වැග්නර් ආපසු හැරෙයි -කැරැල්ල පැය 24න් අවසන් වෙයි

295

රුසියාවේ ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බව ප්‍රකාශ කරමින් වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනී ප්‍රිගොෂින් බෙලරුස් බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව පැය 24කට අඩු කාලයකදී රුසියානු ආණ්ඩුවට එරෙහිව වැග්නර් කුලී හමුදාව සිදු කළ කැරැල්ල සාමකාමිව අවසන් විය.

වැග්නර් කුලී හමුදා සේනාංකය රුසියාව තුළ කැරැල්ලක් දියත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග රුසියාවේ ආරක්ෂාව තර කරමින් මොස්කව් ඇතුළු නගර කිහිපයක ත්‍රස්ත විරෝධී පියවර අනුගමනය කිරීමට කටයුතු යොදා තිබුණි. කෙසේ නමුත් බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ සමග ඇතිකර ගත් එකඟතාවකට අනුව වැග්නර් හමුදාව රුසියාවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ ජනපති පුටින්ගේ හිතවතෙකි. මේ කැරැල්ල දින කිහිපයක් පැවතුණා නම් එය රුසියාවට පමණක් නොව ජනපති පුටින්ගේ දේශපාලනය උඩු යටිකුරු කරනු ඇත. එසේම යුක්‍රේන මෙහෙයුම්ද බරපතළ අර්බුදයකට ලක්කිරීමට ඉඩ තිබිණි.

සිකුරාදා සවස රොස්තව්-ඔන්-දොන් නගරයේ පිහිටා ඇති දක්ෂිණ හමුදා දිස්ත්‍රික් මූලස්ථානය වැග්නර් කුලී හමුදා සිය ග්‍රහණයට නතු කර ගෙන තිබිණි. නමුත් ඔවුහු සෙනසුරාදා සවස මේ ප්‍රදේශයෙන් ඉවත්ව යමින් සිටියහ. එවිට කැරැල්ල අවසන් බවට නිවේදනය කර තිබිණි.

මීට දින කීපයකට පෙර වැග්නර් සේනාංකය, හමුදා කුමන්ත්‍රණයක් දියත් කරන බවට රුසියානු රජය චෝදනා කර තිබූ අතර වැග්නර් කුලී හමුදාවේ නායකයා පවසා තිබුණේ රුසියානු හමුදා ප්‍රධානියා සමස්ත ජාතියම රවටමින් සිටින බැවින් රුසියානු හමුදා නායකත්වය බිඳහෙළීම පමණක් සිය අරමුණ වන බවය.

සෙනසුරාදා දිනයේ වැග්නර් කුලී හමුදා මොස්කව් වෙත පැමිණීම වැළැක්වීම සඳහා රුසියානු හමුදාව වරොනේෂ් හි ඉන්ධන ගබඩා සංකීර්ණයක් ද පුපුරුවා හැර තිබිණි. එසේම වැග්නර් හමුදාව රුසියානු ගුවන් සන්නිවේදන යානාවක් සහ හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙළා තිබුණු බව විදෙස් මාධ්‍ය කියයි.

මේ අතර සෙනසුරාදා (24දා) ජාතිය අමතමින් ජනපති පුටින් කියා සිටියේ කැරලිකරුවන්ගේ ක්‍රියාකලාපය ජනතාවට ද්‍රෝහී වීමක් බවයි. වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානියා වන යෙව්ගිනී ප්‍රිගෝෂන් රාජද්‍රෝහී වීම, සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීම සහ රටේ ජනතාවට ද්‍රෝහී වීම සම්බන්ධයෙන් රුසියානු නායකයා චෝදනා කර තිබූ අතර මෙය පිටිපස්සෙන් සිට පිහියෙන් ඇනීමක් ලෙස හඳුන්වා දී තිබිණි. නමුත් කැරැල්ල අත්හැරීමෙන් පසු යෙව්ගිනී ප්‍රිගෝෂන් ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඉවත් කර ගන්නා බව රුසියානු රජය ප්‍රකාශ කර තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment