තරුණයින් තිදෙනකුට මරු කැඳවූ දුම්රිය අනතුර: එක් තරුණයකුගේ මළ සිරුර රේල් පාරේ මැද වැටී තිබුණා

465

අනිත් දෙදෙනාගේ සිරුරු ඊට එහායින් තිබෙනවා දැක්කා – රේල් ගේට්ටුව අසල පදිංචිකරුවෙක් කියයි

පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ සීනු හා විදුලි පද්ධතිය විධිමත් නෑ – ප්‍රදේශවාසීහු චෝදනා කරති

“එක් තරුණයකුගේ සිරුරක් දුම්රිය මාර්ගයේ මැද වැටිලා තිබුණා. ඊට අඩි දහයක දොළහක දුරින් තවත් දෙදෙනකු වැටිලා හිටියා. ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් ද ඒ අසල තිබුණා” යැයි බූස්ස පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දී තරුණයන් තිදෙනකුට දිවි අහිමි කරමින් වූ දුම්රිය අනතුර පිළිබඳ අදහස් දක්වමින් දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පදිංචිකරුවකු හා රත්ගම ආර්නස්ට් විද්‍යාලයේ ගුරුවරයකු වන ඒ. පී. ශාන්ත නමැත්තා පැවසීය.

තරුණයන් තිදෙනකු යතුරුපැදියකින් මෙකී දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මරදාන සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් පෙරේදා (23 දා) මරුමුවට පත්විය. අනතුර පස්වරු 3.45ට පමණ සිදුවී ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ බූස්ස, ගලතොට, රේජ්ජිපුර පදිංචි විජයමුණි අවිශ්ක දිල්ෂාන් (18), විජයමුණි අචිත දිල්ෂාන් (19) යන අයියා මලෝවරු දෙදෙනා සහ අලුත්වලගේ පසිඳු චාතුර්ය සහබන්දු (19) නමැති තරුණයෙකි. යතුරු පැදිය පදවා ඇත්තේ පසිදු චාතුර්ය සහබන්දු නමැති තරුණයාය. මෙකී තරුණයන් තිදෙනා රේජ්ජිපුර සිට බූස්ස වැල්ලබඩ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. “එක් තරුණයකුගේ සිරුරක් තිබුණා දුම්රිය මාර්ගයේ මැද වැටිලා. ඊට අඩි 10ක් 12 දුරින් තවත් දෙදෙනෙකු වැටිලා හිටියා. ස්කුටර් වර්ගයේ යතුරුපැදියක් ද ඒ අසල තිබුණා. අපි මෙම ස්ථානයේ පදිංචියට ඇවිත් වසර 14ක් වෙනවා. මෙකී දුම්රිය හරස් මාර්ගය මාරාන්තික

ස්ථානයක්. ගොඩක් අය අනතුරුවලට ලක්වෙලා තියෙනවා. මෙම හරස් මාර්ගයේ ඇති සීනු හා විදුලි පද්ධතිය නියමිත අයුරින් වැඩ කරන්නේ නෑ. දුම්රිය එන්නේ නැති වෙලාවටත් රතු පාටට විදුලි බුබුළු දැල්වෙමින් තියෙනවා. සීනුවත් නාද වෙනවා. මේ ශබ්දය අවට පදිංචිකරුවන්ටත් බාධාවක්. මීට වැඩිය හොඳයි මුරකරුවකු දමලා ගේට්ටුවක් දැම්මා නම්” යැයි අනතුර වූ ස්ථානය අසල පදිංචිකරුවකු වැඩිදුරටත් පැවසීය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මෙකී දුම්රිය හරස් මාර්ගයේ සීනු හා විදුලි පද්ධතිය ක්‍රියා විරහිතව පැවති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සංඥා හා විදුලි සංදේශ කළමනාකරු චින්තක ජයවර්ධන මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම මෙසේ කීවේය.

“පිංතාලිය දුම්රිය හරස් මාර්ගයේ සීනු හා විදුලි පද්ධතියේ කාර්මික දෝෂ තිබුණා. නමුත් මීට මාස හයකට පමණ පෙර මෙකී සීනු හා විදුලි පද්ධතියේ තිබූ දෝෂ නිවැරැදි කළා. දැන් ගැටලුවක් තියෙන්න විදියක් නෑ. අනතුර වූ දිනයට කලින් දිනත් මෙකී සීනු හා විදුලි පද්ධතියේ තිබූ කාර්මික දෝෂයක් නිවැරැදි කළා. විදුලි පද්ධතිය අක්‍රීය වීම පිළිබඳ අපිට කිසිදු පැමිණිල්ලක් ලැබිලා නැති බවද චින්තක ජයවර්ධන මහතා කීවේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල සහ හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment