හදිසි තීරණ අරන් කාබනික ගොවිතැන කරන්න බැහැ

804

රුහුණු විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ, කෘෂිජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නාලිකා ප‍්‍රියන්වදා රණතුංග

 බාර් පෝලිමෙන් ආරම්භ වී ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම් හරහා හාල් පෝලිම් දක්වා මෙරට පෝලිම් ක‍්‍රමය වේගයෙන් ප‍්‍රචලිත වෙමින් පවතී. මේ වනවිටත් සතොස මගින් එක් අයකුට ලබාගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩවලට සීමා පනවා ඇත. මේ අතර කෘෂි විද්‍යාඥයන්, කෘෂි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දැඩි ආහාර හිඟයක් ඉදිරියේදී ඇති වන බවයි. මේ සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ, කෘෂිජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නාලිකා ප‍්‍රියන්වදා රණතුංග මහත්මිය සමග කළ සාකච්ඡාව මෙසේ ය.

 ප‍්‍රශ්නය – ඇත්තටම ශ‍්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇති වේ යැයි කියා නිෂ්චිතව කිව හැකි සාධක මොනවාද..?

 පිළිතුර – ලංකාවේ ජනගහනය මේ වනවිට මිලියන 21ක් වෙනවා. එය ක‍්‍රමයෙන් වැඩිවෙමින් තිබෙනවා. එය 2030 වෙද්දි මිලියන 22ක් දක්වා වැඩි වේ යැයි කියා පුරෝකථනය කර තිබෙනවා. ජනගහනයේ වැඩිවීමකට සාපේක්ෂව ආහාර සැපයීම කියන දේ රටකට විශාල අභියෝගයක් වෙනවා. වැඩිවන ජනගහනයට සාපේක්ෂව ප‍්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ආහාර සැපයීමේ ප‍්‍රධාන වගකීමක් ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන ආයතන ලෙස කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල හා ඒ හා සබැඳුණු ආයතනවලට තියෙනවා. වර්තමානයේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ඇතිවෙලා තියෙන අර්බුදත් එක්ක වර්තමාන ප‍්‍රතිපත්තිමය තීරණ හරහා මේ ආහාර ප‍්‍රමාණාත්මකව වෙළෙඳපොළට සැපයීමේදී විශාල අභියෝගවලට මුහුණදීමට සිදුවන බව අපට පැහැදිලිව පෙනෙනවා. එය මේ වනවිටත් මේ රටේ ජනතාව ප‍්‍රායෝගිකව අත්විඳිමින් සිටිනවා. රසායනික පොහොර ගෙන්වීම නවත්වපු මොහොතේ සිට මේ අර්බුදයට මුහුණ දීම ආරම්භ වුණා. කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ වාණිජ කෘෂිකර්මාන්තය එකපාරටම වෙන මාර්ගයකට හැරවීමෙන් එතෙක් එයින් ලද ප‍්‍රතිලාභ අඩු වෙනවා. කාබනික වගාවට මහා පරිමාණයෙන් යොමුවීමෙන් භෝගවල අස්වැන්නට විශාල අඩුවක් වන බව අපි ප‍්‍රකාශ කළා. මේ සිදුවෙමින් යන්නේ එයයි. මේ වෙනස මත වී අස්වැන්න 30%කින් පමණ අඩුවන බව අපි මුලදීම කිව්වා. පොහොර අහිමිවීම මත ඒ භෝගවල නිෂ්පාදනය අඩු වන බව අප පෙන්වා දුන්නා. එහි ප‍්‍රතිඵල වන්නේ ආහාර හිඟයයි.”

 ප‍්‍රශ්නය – ආහාර සුරක්ෂිතතාව මෙරටින් ගිලිහෙන්නට පටන් ගත්තේ කුමන හේතු සධක මත ද..?

 පිළිතුර – ‘‘ආහාර සුරක්ෂිතතාව කියන දේ රටක ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධාන සාධකයක් වෙනවා. මොකද රටක ජනතාව නිසි පරිදි පෝෂණය නොවුණොත් ඵලදායී සමාජයක් ගොඩන`ගන්න බැහැ. ලෝක ආහාර සංවිධානය මේ ගැන දැඩි ලෙස ප‍්‍රකාශ කර තිබෙනවා. ආහාර අතින් රටක් සුරක්ෂිත නම් ඒ රටේ මිනිස්සුන්ට අවශ්‍ය ආහාර, ගුණාත්මක බවකින් යුතුව, තමන්ට අවශ්‍ය ප‍්‍රමාණවලින්, තමන්ට පහසු තැනකින්, සාධාරණ මිලකට ලබා ගන්න හැකියාව සහ අවස්ථාව තියෙන්න ඕනේ. මේ වනවිට ආහාර සුරක්ෂිතාව මේ රටේ නොමැති බව පැහැදිලිවම පේනවා. වෙළෙඳපොළේ බොහෝ තැන් හිස් වෙලා. අවශ්‍ය දේවල් නැහැ. බොහෝ දේ දරාගත නොහැකි තරමට මිල වැඩියි. ජනතාව මෙයින් පීඩාවට පත්වෙලා තියෙනවා. මේ දේවල්වලට එක හේතුවක් වන්නේ රට ඇතුළේ නිෂ්පාදන ක‍්‍රියාවලියක් නොතිබීම යි. පසුගිය

 යල කන්නයේ නිෂ්පාදනය හොඳටම අඩු වුණා. මහා කන්නයේ එය ඊටත් වඩා අඩු වුණා. ඒවායේ ප‍්‍රතිඵල මේ රටේ ජනතාවට දරුණුවටම දැනෙන්න ගන්නේ 2022 අපේ‍්‍රල් මාසය වනවිට යි. සිංහල අවුරුදු කාලේ එළඹෙද්දී අනිවාර්යයෙන්ම මේ රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. අපි මේ තත්ත්වය ගැන කල් ඇතිව මේ රටේ බලධාරීන්ට අනතුරු ඇෙ`ගව්වා. මේ රටේ වී වගා කරන ප‍්‍රදේශ සහ වගා බිම් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් අඩුවේගෙන යනවා. ගොවියන් ගොවිතැන්වලින් ඈත් වෙලා තියෙනවා. මේ නිසා ආහාර නිෂ්පාදනය හා ආහාර වෙළෙඳපොළට සැපයීමේ විශාල අඩුවක් වෙනවා. මේ ව්‍යසන තත්ත්වය ආරම්භ වුණේ කාබනිකකරණයට ක්ෂණිකව යොමු වීමට ගත්ත විද්‍යාත්මක නොවන ප‍්‍රතිපත්තිමය තීරණ නිසා යි. රජරට ප‍්‍රදේශයේ පවතින වකුගඩු රෝගවලට හේතුව රසායනික පොහොර යෙදීම බව කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට සම්බන්ධ නැති, කෘෂිකර්ම විශේෂඥයන් නොවන පිටස්තර පුද්ගලයන් විසින් ප‍්‍රකාශ කර තිබුණා. මෙය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ගන්නා ලද නිගමනයක් වන අතර, ඒ හරහා ඒ රටේ වගකිවයුත්තන්ට ලැබුණු සාවද්‍ය උපදෙස් මත වකුගඩු

 රෝගයට එකම හේතුව කෘත‍්‍රිම රසායනික පොහොර ලෙස ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්වුණා. එම විද්‍යාත්මක නොවන නිගමන මත කෘෂි වගාවන්වලට අත්‍යවශ්‍ය පොහොර ආනයනය ක්ෂණිකව නවතා දැමුවා. රටේ ඩොලර් හිඟයත් මේ තත්ත්වයට බලපාන්න ඇති කියා මම විශ්වාස කරනවා. කොහොම වුණත් මේ වනවිට මුළු රටම ආහාර හිඟයකට ගොදුරු වෙමින් තිබෙනවා. තව මාස හතරක් යද්දී මේ අර්බුදය අතිශය දරුණු වෙනවා.”

 ප‍්‍රශ්නය – කාබනික පොහොරවලින් වගා කරන්නම බැරිද…?

 පිළිතුර – ‘‘පුළුවන්. කාබනික වගාව ඉතා හොඳයි. ඒක වෙනත් ක්ෂේත‍්‍රයක්. නමුත් සම්පූර්ණ රටක ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් මුළු රටේම කාබනික වගාවක් කිරීමේ හැකියාවක් නැහැ. කාබනික කෘෂිකර්මාන්තය කළ හැකි වන්නේ කුඩා ප‍්‍රතිශතයක පමණයි. ශාකයකට අවශ්‍ය නිසි පෝෂණය ලබා දෙන්න නම් එය ප‍්‍රමාණාත්මකව ලබා දිය යුතුයි. අවශ්‍ය තැනදී, අවශ්‍ය කාලයේදී, අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය වන නයිට‍්‍රජන්, පොටෑසියම්, පොස්පරස් ශාකයකට ලබා දිය යුතුයි. කාබනික පොහොර යෙදීමේදී මෙය කළමනාකරණය කරන්න ඉතා අපහසුයි වගේම ප‍්‍රමිතිගත අස්වැන්න ගන්නත් බැහැ. ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු රටවල පවා සිදු කරන්නේ එලෙසයි. කාබනික වගාවකදී අපි බලාපොරොත්තු වන්නේ ආහාරවල ගුණාත්මක බවයි. නමුත් වාණිජ කෘෂි වගාවකදී ප‍්‍රමාණාත්මක බව අපේක්ෂා කරනවා. වැඩි පිරිසකට ආහාර ලබා දීම තමයි එයින් සිදු වන්නේ. අනික ගොවීන් කෘෂි රසායනික පොහොරවලට ඇබ්බැහි වෙලා හිටියා. ඔවුන්ට වෙනත් තාක්ෂණයක් කරා යෑමට සාධාරණ කාලයක් අවශ්‍ය යි. ඒ කාලය ලබා නොදී එකපාරටම පොහොර නැවැත්වීම නිසා ගොවියන් වික්ෂිප්ත භාවයට පත් වෙනවා. ඒ වගේම කාබනික වගාවක් කිරීමට මානව ශ‍්‍රමය වැඩි වශයෙන් අවශ්‍යයි. වියදම වැඩියි. අවදානමත් වැඩියි. ඒ වගේම කාබනික යෙදවුම් මිලෙන් ඉහළයි. ගුණාත්මක කාබනික පොහොර අඩු වියදමකින් හදන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගන්න අමතර ශ‍්‍රමයක් හා කාලයක් යොදවන්න ඕනෑ. ඒ හැමදෙයක්ම ආහාරයේ නිෂ්පාදන පිරිවැයට යෙදුනාම ගොවියාට දරන්න සිදු වන වියදම ඉතා විශාලයි. නමුත් ඒ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේදී මිල වැඩි කළොත් පාරිභෝගිකයන් අපහසුතාවට පත් වෙනවා. එහෙම තත්ත්වයකදී තමන්ගේ පිරිවැය

 සපුරගන්න ගොවීන්ට අපහසු වෙනවා. ඒකෙනුත් සිදුවන්නේ ගොවීන් ගොවිතැනින් ඈත් වීම යි. භූමිය අතින් ගත්තත්, ගොවීන්ගේ ආර්ථිකය අතින් ගත්තත් සිදුවෙමින් තිබෙන්නේ දේශීය කෘෂිකර්මාන්තය ඉතා දරුණු ලෙස කඩා වැටීමයි.”

 ප‍්‍රශ්නය – රසායනික පොහොර නිසා වකුගඩු රෝග සෑදෙන බව කියා කාබනික පොහොර අනිවාර්ය කර වැඩි කල් යන්නට මත්තෙන් යළි රසායනික පොහොර ගෙන්වීමට අනුමැතිය ලැබීමෙන් ජනතාව මංමුළා වූවා නොවේද..?

 පිළිතුර – ‘‘මෙතැනදී කියන්න තියෙන්නේ මංමුළා වෙලා තියෙන්නේ පාලක පක්ෂය යි. මේ රටේ තීරණ තීන්දු ගන්නා අය මුළාවීම මත පසුගිය අපේ‍්‍රල් මාසයේදී ගන්නා ලද තීරණ නිසා මේ අර්බුද නිර්මාණය වුණා. වකුගඩු රෝගය හැදෙන බව කියා මුලදි මුළා කළා. අස්වැන්න අඩු වුණාම ආනයනය කරන්න සූදානම් වුණා. ඩොලර් නැති නිසා ඒකත් අසාර්ථක වුණා. මෙයින් ජනතාව අසීරුතාවට පත් වුණා. තීරණ ගතයුතු පාලකයන් තවමත් මංමුළා වෙලා සිටිනවා.

 ප‍්‍රශ්නය – ඇත්තටම ශ‍්‍රී ලංකාවේ පසටත්, වගාවටත් සුදුසු, ජීවී ශරීරවලට හානිකර නොවන පොහොර භාවිතයකින් හරිත කෘෂිකර්මාන්තයක් ගොඩනැ`ගීම අභියෝගයක්ද…?

 පිළිතුර – ‘‘රජය පෙන්වා දෙන්නේ ඔවුන් විසින් ගනු ලැබූ මේ ප‍්‍රතිපත්තිමය තීරණය සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ හරිත කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීමේ අංගයක් කියා යි. නමුත් එහි සඳහන් වන්නේ ඒ සැලසුම් වසර දහයක් ඇතුළත ක‍්‍රියාත්මක කරන බව යි.

 එය එසේ සිදු කරන්නේ නම් මේ වගේ ගැටලූසහගත තත්ත්වයක් උද්ගත වෙන්නේ නැහැ. හරිත කෘෂිකර්මය වසර දහයකින් ළඟා කර ගැනීම ප‍්‍රායෝගික විය හැකියි. එලෙසින් ක‍්‍රමානුකූල පියවරක් අනුගමනය කළේ නම් හරිත කෘෂිකර්මාන්තයක් ගොඩනැ`ගීම අභියෝගයක් නොවන්න තිබුණා. එහෙම වුණා නම් අපට ගුණදායී කාබනික ආහාර ලැබීම ගැන අපිත් සතුටට පත් වෙනවා. නමුත් මේ හදිසි තීරණය ගැනීම තමයි අසාර්ථකත්වයට හේතු වුණේ.”

 ප‍්‍රශ්නය – රසායනික පොහොර පසට යෙදීම වකුගඩු රෝගකාරක නෙවෙයි කියා කිව හැකිද….?

 පිළිතුර – ‘‘කෘෂිකර්මාන්තයේදී ගැටලූව වන්නේ රසායනික පොහොර පසට යෙදීම නෙවෙයි. ගැටලූව වන්නේ රසායනික පොහොර හා කෘෂි රසායන යෙදවීමේ අවිධිමත් බව යි. වගාවට අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවා පොහොර යෙදීම, අවශ්‍ය කාල සීමාව සම්පූර්ණ වීමට පෙර නැවත පොහොර යෙදීම, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කරන බඳුන් ගංගා ජලාශ ආදියෙහි දමා සේදීම වගේ අවිධිමත් කාර්යන් නිසා මිනිසුන්ට වගේම, පරිසරයට, පසට අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. ඒ වගේම මේ රටේ ස්ථාවර කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් නැහැ. තියෙන ප‍්‍රතිපත්තියත් එන එන අය වරින් වර වෙනස් කරනවා. ඊළඟට පොහොර, කෘෂි රසායන ආනයනය කිරීමේදී මොනවගේ, කුමන ප‍්‍රමිතීන් යටතේ ද ගුණාත්මක බව කෙබඳුද කියා ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. ගුණාත්මක බව සම්බන්ධයෙන් නිර්ණායක තියෙනවා. නමුත් එය නිවැරදි ප‍්‍රතිපත්තියක් තුළ නියාමනය වෙන්නේ නැහැ. ඊළඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ භෝගවලට අදාළව පර්යේෂණ කරමින් ඒ ඒ ප‍්‍රදේශවලට, විවිධ කලාපවලට, දේශගුණයට අදාළ වන ආකාරයට කෘෂි රසායන යෙදියයුතු ආකාරය හා ප‍්‍රමාණයන් පිළිබඳ නිර්දේශ ලබා දී තිබෙනවා. මේ නිර්දේශ නිවැරදි ආකාරයට ගොවියෝ භාවිත කරනවා නම් හානිය අවම වෙනවා. වැඩි අස්වැන්නක් ගන්න ගොවියෝ සමහර පොහොර නියමිත නිර්දේශ ඉක්මවා වගාවට යොදවනවා. ඒ පිළිබඳ නියාමනයක් නැහැ. ඒ පිළිබඳ දැනුම ඇති අය යොදා ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රජය විසින් ඒ නියාමනය නිසි ආකාරයෙන් කළ යුතුයි. තාක්ෂණික දැනුම බිම් මට්ටමට ඉතාම අඩුවෙන් තමයි යන්නේ. ගොවියන්ට ඒ දැනුම නිවැරදිව ලබා දිය යුතුයි. පොහොර සහනාධාර වගේ දේශපාලන තුරුම්පුවලින් ගොවියා නිදහස් කළොත් ගොවීන් මීට වඩා නිවැරදි ආකාරයට සමෝදානිකව කෘෂි යෙදවුම් භාවිත කරයි. මිනිස්සුන්ට, සතුන්ට, පරිසරයට හානියක් නොවන කෘෂි වගාවක් ඇති වේවි. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ තාක්ෂණය අපේ රටේ හොඳටම තියාගෙන තමයි මේ ආකාරයට අපේ රටේ මිනිස්සු ආහාර හිඟයකින් පෙළෙන්නේ සහ රටට සිදු කරන්නේ. රටටත්, ජනතාවටත් හිතකර වන හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් හා මාර්ග සිතියමක් අපි අදටත් සකස් කරගෙන තියෙනවා. ඒ කළයුතු ආකාරය විද්‍යාත්මකව කරන්න අපි සූදානම්. නමුත් මේ වනවිට වගකිවයුතු අයට මේ පිළිබඳ කිසිම උනන්දුවක් නැහැ. සිදු වන්නේ හරිත කෘෂිකර්මය කියන ලේබලය හරහා දේශපාලන වාසි ලබා ගැනීම පමණයි. ඒ ගැන කිසිම වගකීම් සහගත සාකච්ඡුාවක්වත් ඉහළ මට්ටමෙන් සිදු වූ බවක් නම් නැහැ.”

 ප‍්‍රශ්නය – ගෙවතු වගා සංවර්ධනයෙන් ආහාර හිඟයට සහන සැලසිය හැකි ද…?

 පිළිතුර – ‘‘ඒකත් මුළාවක් පමණයි. මේ රටේ වාණිජ වගාව නැති කරලා ගෙවතු වගාව හරහා අවශ්‍ය ආහර සපයා ගන්න කීම ප‍්‍රායෝගික දෙයක් නෙවෙයි. මේ රටේ නාගරික, අර්ධ නාගරික, ග‍්‍රාමීය කියන සෑම ප‍්‍රදේශයකම සිටින අයට තමන්ගේ අවශ්‍ය තරමට වගා කරන්න බැහැ. ඒක ප‍්‍රායෝගික නැහැ. නමුත් ගුණාත්මක ආහාර වර්ග කිහිපයක් ගෙවත්තක සකසා ගත හැකියි. ඒ හැර ආහාර හිඟයෙන් බේරීමට අවශ්‍ය තරම් ආහාර ගෙවත්තක වවන්න බැහැ. බොහෝ අයට ගෙවතු නැහැ. මේ රටේ කෘෂිකර්මාන්තයේ නියැළී සිටින්නේ ශ‍්‍රම බළකායෙන්

 27%යි. අනිත් අය වෙනත් රැුකියාවල නිරත අයයි. ඔවුන්ට ඒ සඳහා අමතර කාලයක්, ශක්තියක් නැහැ. මේක තනිකරම ප‍්‍රහසනාත්මක කතාවක් පමණයි.”

 ප‍්‍රශ්නය – මේ අර්බුදය හමුවේ ජනතාවට කළ හැකි යමක් තිබේ ද..?

 පිළිතුර – ‘‘ඇත්තටම ජනතාවට කළ හැකි යමක් නැහැ. ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්නේ, ඒවා ක‍්‍රියාත්මක කරන්නේ, ඒ අදාළ ආයතනවලට නිලධාරීන් යොදවන්නේ ජනතාව නෙවෙයි. ඒ තීරණ ගන්නේ රටේ පාලකයන් එහෙමත් නැත්නම් තීරණ ගතයුතු යාන්ත‍්‍රණයක් සිටිනවා. ජනතාවගේ වගකීම වන්නේ ඒ තීරණ ගතයුතු අයව නිවැරදිව තෝරලා ප‍්‍රතිපත්ති තීන්දු ගන්න තැන්වලට යැවීම පමණයි. ඒ තෝරා ගැනීම නිවැරදිව නොකිරීමේ ප‍්‍රතිවිපාක අපට විතරක් නෙවෙයි මේ රටේ අනාගත පරපුරටත් අත්විඳින්න සිදු වෙනවා. මේ සිදුවෙමින් තිබෙන්නේත් එයයි.”

 සාකච්ඡා කළේ – තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment