පාස්කු නඩුවෙන් නියම වූ වන්දිය නිසි ලෙස ගෙවා ඇත්තේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා හා රජය පමණයි

2033

හානි පූර්ණ කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජනවාරි 12 වැනිදා ලබාදුන් තීන්දුව අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා ස්ථාපිත කළ හානිපූර්ණ සඳහා වූ කාර්යාලයට නිසියාකාරව වන්දි මුදල් ගෙවා ඇත්තේ හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා හා රජය පමණක් බව එම කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ලේඛන අනුව වාර්තා වේ.

පෙර කී තීන්දුව මගින් රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙසට සිසිර මෙන්ඩිස් මහතාට නියෝග කොට තිබූ අතර ඔහු 2023.07.06 වැනිදා හා 2023.07.11 වැනිදා රුපියල් මිලියන පහ බැගින් ගෙවා එකී මුදල සම්පූර්ණ කර ඇත. එමෙන්ම රජය ද 2023.06.09 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් මිලියන එකක මුදල සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් කර ඇත.

කෙසේ නමුත් එකී තීන්දුව අනුව තමන්ට නියම කළ රුපියල් ලක්‍ෂ 1000 ක මුදලින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2023.06.28 වැනිදා රුපියල් ලක්‍ෂ 150 කුත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහුට නියම කළ වන්දි මුදල වන රුපියල් ලක්‍ෂ 750 ක වන්දි මුදලින් රුපියල් ලක්‍ෂ 170 කට ආසන්න මුදලක් 2023.06.20 වැනිදාත් ගෙවා ඇත. ඊට අමතරව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා තමන්ට නියම වූ රුපියල් ලක්‍ෂ 750 ක වන්දි මුදලින් 2023.07.11 වැනිදා රුපියල් ලක්‍ෂ 41 ක මුදලකුත් ගෙවා ඇති අතර හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඔහුට නියම වූ රුපියල් ලක්‍ෂ 500 ක වන්දි මුදලින් රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් පසුගිය ජුනි 6 වැනිදා හා ජූලි 10 වැනිදා ගෙවා ඇත.

හානිපූර්ණය සඳහා වූ කාර්යාලයේ තොරතුරු අනුව 2023.07.11 දිනය වන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තවත් රුපියල් ලක්‍ෂ 850 කුත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තවත් රුපියල් ලක්‍ෂ 580 කට ආසන්න මුදලකුත් ගෙවීමට ඇත. එමෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තවත් රුපියල් ලක්‍ෂ 480 ක් සහ නිලන්ත ජයවර්ධන මහතා තවත් රුපියල් ලක්‍ෂ 709 ක මුදලකුත් ගෙවීමට ඇති බව පැවසේ. පෙර කී වගඋත්තරකරුවන් ගෙවා ඇති මුදල් සම්බන්ධයෙන් නීතිපතිවරයා ද මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මහජන ඡන්දයෙන් තේරී පත් වූ රටේ ජනාධිපතිවරයා හා ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ව්‍යවස්ථානුකූලව පැවරී තිබූ වගකීම් හා යුතුකම් පැහැර හැර ඇති බවට දීර්ඝ පෙත්සම් විභාගයකින් අනතුරුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඒකමතිකව නිගමනය කොට හිටපු ජනාධිපතිවරයාට එකී වන්දි මුදල ගෙවන ලෙසට නියම කොට තිබිණි. එමෙන්ම සෙසු වගඋත්තරකරුවන් පස්දෙනා ද ඔවුන් වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැර ඇතැයි ද නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය සියලු වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සිට මාස හයක කාලයක් ඇතුළත ගෙවන ලෙසට ද වැඩිදුරටත් නියෝග කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment