සූර්යයා වෙත යැවූ ආදිත්‍ය යානය ප්‍රථම ඡායාරූප පෙළ එවයි

1067

ඉකුත් සෙනසුරාදා (02දා) ඉන්දියාව විසින් සූර්යයා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශගත කරන ලද “ආදිත්‍ය -එල් 1” අභ්‍යවකාශ යානය සූර්යයා වෙත ගමන් කරන අතරවාරයේ ගත් ප්‍රථම ඡායාරූප පෙළ වශයෙන් පෘථිවියේ හා සඳෙහි ඡායාරූප දෙකක් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත එවා තිබේ. එම ඡායාරූප දෙකෙන් එක් ඡායාරූපයකින් පෘථිවිය හා සඳ එක් රාමුවකින් පෙන්නුම් කර ඇති අතර එහි පෘථිවිය විශාල ග්‍රහයෙක් ලෙසත් සඳ කුඩා ග්‍රහයෙක් ලෙසත් පෙන්නුම් කර ඇති බව එම මධ්‍යස්ථානය කියයි.

“ආදිත්‍ය” යානය විසින් එවා ඇති දෙවැනි ඡායාරූපය යානය විසින් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් සේ එවා ඇති අතර ඉන් යානය විසින් රැගෙන යන විද්‍යාත්මක උපකරණ හතෙන් දෙකක් පෙන්නුම් කර තිබේ. ඉන්දීය චන්ද්‍රයාන් -3 යානය විසින් එහි වික්‍රම් නමැති ගොඩ බැස්වුම් යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්වීමෙන් දින කිහිපයකට පසු අභ්‍යවකාශගත කරන ලද ආදිත්‍ය යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරක් ගමන් කරමින් සිය ගමනාන්තය වන පෘථිවිය හා සූර්යයා අතර පවතින ‘ලැග්රේන්ජ් පොයින්ට් – 1” ප්‍රදේශය කරා ළඟා වීමට නියමිතව ඇත්තේ තවත් මාස හතරක කාලයක් ගත වූ පසුවය. මෙම සූර්යයා අධ්‍යයනය කිරීමේ මෙහෙයුම් සඳහා වැය වූ මුදල ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් අනාවරණය කර නොතිබුණද එම මෙහෙයුම සඳහා ඉන්දීය රුපියල් බිලියන 3.78ක් (ඇමරිකානු ඩොලර් මිලියන 46ක්) වැය කර ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් සඳහක් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment