යාපනයට ගිය බයිසිකල් සංචාරය 1

ලංකාවේ වාටියේ තලේමන්නාරම් ජැටියෙන් පේසාලේට…

බයිසිකලයෙන් යාපනයේ ගිය සංචාරය ගැන මගේ උගත් නිර්මාණශීලී, විහිළු තහලු කරන මිත්‍රයෙකුට ආරංචිවෙලා ඔහු කියනවා උඹ කැඩුවේ එඩ්මන්ඩ් හිලරිගේ වාර්තාව කියලා. මම බැලුවා මොකක්ද ඒ කතාව කියලා. ඔහු කියනවා ලංකාවේ සිතියම කෙළින් කර බැලුවම බයිසිකලෙන් යාපනයට පදිනවා කියන එක ලේසි නෑ කියලා.

අපට යාපනයට යන්න හීනයක් වුණ කාලයක් තිබුණා. පසුගිය තිස් වසරකට යුද්ධය තිබුණු අවස්ථාවේ යාපනයේ යෑම හිතාගන්නවත් බෑ. ඒකට අද, අපට ඕනෑම වෙලාවක ඔනෑම විදියකින් ගිහින් එන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. එදා ්-9 ලේයින් ලියපු අකුරක් වගේ. A-9 කිව්වම යන්න පුළුවන් පාරක් නෙවෙයි. හරියට අද ගාසා තීරය වගේ. එදා උතුර ලේ දහරා ගලා ගිය ලෙයින් තෙත් බිමක්. අද නිවහල් නිදහස්ව රැයක් දවාලක් නැතිව බයිසිකලෙන් වුණත් යාපනේ ගිහින් එන්න පුළුවන් වුණේ සියලු රණවිරුවන්ගේ කැපවීම නිසයි. ඔවුන්ට උපහාරයක් වේවා…!

සංචාරයක දී පාපැදියෙන් සංචාරය කිරීමේ දී දැනෙන සතුට, අද්දැකීම, වින්දනය වෙනත් ම අද්දැකීමක්. බයිසිකල් පැදීමත් ප්‍රගුණ කළයුතු දෙයක්. පළමු පැදීමෙන් නොදැනෙන සතුටක් දිගින් දිගට පාපැදිය හුරුවෙද්දී දැනෙන්න ගන්නවා. එතෙක් පදින වැඩේ අත්නාරින්න පදින්නාට කැපකිරීමක් කරන්න වෙනවා.

අපි මේ පදින්නේ කිලෝමීටර් 250ක පමණ ගමනක්. එහෙත් පිටරට බයිසිකල්වලින් සංචාරය කරන්නන් මාස ගණන්, රටවල් ගණන්, මහද්වීප හරහා ලෝකයේ එක් කෙළවරේ සිට අනෙක් කෙළවරට පදිනවා. සමහරු වාර්තා තියන්න, සමහරු අලුත් තැන් නිරීක්ෂණය කරන්න, තවත් සමහරු අලුත් අත්දැකීම් විඳගන්න වගේ වෙනස් වෙනස් කාරණා වෙනුවෙනුත් පාපැදි ගමන යොදාගන්නවා. මේ හැම ගමනකම අන්තිමට බැලුවිට දැනෙන්නේ සතුටක්, විනෝදයක්.

සතුට, අත්දැකීම, විනෝදය ජීවිතය කරගත් විශාල සංචාරකයන් පිරිසක් සමාජ මාධ්‍ය තුළ හමුවෙනවා. බයිසිකල් සංචාර පිළිබඳ ලොකු අද්දැකීම් නැති අපට මේ කිලෝමීටර් 250ත් විශාල අද්දැකීමක්. මේ තුළින් ශරීරයට ලැබෙන ව්‍යායාමය, සෞඛ්‍යය වඩවනවා වගේම මනසට දැනෙන වින්දනය, තෘප්තිය ඉතා ඉහළයි.

පෙට්‍රල් අර්බුදය වුණ අවස්ථාවේ කාර්යාලයට ඒමට යෑමට සහ වෙනත් ගමන් බිමන් සඳහා පාපැදියට නැග්ග මට එය විනෝදයක් කරගන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. විනෝදයට රට වටේ සංචාරය කරන්න සිතට ආ දවසේ පටන් පළමුව බෙන්තොටට පැද්දා. පසු දවසක උණවටුනටත් පැද්දා. නුවර, මහියංගණය හරහා බදුල්ලටත් පැද්දා. මීගමුව, පුත්තලම, කල්පිටියටත් පැද්දා. හිතේ තිබුණ ලොකු බලාපොරොත්තුවක් තමයි මන්නාරම හරහා යාපනයට පදින්න. මගේ බයිසිකල් මිත්‍ර සමාගමට ආරාධනා කළත් ගමනට එක්වන්න පුළුවන් වුණේ චාමර කොඩිතුවක්කුට විතරයි.

ලංකාවේ වාටියේ තලේමන්නාරම් ජැටියෙන් පේසාලේට…

ශයිලේන්ද්‍ර කියන්නේ අපේ බයිසිකල් කණ්ඩායමේ නායකයා කිව්වොත් නිවැරැදියි. අවුරුදු 15ක පමණ කාලයක පටන් බයිසිකලයට ගොඩවුණු ශයිලේන්ද්‍ර, අපි යන ගමන්බිමන් සැලසුම් කළා වගේම බයිසිකල් පිළිබඳ උපදෙස් දුන්නේ ඔහු. ශයිලේන්ද්‍රගේ පාපැදි අත්දැකීම් අපේ ගමන් පහසු කළා වගේම ලස්සන කළා. පොතපත කියවීමටත් දැඩිව ඇලුම් කළ ඔහුහට විශාල මතක ගබඩාවක් තිබුණා. විශේෂයෙන් සංගීතයට ඇලුම් කළ ශයිලා දක්‍ෂ ට්‍රම්පට් වාදකයෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්. ඕනෑම අභියෝගයකට අභියෝග කළේ සිනාපිරි මුහුණින්. ඔහු හමුවේ අභියෝග දණින් වැටුණා. පසුගිය පෙබරවාරි 10 වැනිදා දවසේ අප කණ්ඩායමේ ජනක් ඩයස් සමග නුවර බලා පදින අවස්ථාවේදී නොසිතූ මොහොතක ශයිලේන්ද්‍ර මියගියේ කඩුගන්නාව කන්ද පදින ගමන් හැදුණ හෘදයාබාධයකින්. අපට දැනුනේ වාවාගත නොහැකි දුකක්. දරාගත නොහැකි පාඩුවක්. මගේ මේ මන්නාරම හරහා යාපනය ගමන සැලසුම් කළේ ම අකාලයේ සමුගත් ශයිලේන්ද්‍රට උපහාරයක් පිණිස.

පසුගිය සැප්තැම්බර් 28 දා පටන්ගත් දිගු නිවාඩු අන්තයට ගමන සැලසුම් කළා. කොළඹ සිට ගමන් ඇරඹුම යොදාගෙන තිබුණත් ඒ සුමාන කිහිපයේ පැවැති ධාරානිපාත වර්ෂාවට අපිව මන්දෝත්සාහී කරන්න බැරි වුණා. වැස්සට කොකා පෙන්නපු අපි ගමන මන්නාරමෙන් පටන්ගන්න සැලසුම් කළා. පුත්තලමෙන් එහාට වර්ෂාව නැහැ. ගමනට බුද්ධික විතානවසම් සහ චාමර කොඩිතුවක්කු ලෑස්තිවී සිටියත් බුද්ධික හදිසි ආබාධයකට ලක් වුණ නිසා චාමර පමණක් එක්වුණා. ගෙදරින් පිටත් වන විටත් අධික වර්ෂාව නිසා වැහි කබා ඇඳගෙනම ගෙදරින් පිටත් වුණේ උදේ 10.00ට කොළඹින් පටන් ගන්නා මන්නාරම බලායන බස් රථයට ගොඩවන්න. කි.මි. 12ක් මහ වැස්ස යටින් කොළඹට ම පැද්දා. මමත්, චාමරත් වැස්සේ ම බයිසිකල් දෙක බස් එකේ ගුදම් ඉඩට දාගත්තා. උදේ 10 වෙනකොට ගමන පටන් ගත්තා. පැය පහ හමාරක ගමනකින් පසුව සවස 3.30ට පමණ අපි මන්නාරමෙන් බැස්සා. මන්නාරම අපිට අත වැනුවේ තද අව්ව මුසු රශ්මිය කලත්තලා. මන්නාරම් ප්‍රදේශයට මාස ගණනක සිට දරුණු පෑවිල්ලක්. එකම රටේ පැය කිහිපයක වෙනස. මේ වෙනස නිසා ම තමයි ලංකාවේ සුවිශේෂත්වය. අපේ අදහස වුණේ තලෙයිමන්නාරමේ සිට ම ගමන පටන් ගන්න. මන්නාරම සිට තලෙයිමන්නාරමට කි.මී. 30ක් විතර තියෙනවා. පැය දෙකක විතර ගමනක්. එහෙම උනොත් නවාතැනට පැමිණීමට රෑ වෙනවා. ඇඳිරි වැටිමත් සමග තලෙයිමන්නාරමේ ඇවිදිමට බැරි වෙනවා. බස් රථයේ දී අප හා කුළුපග වූ නාවික හමුදා නිලධාරි මිත්‍රයා රැගෙන යෑමට පැමිණි ජීප් රථය තලෙයිමන්නාරම දක්වා යන නිසා අපිත් බයිසිකල් දෙක ජීප් රථයට දාගත්තා. පැයකටත් අඩු කාලයකින් අපි දැන් තලෙයිමන්නාරමේ. තලෙයිමන්නාරමේ මුහුද අද්දර. ජැටිය ළඟ.

ජැටියට ළඟා වෙද්දී සවස 4.30ට පමණ ඇති. ජැටිය අසලින් වෙරළට බැස්ස චාමරත් මමත් වෙරළ ඉමේ ටිකක් ඇවිද්දා. වසර 100 කටත් වඩා පැරණි මේ ජැටියේ යකඩ කණු 12ක් පේන්න තිබුණත් බොහෝ කොටස් මුහුදු ජලයට, (ලවණ) සහ මුහුදු සුළඟ හේතුවෙන් ඛාදනය වෙලා. මෙම ජැටිය ඓතිහාසික වූත් මෙරටට වැදගත් වූත් නාවික ජැටියක්. මන්ද දකුණු ඉන්දියාවත් (රාමේෂ්වරම්) ශ්‍රී ලංකාවත් (මන්නාරම) යා කෙරෙන කෙටිම නාවික මාර්ගය මේ ඔස්සේ පැවැති නිසා. මේ නිසා ම දෙරටේ වෙළෙඳම හා ගවේෂණාත්මක සංචාර සිදුවී තිබෙනවා. අරාබීන්, පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් වගේම අතීත දකුණු ඉන්දීය ආක්‍රමණකයින් ද මේ නැව් තොට භාවිතයට ගෙන තිබෙනවා. ඉංග්‍රීසි පාලන සමයේ දී දකුණු ඉන්දීය වතු කම්කරුවන් මෙරටට ගෙනැවිත් ඇත්තේ ද මෙම ජැටිය ඔස්සේයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති මගී නැව් සේවාව ක්‍රියාත්මක වූයේ ද මේ ජැටිය පාදක කරගෙන. එහෙත් තිස් වසරක යුද්ධයේ බලපෑමට සහ 1978 දී බල පෑ සුළි සුළං තත්ත්වය හේතු කොට ගෙන දෙරට අතර නාවික සේවා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණා. ඉංග්‍රීසීන් විසින් ඇති කළ දුම්රිය සේවාව කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා ක්‍රියාත්මක වූණා. මෙහි විශේෂත්වය වුණේ කොළඹ කොටුව සිට ඉන්දියාවේ තූත්තුකුඩිය දක්වාම එකම ටිකට් පතකින් (නැව් සේවාව ද ඇතුළත්ව) ගමන් කිරීමේ හැකියාව මේ රටේ ජනතාවට ලැබී තිබීම. ඉන්දියානුවන්ටත් එසේම වුණා. අද වනවිට නැවතත් මේ වැඩ පිළිවෙළ ආරම්භ වීම සතුටක්.

රාත්‍රියේ දී නාවික යාත්‍රා සහ ධීවර යාත්‍රාවලට පාර කියන ඉපැරණි ම ප්‍රදීපාගාරය රමණීය දසුනක් මැව්වා. අපි ඒ අසල ඡායාරූප කිහිපයක් ගත්තා. 1915 දී නිර්මාණය කර ඇති මේ ප්‍රදීපාගාරය උසින් මීටර් 17ක්. වර්තමානයේ මෙය ක්‍රියාත්මක නොවන අතර සංචාරකමය සිහිවටනයක් සේ පවත්වාගෙන යනු ලබනවා. අප බලාපොරොත්තු වුණේ රත් පැහැ ගැන්වී ආකාශ නටුවෙන් ගිලිහෙන හිරු ඈත ක්ෂිතිජයෙන් සැඟවෙද්දී ඒ මොහොතේ ඡායාරූප කිහිපයක් ගැනීමටයි. නමුත් කිසිම වග විභාගයක් නැතිව අඳුරු වලාකුළු අතරේ මළහිරු සැඟවී ඉන්නේ අපේ බලාපොරොත්තු සුන් කරමින්. සොබාදහම මෙහෙම තමයි කියමින් චාමර, තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය අවසානය ළඟ පීලි මත හිඳ ගත්තා.

පොඩි විවේකයක් සමග මමත් චාමර සමග කතාවට වැටුණා. දශක තුනකටත් අධික යුද්ධයෙන් බැට කෑ මන්නාරම් දිස්ත්‍රික්කය වර්තමානය වනවිට අතු ඉති නංවමින් වැඩෙමින් තියෙනවා. ඉන්දියාවේ ආධාර මත ඉදිවුණ තලෙයිමන්නාරම දක්වා වූ දුම්රිය මාර්ගය ඉතා හොඳින් නිමවී තිබුණා. දිගු නිවාඩුවක් නිසා ශ්‍රී ලාංකික සංචාරකයින්ගෙන් ජැටිය අවට වෙරළ තීරය පිරි ගිහින්.

මන්නාරම කියන්නේ උතුරු පළාතේ වයඹ දෙසින් වර්ග කිලෝමීටර් 1996ක විශාලත්වයකින් යුත් ශ්‍රී ලංකාවේ ඇති ශුෂ්ක ප්‍රදේශවලින් එකක්. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.5 කට වඩා වැඩියි. වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1000කට වඩා අඩුයි. වසරේ මාස 5කට වඩා වැඩි කාලයක් වියළි කාලගුණ තත්ත්වයක පවතින අතර කටු පඳුරු වනාන්තර හා වියළි සදාහරිත වනාන්තර දැක ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම දෙවැනි ගංගාව වන මල්වතුඔය මුහුදට වැටෙන්නේ ද මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළ තීරයෙන්. වියළි දේශගුණික රටාවක් තිබුණත් යෝධ වැව ප්‍රධාන කොට ඇති කුඩා වැව් හේතුවෙන් වී ගොවිතැන බහුලව සිදු කරනවා. වර්තමානයේ මන්නාරම ලෙසින් හඳුන්වන නාමය ද්‍රවිඩ භාෂාවෙන් උත්පන්න වූවක්. එහි සිංහල අරුත මුතු බිම යන්නයි. ද්‍රවිඩ, මුස්ලිම් සහ සිංහල නියෝජනයක් සහිත මන්නාරම දිස්ත්‍රික්කය ජාති ආගම් විවිධත්වයෙන් අලංකෘතයි.

ලංකාවේ වාටියේ තලේමන්නාරම් ජැටියෙන් පේසාලේට…

වසර 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙනවිට මෙහි පරිපාලනය කටයුතු මහනුවර රාජධානි පාලනයට යටතේ පැවැති තිබුණා. මේ පෙදෙස තම අණසකට යටත් කොටගත් පෘතුගීසීන්, එහි පරිපාලනය හා ආරක්‍ෂාව සඳහා මන්නාරමේ බළකොටුවක් ඉදිකර ගත්තා. වර්ෂ 1658 දී පැමිණි ලන්දේසීන්ගේ ග්‍රහණයට යටත් වූ පසුව ඔවුන් එය ප්‍රතිසංස්කරණය කර පාලනය මෙහෙයවූවා. පසුව ඉංග්‍රීසින්ද මෙහි සිට පාලනය කරා. මන්නාරම කෙරෙහි මේ යුරෝපීය ජනයාගේ අවධානය යොමුවූ ප්‍රධාන සාධක අතර එකක් වූයේ මුතු කැඩීම සහ මුතු වෙළෙඳාමයි.

ප්‍රාග් ඓතිහාසික දක්වා මානව ක්‍රියාකාරකම්වලට ලක්වූ ප්‍රදේශයක් ලෙස මන්නාරම් දිස්ත්‍රික්කය පෙරමුණේ තිබෙනවා. ප්‍රාග් ඓතිහාසික ජන සමූහයා ආහාරයට ගත් මුහුදු ඌරා, හක් බෙල්ලන් හා අනෙකුත් බෙලි කටු සහිත සතුන්ගේ අවශේෂ හමුවීම නිසා මන්නාරමේ ඉතිහාසය එච්චර අතීතයකට ගමන් කරනවා. මාන්තායි සිට කි.මී. 35ක උතුරෙන් වූ මෝදරගල් ආර මෝය අසලින් ශිලා යුගයේ මුහුදු බෙලි කටු ගොඩක් හමුවීමෙන් මෙය තහවුරු වී තිබෙනවා.

විජය රජු හා පිරිස (ක්‍රි.පූ. 543-505) පැමිණ ගොඩවන්නේ ද මන්නාරම් දිස්ත්‍රික්කයේ තම්බපන්නිය ප්‍රදේශයටයි. තවද එළාර රජු සහ දුටුගැමුණු රජු අතර යුද්ධය පැවැති සමයේ එළාර රජු සහාය පිණිස භල්ලුක ප්‍රමුඛ හැට දහසක් සේනාව ගොඩබසින ලද්දේ ද මාන්තොට වරායටය.

පොතපතින් ලත් මන්නාරමේ ඉතිහාසය ගැන චාමරත්, මමත් එක දිගට කතා කරා. දැන් දැන් ඉර බැසගෙන යන වෙලාව ඇවිත්. ඉක්මනින් බයිසිකලයට නැග්ග අපි ගමන පටන් ගත්තා. අද අපේ නවාතැන මන්නාරම යුධහමුදා කඳවුරක. එතැනට කිලෝමීටර් 33ක් පමණ පදින්න තිබෙනවා. තලෙයිමන්නාරම දුම්රිය පොළට ගොඩවැදිලාම ගමන පටන් ගමු කියලා මම යෝජනා කළා. චාමර අනුමත කළා.

කි.මී 13 පමණ පදින කොට පේසාලේ හන්දිය හමු වුණා. පේසාලේ හන්දිය ළග මම පොඩ්ඩක් නතර වුණා. එක් වරම මගේ මතකයට පේසාලේ ගැන මතකයන් කීපයක් අවදි කළා. පළමු මතකය පේසාලේ තෙල් ළිං කතාව. පේසාලේ තෙල් මාතෘකාව ලංකාවේ දේශපාලන වේදිකාවේ 1973 නේ සිට අද දක්වාම කතා කරලා තියෙනවා. 1975 මැයි පෙලපාලියේ අපේ වැඩිහිටියෝ යනකොට කියපු සටන් පාට මේ දැනුත් මතකයට එනවා.

පේසාලෙන් තෙල් එනවා
ජේආර් ව පුච්චනවා

………………………………..

පේසාලෙන් තෙල් එනවා
අපි මැතිනිව දිනවනවා

…………………………………

තව මොනවද අඩු – මෙන්න බොලේ බඩු
යූඇන්පිය කුඩු – යමුද මචෝ මඩූ

ලංකාවේ වාටියේ තලේමන්නාරම් ජැටියෙන් පේසාලේට…

අනිත් මතකය, රත්න ශ්‍රී විජේසිංහ මහතා ලියපු කේමදාස මාස්ටර් සංගීතවත් කරපු රෂ්මි සංගීතා ගායනා කරන නිරවි සිහිනය කැසට් පටයේ අඩංගු මන්නාරම් කන්‍යාරාමය ඇරිලා

වැලිපාරේ මං ආවා
පේසාලේ හංදිය ළඟ
කනේරු ගහපාමුල ඔබ පරවී වැටිලා… ගීතය.

අනිත් එක, රෝහණ බැද්දගේ මහත්තයා 1974 වර්ෂයේදී ලියා, ගයන… මහන්සියට කවි සීපද සින්දු කියනවා….. ගීතයේත් පේසාලේ තෙල් කතාවක් කියවෙනවා. රෝහණ බැද්දගේ මහත්තයාගේ ගම්මානේ උපන් ගීත පොතේ මෙහෙම ලියලා තිබුණා. පේසාලෙන් තෙල් මතුවෙයි කියලා පුවත්පතක පොල්ගෙඩි අකුරින් ප්‍රධාන සිරස් තලයක් සඳහන් කරලා තිබුණා. පේසාලේ තෙල් ළිං කැණීම ගැන ඒ වෙන් කොට වරින් වර තොරතුරු පත්තරවල තිබුණා. අපේ රටට පේසාලේ තෙල් ළිංවලින් සිකුරට ම තෙල් ලැබෙන බව මිසක් ඒ ගැන කිසිම සැකයක් කවදාවත් පත්තරවල පළ වුණේ නෑ. අපේ ම කියලා පාවිච්චි කරන්න පුළුවන් විදියට තෙල් ලැබෙනවනම් මොන කතා ද? එහෙම හිතලා

අපේ දුක් ගී ඇහිලා –
හැඬූ ලක් මවගේ හදවතේ
අනාදිමත් කලක පටන්
ලේ උණු වෙනවා
ඒ උණු ලේ කඳුළු වෙලා –
හෙළු කඳුළු එකතුවෙලා
තෙල් හැදිලා පේසාලෙන්
ගොඩට ඇදෙනවා……

කියලා සිංදුව සම්පූර්ණ කරාලූ.

ආපසු හැරී බැලුවම මේ හැම ආණ්ඩුවක්ම අද දක්වාම රටේ ජනතාව අන්දලා සහ ජනතාව ඇන්දිලා.

මමත් ගීතය හිතින් මුමුණමින් හා යමං පුතා…

හෙමින් හෙමින් මන්නාරම් තැන්න පදිනවා කියලා වෙනස් කරගෙන කළුවරේම බයිසිකලය පැද්දා.

දැන් දැන් මන්නාරමේ මනරම් බව කළුවරට ම බරවෙලා. ඉතාමත් ඉක්මනින්ම විදුලි පන්දම් දල්වා ගත් අපි පාලුව පැතිරුනු කට්ට කළුවරේ ඉදිරියට පදින්න ගත්තා. අපේ නවාතැනට ප්‍රධාන මාර්ගයේ සිට හැරී කිලෝමීටර් 2ක් පමණ යා යුතුයි. කලපුව හරහා ගමන් කරනවිට එන හුළං බයිසිකලය පදින්නට බැරිවන තරමට සැරයි. බැරිම තැන බයිසිකලයෙන් බැස අපි තල්ලු කරගෙන ගියා.

රාත්‍රී නවය පසුවුවත් යුධ හමුදා කඳවුරට අපේ පැමිණීම කල් තියා දැන සිටිය නිසා වැඩිදුර පරීක්‍ෂාවකින් තොරව අපි ඇතුළට ගත්තා. අපි එනතුරු බලා සිටි IV VIR මේජර් හසිත පියංකර සහ මේජර් බිනෝයි සුරවීර, මාවත් චාමරවත් උණුසුම්ව පිළිගත්තා. අඟල් හතර පහක් එරෙන වැල්ලේ අමාරුවෙන්, අමාරුවෙන් කඳවුරේ නවාතැනට පැමිණියා.

ඡායාරූප සහ සටහන
හර්ෂණ ජයතිලක

විශේෂ ස්තූතිය –
මේජර් ජෙනරාල්
රෝහිත අලුවිහාරේ

advertistmentadvertistment
advertistmentadvertistment