බුදුන්ටත් මුහුණදීමට සිදු වූ අටලෝ දහම

147

අ:නි ඇතුළත් අටලෝ දහම බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ලොව සෑම දෙනෙකුටම පොදුවේ බලපාන ධර්මතාවයකි. එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුහුණ දීමට සිදුවන පොදු වූ ධර්මතාවයකි. බුද්ධ චරිතය තුළද ඒ බව මනාව පැහැදිලිය. ඕනෑම චරිතයක් තුළ වුවද අටලෝ දහම අඩු වැඩි වශයෙන් බලපාන පොදු ලක්ෂණයකි. දහම යනු ධර්මයයි. එය ස්වභාව ධර්මයයි. බුදුහිමි දේශනා කළේ නැති දෙයක් නොව ඇති දෙයකි. එනම් ස්වභාව ධර්මයට සාපේක්ෂව බලපාන ධර්මයයි. ලෝ යනු ලෝකයයි. අට යනු අංග අටකින් යුක්ත ධර්මතායි. ඒ බව අංගුත්තර නිකාය තුළ මේ ආකාරයෙන් විස්තරාත්මකව දේශනා කොට ඇත.

ලාභෝ අලාභෝ අයසෝ යසසෝච
නින්දාපසංස්සා ච සුඛංච දුක්ඛං
එතේ අනිච්චා මනුජේසු ධම්මා
අසංසතා විපරිනාම ධම්මා
එතෙච ඤත්වා සතිමා සුමේධෝ
අවෙක්ඛති විපරිනාමං ධම්මේ
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමේති

මිනිසුන් කෙරෙහි පවත්නා වූ ලාභය – අලාභය අයසය – යසය, නින්දාය – ප්‍රශංසාය – සැපය – දුකය යන මේ දහම් අට ස්ථීරව නොපවත්නා හෙයින් අනිත්‍යය දහම්ය. හැමදා එක ලෙස නොපැවතී වෙනස් වන හෙයින් අශාස්වත ධර්මයෝ ය. සදාකාලික නොවන දහම්ය. රියසක සේ පෙරැළි පෙරැළි එන හෙයින් විටින් විට වෙනස් වන ස්වභාවය ඇති මේ අටලෝ දහම තේරුම් ගනී නම් ඔහුගේ සිතෙහි තමන් කැමති වන්නා වූ දේ පැමිණීමෙන් උදම් බවෙක්, සොම්නසෙක් හෝ අරුචි දේ පැමිණීමෙන් පසු බැස්මෙන් දොම්නසෙක් හෝ පහළ නොවන්නේ ය.

ඉහත ගාථා ධර්මය තුළින් අටලෝ දහම පිළිබඳ පුළුල් විවරනයක් කර ඇත. ඇත්තෙන්ම මෙම අටලෝ දහම පිළිබඳ අවබෝධයක් හා එහි පොසිටිව් නෙගටිට් දෙපැත්තම පිළිබඳ දරා ගැනීමේ ශක්තියක් ඇත්නම් එවැනි ජීවිත යථාර්ථවාදී ඒවාය. එම ජීවිතවලට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට පුළුවන. එම ජීවිතවලට ඕනෑම දිනුමත්, පැරදුමත් එක සිතින් විඳදරා ගැනීමටද පුළුවන. බුදු හිමිට ලැබුණ ලාභ සත්කාර තරම් කිසිවෙකුට ලාභ සත්කාර ලැබී නැත. උන්වහන්සේ කිසි දිනක එයින් උදම් වූවේ නැත. එසේම අපහාස අපකීර්ති මැද සැලුනේ ද නැත. බුද්ධත්වය ලොව උසස්ම හා උතුම්ම පදවියයි. නමුදු උන්වහන්සේ තමන් ලොව හොඳම ශාස්තෘවරයා කියමින් අන් ශාස්තෘවරු හෙළා දුටුවේ නැත. යථාර්ථවාදීව ධර්මය තුළින් අන් පිරිස්ගේ මිථ්‍යා මත ඛණ්ඩණය කළද පුද්ගලයන්ට නිගරු දෙන ක්‍රියා කළේ නැත. අංගුලිමාල කළ අකුසල් ක්‍රියා ප්‍රතික්ෂේප කළා මිස අංගුලිමාල ඉවත් කළේ නැත. මිනිස් ජීවිතයක ඇති වටිනාකමත් මිනිසාට යායුතු ඉහළම තැනට යෑමට හැකියාවක් ඇති බවත් උන්වහන්සේ මනාව අවබෝධ කර දුන්හ.

එවැනි උත්තමයෝ කිසිදා ලාභසත්කාරවලදී උදම් වීමක් හෝ අලාභ අපකීර්ති ඉදිරියෙහි නොසැලීමක් සිදු නොකරනු ඇත. ඒ බව ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ 6 වැනි ගාථා ධර්මය තුළින්ද දේශනා කොට ඇත.

සෙලො යථා ඒකඝනො
වාතෙන න සමීරති
එවං නින්දා පසංසාසු න
සමිඤ්ජන්ති පණ්ඩිතා

ගල් පව්ව යම් සේ සුළඟින් නොසැලේ ද එසේම නුවණැත්තෝ ද නින්දා ප්‍රශංසාවන්හිදී නොසැලෙති. මහා ගල් පර්වතයක් සුළඟින් සෙලවීමට පුළුවන්කමක් නැත. එයට හේතුව එහි අන්තර්ගතය පරිපූර්ණ වී තිබීමය. යම් විටෙක අන්තරය හිස්ව තිබුණොත් සෙලවීමට ඉඩකඩ තිබේ. ඒ ආකාරයෙන් බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ අභ්‍යන්තරය පිරිපුන්ය. සියලු කෙලෙස් ධර්ම වනසා ඇත. නින්දා, අපහාස කොතරම් පැමිණියද එහිදී කම්පාවීමක් නැත.

නමුදු අභ්‍යන්තරය හිස් මිනිසුන් නිතර සැලේ. නිතර බියට පත් වේ. අඩු වතුර ඇති කළය නිතර සෙලවෙන්නාක් මෙන් ඔවුන්ද නිතර දූ දරු, වතුපිටි, ඉඩකඩම්, යාන වාහන, ගේ දොර ආදී භෞතික සම්පත් ගැන සිතා කම්පාවට පත්වේ. කෙටියෙන් කියතොත් පංච ඉන්ද්‍රියන් කෙරෙහි ලබාගන්නා අරමුණු වෙනුවෙන් වෙහෙසෙන බැවින් නිතර කාම සම්පත් ගැන සිතා තැවෙයි. දුක් වෙයි.

‘දුටුගැමුණු රජු චූලංගනී යුද්ධයෙන් පැරදී වනගතව සිටිද්දී ළඟ සිටි මෙහෙකරුට කෑමට මොකුත් නැද්ද යැයි ඇසීම’

‘සීතාවක රාජසිංහ රජු උණ කටුවක් ඇනී අනාථව අන්තිම හුස්ම ඔරු කබලක් මත හෙළීම’

‘කොසොල් රජු අවු: 80දී අම්බලමක මරණයට පත්වීම’

‘මිෂරයේ ෂාරුක් රජුට රාජ්‍ය අත්හැර නාරිමන් බිසවත් සමඟ පැය 6ක් ඇතුළත රහසේම පලා යෑමට සිදුවීම.’

‘අශෝක රජු පසු කල නෙල්ලි පලුවකට පමණක් හිමිකම් කීම’

ආදී ශ්‍රේෂ්ඨ චරිත තුළින් වුවද අලාභය නමැති ධර්මතාවය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට පුළුවන. බුදු සසුනේ සුවිශේෂිතම චරිතයක් වූ සීවලි මහරහතන් වහන්සේ සිව්පස ලාභීන් අතර අග්‍රවීම ලාභ නමැති ධර්මතාවයට මුහුණ දීම පිළිබඳ හොඳම උදාහරණයයි. බුදුහිමි දිනක් පඤ්චසාලා නම් ගමට පිණ්ඩපාතය සඳහා වැඩම කළ කල්හි එහිදී පිණ්ඩපාතය නොලැබී ආපසු වැඩම කළ පුවත තුළින් බුදුහිමිට වුවද එම ධර්මතාවය සාධාරණ බවට නිදසුනකි.

සුන්දරී පරිබ්‍රාජිකාවගේ කථා පුවත, මාගන්දිය බුදුන්ට කළ චෝදනා, මාගන්දිය බමුණා හා බිරිඳ බුදුහිමිට ගොඩනඟන්නට තැත් කළ අපිකීර්තිය, දේවදත්ත හිමි කළ නොමනා ක්‍රියා ආදිය තුළින් අටලෝ දහම සැමටම බලපාන සාධාරණ ධර්මතාවයක් බව අවබෝධ කරගැනීමට අපහසු නොවේ. ඒ අනුව සලකා බැලීමේදී අප කාගේ ජීවිත තුළ වුවද එම ධර්මතා අට අඩු වැඩි වශයෙන් බලපානු ඇත. ඒ පිළිබඳ ප්‍රඥාවෙන් බැලූ කල්හි අවබෝධ වනවාට කිසිදු සැකයක් නැත.

දසරාජ ධර්ම තුළ 9 වෙනි ධර්මය වන්නේ ඉවසීමයි. එය අටලෝ දහමට සම්බන්ධව සිදුවේ. ඒ බව ලෝමහංස ජාතක කථාව තුළින් බුදු හිමි එම ආත්මය තුළ ලැබූ කටුක ජීවිතය අකම්පිතව විඳි ආකාරය පැහැදිලි වේ.

ඉහත කරුණු කාරණා අවබෝධයට ගෙන අප සෑම කෙනෙක්ම ලාභ සත්කාර මත උදම් නොවීමටත් අලාභ පාඩු මත කම්පා නොවීමටත් වගබලා ගත යුතුය. එය වටිනා ජීවිතයක ඇති වැදගත් කමයි. එය නිවැරදි ජීවිතයක නිවැරදි ඉලක්කයට යන මාවතයි. සියලුම අභියෝග ජය ගැනීමට අටලෝ දහමින් කම්පා නොවීම ඉතා වැදගත් වේ. “කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ -යා යුතු තැනට යනවාමයි ගලන ගඟ.”

ඒ ආකාරයෙන් අප සෑම දෙනෙක්ම ලෞකික ජීවිතයේ ඉහළම තැනට යෑමටත් එතනින් නොනැවතී ආධ්‍යාත්මික සුව උදෙසා නිවන් ලැබීමටත්, අටලෝ දහමින් උදම් වීමක් හෝ කම්පා නොවීමක් සිදුනොකොට ජීවිතය ජය ගැනීමට උත්සාවත් වෙමු.

කොබෙයිගනේ ජුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි

advertistmentadvertistment
advertistmentadvertistment