උතුම් සද්ධර්මය තුළින් බුදුන් දකිමු

131
බෞද්ධයන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වෙසක් උත්සවයයි. මේ වෙසක් පොහෝ දිනයේ බෞද්ධයන් විසින් බුදුන්වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවන් පෑම යන ප්‍රධාන කරුණු තුනම සමරනු ලබයි. ලෝ පුරා බෞද්ධ ජනයා මෙම තෙමඟුල සමරනු ලබන්නේ වෙසක් මස පසළොස්වක දිනයේය. වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල වෙසක් උත්සව දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත්කර ඇත. ඒ බුදුහිමියන්ගේ තෙමගුළ සිහිකරමින් කෙරෙන ආගමික කටයුතු වෙනුවෙනි. ඇතැම් බෞද්ධ නොවන රටවල වෙසෙන බෞද්ධ ජනයාද තමන්ට හැකි අයුරින් එම රටවල පිහිටි බෞද්ධ විහාරස්ථාන හා සම්බන්ධ වෙමින් සම්බුදු තෙමඟුල සමරනු ලබයි.

බෞද්ධ ජනයා මෙම වෙසක් මාසයේ උත්සව පැවැත්වීම සියවස් ගණනාවක සිට කරගෙන එන පැරණි සම්ප්‍රදායයකි. වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්‍රදායන්ට අයත් බෞද්ධ ජනතාව, ගෞතම බුදුහිමියන්ගේ උපත, බුදුවීම හා පිරිනිවීම යන සිද්ධීන් විවිධ අයුරින් අනුස්මරණය කරති. අතීතයේ සිටම බුද්ධාගම ඉන්දියාවෙන් පිටස්තර ලෝකයට ව්‍යප්තව ඇත. ඒ අනුව විවිධ රටවල සංස්කෘතීන් සමග බද්ධවෙමින් වෙසක් උත්සවය විවිධ අයුරින් සමරන අයුරු දක්නට ලැබේ. මේ ලියුම්කරු වරක් මීට වසර කිහිපයකට පෙර වෙසක් මාසයේ ඕස්ට්‍රේලියාවේ ගත කළ විටෙක එම රටේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනයා වෙසක් උත්සය සමරන අයුරු දැක ඇත. එරට වෙසක් දිනය නිවාඩු දිනයක් නොවෙන නිසා එම රටේ වෙසෙන බෞද්ධ ජනයා වෙසක් පොහෝ දිනය යෙදෙන සතියේ, සති අන්ත දිනවල එරට තිබෙන විහාරස්ථානවලට ගොස් ආගමික කටයුතුවලට සම්බන්ධ වෙමින් වෙසක් උත්සවය සැමරීම කරනු ලබයි. ඒ අනුව ඕස්ට්‍රලෙියාවේ මෙල්බන් නගරයේ, බෙරික්හි පිහිටි ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ දිගාමඩුල්ලේ විමලානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති වෙසක් ආගමික කටයුතුවලට සම්බන්ධ වීමට මේ ලියුම්කරුට ද අවස්ථාව ලැබී ඇත.

අප රටේ වෙසක් මස පසළොස්වක දිනය අප සමරනු ලබන්නේ ආගමික මෙන්ම සංස්කෘතික උත්සවයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය වෙනුවෙන් දින දෙකක් නිවාඩු දින බවට පත් කර ඇත. එහෙත් අප රටේ සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් වෙසක් සැමරීම් තිබේ. මෙම වෙසක් සතියේ සැමරුමට ආගමික කටයුතු බොහොමයක් ඇතුළත් වන බව අප සැවොම දන්නා කරුණකි. විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වූ තොරණ මෙන්ම දර්ශනීය වෙසක් කූඩු ද කොළඹ හා අවට මෙන්ම වෙනත් නගරවල ද දැකගත හැකිය. එසේම නිවෙස් ඉදිරිපිට හා පාරවල දෙපස ද වෙසක් පහන් කූඩු එල්ලා තිබෙනු දැකගත හැකිය. විවිධ දානපතියන්ගේ අනුග්‍රහය ඇතිව නොමිලේ ආහාර පාන සපයන දන්සල් ද රට පුරා විවිධ ප්‍රමාණවලින් දැකගත හැකිය. මේ අතරම ඇතැම් පෞද්ගලික සමාගම් විසින් ද තම ධනයෙන් ආයතනයේ සේවක සේවිකාවන් ද එක්කරගෙන වෙනම දන්සල් සංවිධානය කර ඇත. මේ වෙසක් සතියේ විශේෂයෙන් කොළඹට රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ විශාල ජනකායක් ඇදී එන්නේ වෙසක් තොරණ, පහන් කූඩු, වෙනත් වෙසක් සැරසිලි, දන්සල් මෙන්ම සංවිධානාත්මක වෙසක් කලාප ද බහුලව තිබෙන නිසාය. මෙවැනි ප්‍රධාන වෙසක් කලාපයක් වන්නේ බෞද්ධාලෝක වෙසක් කලාපයයි.

බෞද්ධ ජනයා අතර ප්‍රසිද්ධ මෙම ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ සංවිධානය කරනු ලබන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසිනි. 2001 වසරේ ආරම්භ වූ මේ බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙනුයේ 23වැනි වරටය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ‘සුරකිමු අපි අපේකම’ යන තේමාව යටතේ මෙවර ද බෞද්ධාලෝක වෙසක් කලාපය සංවිධානය කර ඇති අතර එය ඊයේ (මැයි 23) ආරම්හ විය. ඊයේ සිට මැයි 26 දක්වා තුම්මුල්ල මංසන්ධියේ සිට බොරැල්ල කනත්ත වටරවුම දක්වා බෞද්ධාලෝක වෙසක් උළෙල උත්කර්ෂවත් ලෙස සංවිධානය කර ඇත. මේ අනුව වෙසක් සිරි බලන්න කොළඹ එන ඔබටත් බෞද්ධාලෝක වෙසක් කලාපය දැක බලා එහි අසිරිය විඳ ගැනීමටත් එහි ඇති ප්‍රධාන බත් දන්සල ඇතුළු වීදි දන්සල්වලින් ආහාර පාන ලබා ගැනීමටත් හැකිවනු ඇත.

මෙවර බෞද්ධාලෝක වෙසක් කලාපය හා එහි තේමාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඉකුත් මැයි 19වැනිදා උදේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති රොෂාන් මද්දුමගේ මහතා ඇතුළු එම සම්මේලනයේ නිලධාරීන් රැසක් සහ මේ සඳහා දායක වූ කාගිල්ස් ලංකා සමාගම වෙනුවෙන් එහි සමුහ කළමනාකරු කීර්ති ගුණසේකර සහ එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු චන්දන කැලේගම යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී සිටියහ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

“බුදුරජාණන් වහන්සේ අපිට දායාද කළ උතුම් බොදු මඟ බෞද්ධ මහා සමේලනය විසින් අප රටේ ජනතාවට පමණක් නොව ලොවටම දායාද කරනවා මෙවර වෙසක් පුණ්‍ය උත්සවය තවත් ශක්තිමත් කිරීමට මෙලෙස සංවිධානය කරන වැඩසටහන් දායක වෙනවා. මේ රටේ ජ්‍යෙෂ්ඨතම හා ශක්තිමත්ම බෞද්ධ නායකයන් විසින් පෝෂණය කළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පරමාර්ථ, වැඩසටහන් සාර්ථක කිරීමට හා අප සමාජය තුළ එය තැන්පත් කිරීමට සියලු දෙනා එකමුතු කර ගනිමින් ලබාදෙන නායකත්වය සුවිශේෂයි.”

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා මෙසේ කීවේය.

“මෙවර අග්‍රාමාත්‍යතුමා මැදිහත්වීමෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු දිවයින පුරා වෙසක් උත්සවය සැමරීමේ කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය කොට විධිමත් ලෙස සහ අලංකෘතව සිදුකිරීමට කටයුතු කිරීම ගැන අප සතුටට පත්වෙනවා. අග්‍රාමාත්‍යතුමා මැදිහත්වීම නිසා අපට ද වෙනදාට වඩා සුවිශේෂී ලෙස වෙසක් සිරිය ජනතාවට දායාද කිරීමට අවස්ථාව උදා වුණා. අපගේ වෙසක් උත්සවය රටේ නායකත්වයක් ඉදිරියේ පළමු වරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම බෞද්ධ මහා සම්මේලන ඉතිහාසයේ ලද භාග්‍යයක් ලෙස සලකනවා.”

උතුම් සද්ධර්මය තුළින් බුදුන් දකිමු

මෙම වෙසක් කලාපය තුළ ප්‍රතිපත්ති සහ ආමිස පුජාවන්ට මුල්තැන දෙමින් සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ඩිජිටල් තොරණ, දිවා රාත්‍රී බත් දන්සල, වීදි දන්සල්, අටපට්ටම් හා වෙසක් කූඩු ප්‍රදර්ශනය, පාසල් සිසුන්ගේ බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශනය, භක්ති ගීත සහ ශීල භාවනා වැඩසටහන ඇතුළු අංග රැසක් සංවිධානය කර ඇත. මේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය, කොළඹ නගර සභාව ඇතුළුව රාජ්‍ය ආයතන රැසක් මෙන්ම කාගිල්ස් සමාගම ඇතුළු පෞද්ගලික ආයතන රැසක් දායක වී ඇත. එසේම බෞද්ධ සම්මේලනයේ ළමා නිවාසයක හැදීවැඩී, වර්තමානයේ ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරන කුමාරි ටෙෆ්නින් මහත්මියගේ අනුග්‍රහය ද මේ සඳහා ලැබී තිබේ. මෙසේ සංවිධානය වී ඇති මෙවර බෞද්ධාලෝක වෙසක් කලාපයට මෙන්ම අනෙකුත් වෙසක් කලාප ඇතුළු වෙසක් සැමරුම් හා අලංකාරයන් දැකබලා ගැනීමට ද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ඇදී එමින් තිබේ.

එහෙත් අප දන්නා පරිදි ආමිස පූජාවන්ට වඩා වැදගත්වන්නේ ප්‍රතිපත්ති පූජාවන්ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවසන් මොහොතේ පවා දේශනාකර සිටියේ මිනිස් ජීවිතය දුර්ලභ බවත් ඒ නිසා නොපමාව කුසල් දහම් රැස්කර ගන්නා ලෙසත් ය. එහෙත් මේ වනවිට අපේ ඇතැම් බෞද්ධයන් නොයෙකුත් බලවත් මිත්‍යාවන් පසුපස ඇදී යන බව පෙනේ. ඇතැම් සිවුරු පොරවාගත් භික්ෂු ප්‍රතිරූපකයන් ද සමාජය තුළ බොහෝ සිටී. මේ අතුරින් නිවැරදි දහම දේශනා කරන්නේ කවු ද යන්නත් බෞද්ධ ජනයාට ප්‍රශ්නයක් වී තිබෙනවා විය හැකිය.

අවශ්‍ය කරන්නේ කලින් කලට මතුවෙන භික්ෂු ප්‍රතිරූපකයන් පසුපස යාම හෝ බුදුදහම ඔවුන්ට අනුව අර්ථකථනය කරමින් ඔවුන් කියන දෘෂ්ටි වාද පසුපස යාම නොවේ. එසේම එවැනි භික්ෂු වෙස් ගත්තවුන්ට එරෙහිව මහ නාහිමිවරුන් ගෙන් හෝ වෙනත් නීතිමය අංශවලින් අප්‍රමාදව නිසි පියවර නොගැනීම නිසා ඔවුන්ට එම අධර්මවාදී කටයුතු දිගුකාලීනව කරගෙන යාමට ද හැකිව ඇත. මේ නිසා මෙවැනි භික්ෂු ප්‍රතිරූපකයන්ට ඉතා පහසුවෙන් බුදුදහම විකෘති කිරීමට මෙන්ම එම විකෘති කරුණුවලින් බෞද්ධ ජනතාව නොමග යැවීමටත් හැකිව ඇත.

බුදුරජාණන්වහන්සේ මෙරට ඉපදුනාය කියන මිත්‍යාව ඇතුළු ඒ කියන දේවල් ඇතැම් සුළු පිරිසක් වීසින් දෘෂ්ටියක් ලෙස ඉතා තදින් අල්ලාගෙන සිටින බව පෙනේ. එබැවින් එවැනි අයට නිවැරදිව ධර්මය දැකීමට හෝ බුදුන් දැකීමට අපහසුය. ඇත්ත වශයෙන් නිවැරදිව බුදුන් දැකිය හැක්කේ ධර්මය තුළිනි. ඒ අනුව අවශ්‍ය කරන්නේ බුදුරජාණන්වහන්සේ කවුද යන්න ධර්මය තුළින් නිවැරදිව හඳුනාගෙන එම ධර්මානු ධර්ම මාර්ගයේ ගමන් කරමින් කුසල් දහම් රැස්කර ගැනීමයි. සසර ගමන කෙටි කර ගැනීමයි. ඒ වෙනුවට ඇතැම් පිරිස් බුදුන් සරණ වෙනුවට මීවනපලානේ සරණ ගොස් බුදුරජාණන්වහන්සේ ඉපදුන තැනක් ආල්ලාගෙන එය ඔප්පු කර ගැනීමට සාක්ෂි සාධක සොයමින් ලොකුවට තර්ක විතර්ක කරමින් සිටී. බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියන මිත්‍යාව වපුරන පිරිස්වල මතවාද මේ වනවිට උගත් ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේ විසින් අසත්‍ය බව පෙන්වා දී ඇත. එසේම ඉතිහාසය හා පුරාවිද්‍යාව දන්නා උගත් ගිහි පැවිදි පිරිස් විසින් ද මේ ප්‍රචාරය කරුණු සහිතව ප්‍රතික්ෂේප කර ඇත. ඇත්තටම බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී තිබේද යනුවෙන් වරක් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ඇතැම් විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් වඩා විශාල සෙල්ලිපි සංඛ්‍යාවක් මම කියවලා ඇති. එහෙත් මේ වනතුරු කිසිම සාධකයක් හමුවෙලා නැහැ බුදුවරයෙක් මේ රටේ පහළ වූ බවට.”

එසේම ඉතිහාසයේ කවර හෝ අවදියකදී මේ ශ්‍රී ලංකාවට“ජම්බුද්වීපය” යැයි හැඳින්වූ බවට සාක්ෂි හමුවෙලා තිබෙනවා ද යන්නට උන්වහන්සේ මෙසේ පිළිතුරු දී ඇත.

“රත්නදීප, සිංහලදීප, ලංකාදීප, ලංකා, සිලෝන්, සෙරන්ඩිබ්, තැප්‍රොබේන් යනාදී වූ නම්වලින් ශ්‍රී ලංකාව හඳුන්වා තිබෙනවා. එහෙත් ජම්බුද්වීපය නමින් හැඳින්වූ බවට කිසිම සාක්ෂියක් හමුවන්නේ නැහැ. ජම්බුද්වීපය නමින් හඳුන්වා දී තිබෙන්නේ ඉන්දියාවටයි. ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට ප්‍රකාශ කළේ “තවේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා” කියලයි. “ජම්බුදීපා ඉධාගතා” කියන්නේ ලංකාවේ ඉඳලා ආවා කියන එක නෙමෙයිනේ. දඹදිව (ඉන්දියාවේ) ඉඳලා ආවා කියන එකයි.”

මේ කිසිවක් කනකට නොගෙන එම විකෘති දෘෂ්ටියේම ඇලීගැලී සිටින පිරිසක් ද සිටී. ධර්මය දකින්නා බුදුන් දකියි. ඒ නිසා ධර්මය දැකීමෙන් තොරව බුදුන් දැකීමට හෝ එම මාර්ගයේ ගමන් කිරීමට නොහැකි බව අවබෝධ කර ගැනීම වටී. එසේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී රත්නායක මහතා විසින් 2024.04.25 දිනැතිව පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් මීවනපලානේ සිරිධම්මාලංකාර නමැත්තා භික්ෂු ප්‍රතිරූපකයෙක් ලෙස හදුන්වා දී ඇත. ඒ අනුව “මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා විසින් සිදුකරන ශාසන විනාශය හා නීති විරෝධී ක්‍රියා පිළිබඳවයි”හිසින් යුතුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියන ලද එම ලිපිය මගින් පොලිස්පතිවරයාට අදාළ තොරතුරු ඉදිරිපත් කරමින් ඔහු ඒ ගැන අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඉල්ලා ඇත. එම ලිපියේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති පරිදි මීවනපලානේ සිරිධම්මාලංකාර නමැත්තාගේ නම සාමණේර උපසම්පදා භික්ෂුන් පිළිබද ප්‍රකාශයේ සඳහන්ව නැත. විහාර දේවාලගම් ආඥා පනතේ 42 වන වගන්තියේ විධිවිධානවලට අනුව සාමණේර උපසම්පදා භික්ෂුන් පිළිබද ප්‍රකාශයේ නම නැති කෙනෙක් භික්ෂුවක් ලෙස පෙනී සිටීම නීති විරෝධී ක්‍රියාවක් යනුවෙන් සඳහන් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් ද එම ලිපිය මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. එහෙත් මේ භික්ෂු ප්‍රතිරූපකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා ප්‍රමාද වන්නේ කවර හේතුවක් නිසා ද යන්න අපට පැහැදිලි නැත.

මේ නිසා වඩාත් වැදගත් වන්නේ බුදුන් උපන් තැන නොව බුදුන් දෙසු ධර්මයයි. බුදුරදුන් දේශනා කළ ධර්මය ඇසීමෙන් එම ධර්මය අනුව පිළිපැදීමෙන් ඔබට බුදුන් දැකිය හැකිය. එසේම නිවැරදි විමුක්ති මාර්ගයේ ගමන් කළ හැකිය. ධම්ම පදයේ සඳහන් වන පරිදි සද්ධර්මය නොදන්නා බාලයාට සංසාරය දිගය.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment