වැස්සෙන් සුළඟෙන් මරණ 7ක් – 6ක්ම ගස් කඩා වැටීම නිසා

144

39880ක් පීඩාවට: 121 දෙනෙක් තවමත් ආරක්‍ෂිත ස්ථානවල

311ක් ඥාතීන්ගේ ගෙවල්වල: නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශයි: 1246 කට අර්ධ හානි

කොළඹ පැරණි ගස් 25ක් කඩා වැටිලා

දිස්ත්‍රික් 10ක් තවදුරටත් නාය යෑමේ අවදානමේ

දින කීපයක සිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18කට අයත් පවුල් නවදහස් හයසිය දහසයක (9616) පුද්ගලයන් තිස්නවදහස් අටසිය අසූදෙනකු (39,880) පීඩාවට පත්ව සිටින බවත්, ආපදා විපත් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මින් මරණ 6ක්ම සිදුව ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගස් කඩා වැටීමෙනි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක මරණයක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 4ක්ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා “දිවයින” ට පැවැසීය.

එසේම ඊයේ වනවිට පවුල් 34කට අයත් පුද්ගලයන් 121 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා සිටි බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිය ඥාති නිවෙස්වල පවුල් 83කට අයත් පුද්ගලයන් 311 දෙනකු නැවතී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික්ක 18 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 160ක ජනතාව මෙලෙස පීඩාවට ලක්වී සිටින බවද හෙතෙම කියා සිටියේය.

මෙලෙස පීඩාවට පත්ව සිටිනුයේ රත්නපුර, කොළඹ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර, යාපනය, පුත්තලම, ගම්පහ, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 5කට පූර්ණ හානි සිදුව ඇති බවත්, තවත් නිවාස 1246කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැස්සෙන් සුළඟෙන් මරණ 7ක් - 6ක්ම ගස් කඩා වැටීම නිසා

ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තාවනුයේ නුවරඑළිය වටවල ප්‍රදේශයෙන් බවත්, එම ප්‍රමාණය මිලිමීටර් 131.6ක් බවත් එම මධ්‍යස්ථානය කියයි.

කළු, ගිං, කැලණි අත්තනගලු යන ගංගා ඊයේ පස්වරුව වනවිට පිටාර මට්ටමේ පැවැති බවත්, තවදුරටත් වැසි ඇදහැළුන හොත් ඒ ගැන පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වැසි තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයට අයත් වලල්ලාවිට, බුලත්සිංහල, මදුරාවල, මිල්ලනිය යන ප්‍රදේශවල මාර්ග කීපයක් ඊයේ ජලයෙන් යටවී තිබූ අතර, මේ හේතුවෙන් සමහර මාර්ගවල වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබිණි.

දිස්ත්‍රික්ක 10කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පවතින අධික වැසි හා තද සුළං තත්ත්වය හමුවේ ගතවූ දින 4 තුළ කොළඹ නගරයේ ඉතා පැරණි විශාල ගස් 25ක් පමණ ඉදිරී වැටී ඇතැයි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය “දිවයින” ට පැවැසුවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා සහ හපුතලේ බුවනක

advertistmentadvertistment
advertistmentadvertistment