සුරත්කාමියකු වෙම්දො සිතුණි මට !

434

“ඩු ඕ / දෙදෙනෙක්” පිටු අතර සුරත් ආර යළි යළිත් පසක් කළෙමි. සරදම් සර අකුරු අතරින් රූරා හැලෙයි. උත්ප්‍රාසය දනවනවදන් අතරේ ළය කිරි ගස්වන යෙදුම් නැතුවා නොවේ.

බලවත්තු මැරුණාම එයාලාගෙ බලය ළඟම ඥාතියාට සංස්කරණය වෙනවා. වැඩකරන පන්තියෙ උන් මළාම ජීවත් වෙන උන්ටසංසර්ගය කරන්න බලවත්තු ළං වෙනවා. පිටුව : 101

එය වූකලී අපේ දේශපාලනයේ හා පොදු සමාජයේ තිත්ත ඇත්ත නොවේ ද? එක එල්ලේ හෙළි නොකරන එවන් කර්කශ යථාර්ථය කිසිදු පැකිලීමකින් තොරව ගෙන හැර පාන තරමට සුරත් නිර්භයය.

තරබාරු මැරයකු සිය පුතු සමඟ කඩ පෙළක් ඔස්සේ ඇවිද යමින් විදහා පාන මැරකම හා මජරකම පාඨකයා තුළ නොමනාපය සේම කුහුල ජනිත කරයි.

එහි කූට ප්‍රාප්තිය කුසලා මුහුණ දෙන අකරතැබ්බයයි. එවන් සිදුවීමක් කිසිසේත් අපේක්ෂා නොකරන අපිද ඇය මෙන්ම භ්‍රාන්තියටපත් වෙමු. පියවි සිහිය අප වෙතින් ද දුරස්ව යයි.

මැරයකු වෙතින් පිරිසක් මධ්‍යයෙහි යට ඇඳුම උනාලිමෙහි අශිෂ්ට හිංසනයට ලක් වන අක්කා ජීවිතය හැර පියා යන අතර නාඳුනන පිරිස අභිමුව නිරුවත් වෙමින් ජීවිතය ජීවත් කරවන්නට නංගිට සිදු වීමේ උත්ප්‍රාසය අප හද සලිත කරවයි.

පළමු පරිච්ඡේදයෙන්ම සුරත් සිය පාඨකයා දැඩිව ග්‍රහණයට හසු කරගනියි. ඒ කොතෙක්ද යත් ඇතැම් විට අප කිසියම් උගුලකහසු වී හිඳින වග හැඟෙයි. උගුල නැතහොත් හබක නොඑසේනම් මළ පුඩුව සුරත් ද මෙල්ගේ තෙවන කෘතියයි. දෙදෙනෙක්. එහෙමත් නැත්නම් ඩු ඕ. ඒ චමත්කාරජනක හා අප කුපිත කරවන සුළු වූ උගුලෙන් ගැලවෙන්නට මෙන්ම තව තවත් එහි සිරව වේදනා විඳින්නට ද අපට වුවමනා වෙයි.

කෑගල්ලෙන් කේරලයට කැන්දාගෙන යමින් වෙනස් කාල වකවානු දෙකක වෙනස් ළඳුන් දෙදෙනකු අපට සම්මුඛ කරන සුරත් අපේ ඉතිහාසයේ අඳුරු හා බිහිසුණු යුගය අකුරු කරන කල නම් සුපුරුදු සරදම් සර නොමැනවැයි හැඟීමක් මා තුළ පහළ විය. ඒ මාද එකී යුගයේ භීතියට හා වේදනාවට ගොදුරු වූ බැවින් විය හැක. එහෙත් ඒ වූ කලි සුරත් ආරයි. ඉතිං සුරත් කාමින් හට එය ඉවසන්නට සිදු වෙයි.

මේ නව ප්‍රබන්ධයේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය වෙනස් ආරකින් ගෙන හැර දක්වන්නට ලේඛකයා වග බලා ගනියි. උමාගේ කතාවකට වහරින් ගලා යන අතරේ සාරා විදග්ධ බසින් සිය අනුරාගී අන්දරය විචිත්‍රවත් කරයි. ක්‍රෑර සමූහ දූෂණයකින් දිවි ගලවා ගන්නා ඇයට සිය ජීවිතයද කන්‍යා භාවයද රැක ගන්නට තවත් ජීවිතයක් විනාශ කරන්නට සිදු වෙයි. දඩයක්කරුවා ගොදුර බවට පත් වන විරල නිමේශයෙහිදි ස්ත්‍රීයකගේ ශක්තිය කෙතරම් දැයි එක්තරා විස්මයක් සමග බැතියක් හා ගෞරවනීය බවක් අප තුළ ජනිතවෙයි.

මදුරා පුරය ගිනිබත් කළ කන්නගි සිහියට නැගෙන්නේ නිතැතිනි. එබඳුම කෝපාග්නියකින් දැවෙන සාරා සමූහ දූෂණයට ප්‍රයත්න දැරූ සෙසු සලෙලුන් ලුහු බඳින්නිය. ඇයද ඇගේ මිතුරු සමාගමය ද නූතනය. පෙර පරපුර මෙන් පැසව පැසවා නොඉන්නා බව මිනාහා සාරා අතර සිදුවීම කියා පායි. වරදක් වෙතත් සැනින් අමතක කරදමන තරමට ඔවුන් අව්‍යාජ හා ලෙන්ගතු වෙති.

සම්මතය නොඉවසන නිදහස් හා නූතන පරපුරක හැසිරීම ඉවසන්නට අපට සිදු වෙයි. තරමක විස්මයෙන් වුවද එය කදිම බව පිළිගන්නට අපි අන්තිමේදී හිත හදාගනිමු. සාරා සිය පෙම්වතා සමඟ කායික ඇසුරක් පැවැත්වූවද ඇයට ඔහුගෙන් වෙන් වන්නට එය හේතුවක් නොවේ. ආසියාතිත ගැහැනිය දිවි හිමියෙන් රකින කුමරි බඹසර පිළිබඳ තැකීමක් තබා හැඟීමක් හෝ නැත. එකී හේතුව නිසාම රැඳී ඉන්නට හෝ විඳවන්නට ඇය තව දුරටත් සූදානම් නොවන බව දකින අපි කිසියම් තැති ගැන්මකට ලක් වන අතරේම බන්ධනයක් නොවන බැඳීමක ආහ්ලාදයෙන් මන්මත් නොවෙමුද?

පිලිප් හා දීපිකා අතර ගැඹුරු බැඳීම මෙන්ම අන්‍යොන්‍ය ගරුත්වය කුටුම්භයක් තුළ සාමාන්‍යයෙන් දැකිය නොහැකි තරමට සුපසන් බැවින් පිලිප්ගේ ලිංගික නැමියාව හා අනන්‍යතාව අපට මහා ලොකු ප්‍රහේලිකාවක් නොවේ. එහෙයින් එය ගැටලු වක්කරගන්නා සාරා ගේ ආවේගකාරී හැසිරීම අරභයා අපි සිහින් මදහසකින් යුක්තව උපේක්ෂා සහගත වෙමු.

මෙරට නීතිය හා සාමය රකින්නේ යැයි කියනු ලබන ආයතන තුළ තුච්ඡ කල් කිරියාව මාවෝ ගේ ගණිකා නිවාසය නීතියේ රැහැනට හසු වීම මගින් මොනවට පසක් කරයි. එහිදී ගණිකා වෘත්තියේ නිරත වීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නැතත් අයාල ආඥා පනත යොදා ගනිමින් ලිංගික ශ්‍රමිකයන් පීඩාවෙන් පීඩාවට පත් කරන අයුරු ඉවසිය නොහැකි තරම් කෲරය. පොලිස් වද බන්ධනයේ තරම කියා පාන ශර්මිලා ලා කොතෙක් නම් සැබැවින්ම මේ සමාජයේ වීදි ඔස්සේ උමතුවෙන් සැරිසරන්නේ දැයි සිතෙයි.

කුණු වී ඕජස් වැගිරෙන සමාජ දේහය සිය නිර්මාණ කෞශල්‍යය නම් තියුණු සිතින් සියුම්ව විච්ඡේදනය කරන සුරත් ද මෙල් පාඨකයා තුළ ඇති කරන භාව කම්පනය අතිශයින් ප්‍රබලයි. අප පය ගසා හිඳින සමාජයේ ජුගුප්සාජනක හා සාහසික බවින් අපේසිහි විකල් වන්නට ඔන්න මෙන්න කියා තිබියදී සුරත් යාබද ඉන්දියාවට අප කැටිව යමින් සාරලා අතරේම වෙසෙන සුරේෂ්ලා හා බලය පිණිස ඕනෑම කෙහෙල් මලක් අත නොහරින දේශපාලනය අධිකාරිය තරමටම සදාචාරයක් නැති මාධ්‍ය සහ චිත්‍රපට කර්මාන්තයේ නිරුවත ගෙන හැර පායි. ඒ සියලු ඇරැයුම් එක හෙළා ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් නොව පිළිකුල් කිරීමෙන් ද සාරා එල්ල කරන අතුල් පහර අපූරුයි. එමෙන්ම නිර්දයයි.

මේ ලෝකය මිනිස් වාසයට සරිලන දවස තවත් ඈතට යන බව හැඟෙන කල කිසියම් ශූන්‍ය හා බලාපොරොත්තු විරහිත මානසිකත්වයක් පාඨකයා තුළ හට ගනියි.

කුසලා ඉතා ඉක්මනින් අපෙන් සමු ගනිමින් උමා දොරට වඩින්නේ ගැහැණිය වූ කලී දරා ගැනීමට කියන පර්යාය පදයක් බව හඟවමිනි. එහෙත් කේරලයේ සාරා ඊට ඉඳුරා පටහැනිය. ඇය කුසලාට වඩා බිහිසුණු අත්දැකීමකට ලක් වුවද කුසලා මෙන් ජීවිතයෙන් පලා යනවා වෙනුවට දඩයක්කරුවන් දඩයම් කරන දඩයම් බැල්ලක මෙන් හඹා යන්නීය.

නිදහස හා ජීවන සන්තුෂ්ටිය සොයා පියාසර කරන කිරිල්ලිය රැක ගන්නට වෙහෙසෙන දීපිකා හා පිලිප් දාරක ස්නේහයේ තෙතමනයෙන් අප හදවත් තෙමා දමති.

අඛිලා හා මීනා වැනි සාරාගේ යෙහෙළියන් සේම දෙමාපියන් හා පෙම්වතා පවා සැඟවුණු අභිරහස් එක්ක අප අතරමං කර දමන තරමට සංකීර්ණය. අප පිටතින් දකින පුද්ගලයාට සපුරා වෙනස් එකෙකු අභ්‍යන්තරයේ හිඳින වග පමා වී වටහා ගන්නා අපි කෝපයට පත් වෙනවා වෙනුවට මනුෂ්‍යත්වයේ ස්වභාවය එයම නොවේ දැයි හගින තරමට උපේක්ෂා සහගත වෙමු.

චරිතවල ගති ලක්ෂණ සේම කියවන්නා ද නිමේශයෙන් නිමේශයට විපර්යාසයට ලක්වන සුරත්මය ප්‍රබන්ධය යථාර්ථයක් විනාප්‍රබන්ධයක් නොවන වගද පසක් කරයි.

මාවෝ, ගාමිණි වැනි චරිත අකුරින් නොව ලෙයින් මසින් නිර්මාණය කළ බව හැඟෙයි. ඒ සා ශූර අන්දමින් සුරත් සිය ප්‍රබන්ධයට ජීවය කවයි. ඒ හින්දාම සුරත් ද මෙල් සිව්වන නවකතාවද රචනා කළ යුතු බවට ඉල්ලා සිටින්නට නොව තර්ජනය කරන්නට තරම්ම ආවේගශීලී වෙමි.

සුධීර ගේ තරුණ ජීවිතය ආණ්ඩුවේ උන්ඩයකින් හමාර වන කළ අපේ ආණ්ඩු කලින් කලට අපේ දරුවන් ඝාතනය කරනවාට අමතරව සිදු කළේ කුමක්දැයි හඬනඟා අසන්නට සිතෙයි. ලොව ඉපැරණි රැකියාව පිළිබඳව වෙනස්ම මානයක් මෙහි ඇතැයි ද හැඟෙයි. ළඳුන් අලෙවි කරන මාවෝ පවා අපේ ද්වේශයට ලක් නොවෙයි. ඔහු උමා වෙත නොපාන නිහඬ ප්‍රේමය අප හදවත් තුළ සියුම් ශෝකයක් අවුළුවාලයි. ඇයට ඒ හැටි ඒ පෙම නොදැනුනද එහි ගැඹුර පාඨකයාට වැටහෙයි.

සරාගය සොයා එන විවිධ පුද්ගලයන් පිළිබඳව පවා හට ගන්නේ දයානුකම්පාවකි. හඹා යන්නේ කුමක්ද යන වගවත් නොදන්නා උදවිය අතරේ දිය ඇල්ලක් සේ ගලා හැලෙන අන්දරය අප තත්‍ය ලෝකයෙන් වෙන් කරයි. යළි එතුළට ඇද දමයි. විටින් විට ඒ පලායෑම හා ආපසු එම පාඨකයා විඩාපත් නොකරයි. එක්තරා දුරකට එය කිසියම් සංත්‍රාසය සපිරි අත්දැකීමකි.

ඝාතන කප්පරක් අතරේ එකම ස්වාභාවික මරණය වන උමාගේ මවගේ මරණය අප තුළ තදබල කම්පාවක් ජනිත නොකරයි. අරය මිය ගොස් කාලාන්තරයක් ගත වූ සේය. අප ඇගේ කායික මරණය අපේක්ෂාවෙන් පසු වූ බව සනාථ වන කල පාඨකයා ද ඒ සමාජයේම ගොරතර බව උරුම කරගෙන නැද්දැයි සැක සංකා පහළ වෙයි.

චරිතයෙන් චරිතය ගෙන හැර පාමින් දෙදෙනෙක් විස්තර කරන්නට නොවෙහෙසෙමි. එවැන්නක් එක් අයකු දෙදෙනකුට කරන අසාධාරණයක් නොවේද? චරිත කප්පරක් එක්ක පෙළහර පාන සුරත් සිය කෘතිය හමාර කරන්නේ එක්තරා අන්දමක අභව්‍ය සිදුවීමකින්දෝයි සංකා ජනිත කරමිනි. එහෙත් ප්‍රබන්ධයක් තුළ සිදු විය නොහැකි දෙයක් වේද? අනික් අතට වඩාත් අභව්‍ය වන්නේ ජීවිතය විනා ප්‍රබන්ධය නොවන වග පසක් වන තරමට සුරත් සිය අභිනව නිර්මාණයෙන් අප අවුළුවා කළඹා අවසන්ය.

පාඨකයා හට සූරත්මය ප්‍රබන්ධයක අතරමං වන්නට ඉඩ හරිමින් සාරාගෙන් සමුගනිමි.

සුරත්කාමියකු වෙම්දො සිතුණි මට !

ශාන්ති දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment