පිළිකා රෝගී ගිණුම්වලින් ලක්‍ෂ 250ක් ඇද්ද තිදෙනා 19දා තෙක් රිමාන්ඩ්

130

පිළිකා රෝගීන්ට රුපියල් ලක්‍ෂ ගණනින් ආධාර ලබාදෙන පොරොන්දු වී ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක හා ඒවායේ ඡායාස්ථ පිටපත්, බැංකු ගිණුම් විස්තර ඇතුළු තොරතුරු ලබාගෙන ඉතා සූක්‍ෂ්ම ලෙස ඔවුන්ට ඒ වනවිටත් ලැබී ඇති මූල්‍ය ආධාරවලින් රුපියල් ලක්‍ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ පුද්ගලයකු සහ තරුණියන් දෙදෙනකු ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (07දා) පස්වරුවේ නියෝග කළේය.

අවිස්සාවේල්ල හා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු යැයි කියන ජන ප්‍රසාද් හෙවත් වැද්දා නමැත්තා සහ ජාඇල නිවන්දම ප්‍රදේශයේ පදිංචිකාරියන් වන සොයතා නිත්මි පෙරේරා හා සෙව්වන්දි මධුෂානි පෙරේරා නමැති එකම පවුලේ සහෝදරියන් වන සැකකාරියන් දෙදෙනා එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. එම ජාවාරමේ මහ මොළකරු යැයි කියන වැද්දා නමැත්තා ඔහුගේ අනියම් බිරිඳකගේ දියණියන් දෙදෙනකු ඇතුළු පිරිසක් සම්බන්ධ කරගෙන එම ජාවාරම් ඉතා සූක්‍ෂම ආකාරයෙන් සිදුකර ඇති බවත් එම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

හලාවත ප්‍රදේශයේ පදිංචි පිළිකා රෝගියකුට එක්තරා කාන්තාවක විසින් දුරකථන ඇමතුමක් ලබාදී රුපියල් ලක්‍ෂ පහක මුදලක් ඔහුගේ බැංකු ගිණුමට බැර කරන බව පවසා බැංකු ගිණුම් ඇතුළු තොරතුරු ලබාගෙන ජාතික හැඳුනුම්පතේ ද පිටපතක් ගෙන්වා ගෙන ඇති බවත් එකී ජාතික හැඳුනුම්පතේ ඡායාස්ථ පිටපත ඉදිරිපත් කොට සිය වැඩිමහල් සොහොයුරාගේ සිම්පත අස්ථානගතවී ඇති බව කියා එම තරුණියන් දෙදෙනා නව සිම්පතක් ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ. පසුව එක්තරා රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබූ එකී පිළිකා රෝගියාගේ ප්‍රතිකාර සඳහා ලැබී තිබූ රුපියල් ලක්‍ෂ 78ක මුදලින් රුපියල් ලක්‍ෂ 38ක් ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ විටෙන්විට වෙනත් බැංකු ගිණුම්වලට හුවමාරු කර ඉවත් කරගෙන ඇති බවත් අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරීහු දුරකථන සිම් කාඩ්පත ලබාගත් ආයතනයේ හා එකී මුදලින් රුපියල් ලක්‍ෂ එකහමාරක් පමණ වැය කර ඇපල් වර්ගයේ දුරකථනයක් මිලදී ගෙන තිබූ ආයතනයෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට පැවසූහ. දැනට එම වංචාවට හසුව 11 දෙනකු ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment