රැකියාව නිමවා නිවසට යමින් සිටි අයට අම්බලන්ගොඩදී වෙඩි තබා මරලා

401

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ නගරයට ආසන්නව පිහිටි ධර්මාශෝක විද්‍යාලය අසළදී 24 වන දින රාත්‍රී 10.45 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි තිරිමාදුර උජිත් ද සොයිසා නොහොත් චූටි මාමා නමැති 55 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාලේ කුලී රථ රියදුරකු වන අතර වැඩ අවසන් කර සිය නිවසට යමින් සිටියදී මොහුට වෙඩි තබා ඇති බව මේ වන විට හෙළිවී ඇති බවත් පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය එදින රාත්‍රියේම බලපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ලූෂන් වඩුතන්ත්‍රි මහතා විසින් සිද්ධිය වූ ස්ථානයට ගොස් පැවැත්වූ අතර සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා බලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත දිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

මේ වන විට මියගිය අයගේ දේහය බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරුවන් පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

නියාගම විල්සන්ට් විජේසිංහ, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, බලපිටිය අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment