පුංචි ඡන්දයට එරෙහි පෙත්සම යළි සලකා බැලීම 23 දා

59

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම ලබන 23 වැනිදා සලකා බැලීම සඳහා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20දා) නියම කළේය.

එම පෙත්සම එස්. තුරෙයිරාජා හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. පෙර සැලසුම් කළ පරිදි එම මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 23 වැනිදා ආරම්භ කිරීම සිදු නොවන බවට මේ වන විට දැන ගන්නට ලැබී ඇති බැවින් අධිකරණය විසින් පෙර නියම කර තිබූ පරිදි ලබන 23 වැනිදා සිය පෙත්සම කැඳවීම සම්බන්ධයෙන් විරුද්ධත්වය නොදක්වන බව පෙත්සම්කාර විශ්‍රාමික කර්නල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. මේ වන විට එකී මැතිවරණය පැවැත්වීම සඳහා ඇති වී තිබෙන බාධා අනුව ලබන මාර්තු 9 වැනිදා ඡන්දය පැවැත්වීම අසීරු වන්නේ යැයි මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පෙත්සම්කරු සම්බන්ධයෙන් අතරමැදි පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා යළිත්

සිහිගන්වමින් අතරමැදි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා කරුණු දැක්වීය. මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් නීතිඥ අංජන රත්නසිරි, නීතිඥ යොහාන් පීරිස් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය. නීතිඥ ෆයිසා මුස්තාපා මාකර්, නීතිඥ ඉරාජ් ද සිල්වා සහ නීතිඥ මණ්ඩලය සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා පෙත්සම්කාර විශ්‍රාමික කර්නල්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment