මිහින්තලේ රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ නම සහ ඡායාරූපයක් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කළ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් එකතු කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (12දා) විමර්ශනයක් ආරම්භ කළ බව මිහින්තලේ පොලිසිය පවසයි.
මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරවාසී සුරුක්කුලමේ ඉන්ද්‍රරතන හිමියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව පොලිසිය කියයි.
‘ආචාර්ය ධම්මරතන හිමි’ ලෙස නම සඳහන් කරමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ඡායාරූපයක් යොදා මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම නිර්මාණය කර ඇති බව පොලිසිය කියයි. මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ආධාර මුදල් පෞද්ගලික බැංකුවක ගිණුමට බැර කරන ලෙසට එහි ප්‍රචාරය කර තිබෙන බවද පොලිසිය සඳහන් කළේය.
මිහින්තලය රජමහා විහාරස්ථානය මගින් මේ ආකාරයට මුදල් එකතු නොකරන බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලේ පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ