට වුවමනාවක් නොවීය. අද රටේ ඉහළම අධිකරණය මහා බැංකු අධිපතිවරයා අවධාරණය කළ ආණ්ඩුවේ වගකීම් විරහිත පිළිවෙත සම්බන්ධයෙන් එවකට ජනාධිපති, මුදල් අමාත්‍යවරුන් වූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල, මහ බැංකු අධිපතිවරුන් වූ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ වරදකරුවන් කර ඇත. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශ ස්ථිර කර ඇත.

නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කළේ 2022 අප්‍රේල් 7 වැනිදාය. විශ්‍රාම ගොස් ඔස්ට්‍රේලියාවේ සිටි වීරසිංහව කොළඹට කැඳවූයේ අජිත් නිවාඩ් කබ්රාල් හදිසියේ ඉවත් වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව පිරවීමටය.

දේශපාලන – ආර්ථික – සමාජීය අර්බුදය වේගයෙන් වර්ධනය වෙමින් තිබූ වාතාවරණය තුළ මහා බැංකු අධිපතිවරයා අප්‍රේල් 12 වන දින විදේශ ගෙවීම් ඒකපර්ශ්විකව නවත්වන බව ප්‍රකාශ කළේය. එය එවකට රජයේ ප්‍රකාශයකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටිය අතර ජනාධිපති නීතිඥ අලි සබ්රි මුදල් අමාත්‍ය විය. ආචාර්ය වීරසිංහව කෝප් කමිටුවට කැඳවන්නේ මැයි 09 දින කොළඹ සහ පළාත්වල සිදු වූ විනාශකාරී සිද්ධීන් වලින් සති දෙකකට පසුවය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයේ එදින වැඩ භාර ගත් අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වර්ධනය වෙමින් පැවති තත්ත්වය තමන්ට පාලනය කරගත හැකි බවට විශ්වාස කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුව තමන් ගත් වැරදි පියවර අවම වශයෙන් පිළිගැනීමටවත් සූදානම් නොවීය. එවැනි පසුබිමක් යටතේ මහා බැංකු අධිපතිවරයා තමන්ට කීමට ඇති සියල්ල නොවලහා කෝප් කමිටුවට ඉදිරිපත් කළේය.

රාජපක්ෂවරු වෙනුවෙන් ප්‍රකාශයක්

ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පහත දැක්වෙන අදහස ප්‍රකාශ කළේය. “අපි කවදත් අධිකරණයට ගරු කරනවා. මෙහිදී මූලික අයිතිවාසිකම්වලදී සලකා බලනු ලබන්නේ ලිඛිත පෙත්සම් හා ලිඛිත සාක්ෂි පමණක් බවත් සාක්ෂි කැඳවීමක් නොකරන බවත්, එබැවින් මෙහිදී දීර්ඝ වශයෙන් හා ගැඹුරින් මේ ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කරනවානම් සුදුසුම තැන වන්නේ පාර්ලිමේන්තුව බවත්, මූල්‍ය බලතල, නීති සම්පාදනය, නීති පැනවීම, නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව වන අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මේ ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් සොයා බැලිය හැකි බවත්ය.”

හිටපු අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සාක්ෂි කැඳවීමක් සිදු කිරීමට හැකි බවත්, දැනටමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙම ආර්ථික අර්බුදය පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති බවත් එමගින් වඩාත් පුළුල් පරාසයක සිට සාක්ෂි කැඳවීමට හා හරස් ප්‍රශ්න ඇසීමට හැකි බවත්ය.

නොවැම්බර් 14 දින අධිකරණය දුන් තීන්දුව සමස්ත දේශපාලනය උඩු යටිකුරු කර ඇති බවට සැකයක් නැත. මහා බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුව ඉදිරියේ හෙළිකළ අතිශය තීරණාත්මක කරුණු කාරණාවලින් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට ගැළවිය නොහැක. තවදුරටත් පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් තුළ ආර්ථික – දේශපාලන – සමාජීය අර්බුදය විසඳිය නොහැක. මේ අවස්ථාවේ කළ යුතු වන්නේ අධිකරණ තීන්දුවට අනුකූලව විධායකය සහ ව්‍යවස්ථාදායකය කටයුතු කිරීමයි.

ආන්දෝලණාත්මක කරුණු දැක්වීමක්

ආර්ථික අර්බුදය නිර්මාණය වීමට ආසන්නතම මූලික කරුණු පිළිබඳ විමසීමේදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2020 මාර්තු – අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ණය පහසුකම් ලබා ගැනීමට යෑමේදී එම ආයතනය අවධාරණය කළේ ඒ වනවිට ශ්‍රී ලංකාව ණය තිරසර බව අහිමි කරගෙන සිටි බවයි. එනම් Debt Sustainability නොමැති බවයි.

මීට පෙර 16 වතාවක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතූ බව බොහෝ දෙනකුට අමතකය. ආචාර්ය වීරසිංහ අවධාරණය කළේ ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිවුහගත කළ යුතු බව එවකට මුදල් ලේකම්වරයාට සහ මහා බැංකු අධිපතිවරයාට ලිඛිතව දැන්වූ බවයි.

මේ අනුව මුදල් පනතට අනුකූලව අදාළ තාක්ෂණික සාකච්ඡාවින් පසුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට අදාළ තාක්ෂණික කාරණා නිර්දේශ කර යැවූ බවත් අදාළ තීන්දු තීරණ ගනු ලැබිය යුතු වන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් බවත් මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුවට ප්‍රකාශ කර සිටියේය.

එම අවස්ථාවේ කෝප් කමිටුවේ සිටි සමගි ජන බලවේගය මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පොහොට්ටු ආණ්ඩුව ඇතිකළ අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළේ මහා බැංකු අධිපතිවරයා පැවසූ කරුණු කාරණාවලටද එකඟ වීමෙනි. එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස අදාළ විෂය සම්බන්ධයෙන් කිසි විටකටත් පාර්ලිමේන්තුව ඇමතුව නැති බවත් ඒ වගකීම ඉටු කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් නොකළ බවට චෝදනා කළේය.

මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ණය තිරසර මට්ටමක පැවති බවත් ජනාධිපතිවරණයෙන් අනතුරුව මාස කිහිපයකට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවකට අනුව රටේ ණය තිරසර නොවන බවට දැනුම් දුන් බවත්ය. එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් බදු ආදායමෙන් රුපියල් බිලියන 600ක බදු අඩුකර ගැනීමක් සිදු වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එසේ නොකළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබූ පසුබිමක මෙවැනි තීරණයක් ගනු ලැබුවේ කවුරුන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

පොහොට්ටු ආණ්ඩුව විනිමය අනුපාතිකය මහත් ආයාසයකින් රඳවා තබා ගැනීම නිසා විශාල සංචිත ප්‍රමාණයක් අහිමිවීම පිළිබඳව සමාජයේ පවතින මතය සම්බන්ධයෙන්ද කෝප් කමිටුව මහා බැංකු කණ්ඩායමෙන් විමසීමක් කළේය.

ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපතිවරයා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය ප්‍රකාශ කළේ මහ බැංකු සංචිත යොදවමින් විනිමය අනුපාතය ආයාසයෙන් රඳවා තබා ගැනීමට තමන් සහ මුදල් මණ්ඩල සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන දැඩි ලෙස එරෙහි වූ බවයි. එලෙසෙම තම ස්ථාවරය ලිඛිතව මූල්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූ එවකට මහා බැංකු අධිපතිවරයාට දැන්වූ බවයි. නීතිඥ ජයවර්ධන මෙම ප්‍රකාශය ස්ථිර කරමින් එවකට තමන් මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වය පැහැදිලි කළේය. නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනකුගේ (මහා බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල සහ සමන්ත කුමාරසිංහ) මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රඳවා තබා ගැනීම සිදුවූ බවට මෙහිදී අනාවරණය විය. නමුත් අධිකරණය තීන්දුව මූල්‍ය මණ්ඩලයට එරෙහිව ද ප්‍රකාශ කිරීම තුළ එවකට එහි සාමාජිකත්වය දැරූ සෑම දෙනකුම රටට කළ අපරාධයට වරදකරුවන් කර ඇත.

එවැනි පසුබිමක මුදල් මණ්ඩලයේ තවදුරටත් සාමාජිකත්වය දරන ආචාර්ය රාණි ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සම්බන්ධයෙන් මහ බැංකුව යම් පැහැදිලි කිරීමක් කළ යුතුමය. මූලික අයිතිවාසිකම් නඩු පැවරූ කණ්ඩායම අතර සිටින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක නීතිඥ නදීෂානි පෙරේරාගෙන් මෙම ලියුම්කරු කළ විමසීමකදී පැවසුවේ අධිකරණය දුන් තීන්දුව නිවැරදිව තේරුම්ගෙන පාර්ලිමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන කටයුතු කිරීමට උත්සුක විය යුතු බවයි.

මහ බැංකු අධිපතිවරයා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරියේ 2022 මැයි 24 රට පාලනය කළ සියලුම දේශපාලන පක්ෂ ලජ්ජා විය යුතු ප්‍රකාශයක් කළේය. සෑම රජයක්ම අයවැය ඉදිරිපත් කිරීමේදී නැති ආදායම් තත්ත්වයක් පෙන්වා පාර්ලිමේන්තුව සිතා මතා නොමඟ යැවූ බව එතුමා අවධාරණය කළේය. මෙය ඉතාමත් බරපතළ ප්‍රකාශයකි. අසත්‍ය ප්‍රකාශයක් නම් සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද අභියෝගයට ලක් කිරීමකි. එලෙසෙම බදු නිසි පරිදි අය කර ගැනීමට 2022 මැයි 24 දින වනවිටත් නිසි යාන්ත්‍රණයක් නොමැති බව එතුමා පෙන්වා දුන්නේය.

මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට ගිනි තැබූ කණ්ඩායම්වලට මහා බැංකු අධිපතිවරයාගේ සහ මුදල් ලේකම්වරයාගේ නිවෙස්වලට යායුතු බවට (නැවතත් මෙවැනි තත්ත්වයක් උදා වුවහොත්) මෑතකදී ප්‍රකාශ කළේ රට විනාශ කළ සියලුම බලවේග වෙනුවෙන් බව ජනතාව තේරුම්ගත යුතුය. පසුගිය වසරේ අගෝස්තු 31 කථානායකවරයාගේ ආරාධනයෙන් මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී විධායකය සහ ව්‍යවස්ථාදායකය රට විනාශ කළ ආකාරය පැහැදිලි කළේය. ඒ සමස්ත කතාව රටේ ඉහළම අධිකරණය තුළ ඔප්පු වී ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment