දුම්රිය ගමන් වාර 119ක් කොට උඩ

157

අවුරුදු 5ක් කිව්වත් විසඳුමක් නැති නිසා වර්ජනයට එළඹුණා – රියැදුරු සංගමය

දුම්රිය රියැදුරන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඊයේ (12 වැනිදා) දිනයේ කෙටි දුම්රිය ගමන් වාර 119 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ, පුත්තලම දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ, කැලණිවැලි දුම්රිය මාර්ගයේ මෙන්ම කාර්යාල දුම්රියන් ගණනාවක්ම අවලංගු කිරීමට සිදු වූ බව ද කෙසේ වෙතත්, දුර ගමන් සේවා කීපයක් ධාවනය කරවූ බව ද හෙතෙම කියා සිටියේය.

මගී ජනතාව අපහසුතාවට පත් කරන මෙවැනි වැඩවර්ජන කිසිසේත්ම අනුමත නොකරන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

ඊයේ උදෑසන හා සවස් කාලයේ රැකියාවට පැමිණි ජනතාව වෙනුවෙන් දුම්රිය ගමන් වාර 100 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කරවීමට පියවර ගත් බව ද ඒ මහතා සඳහන් කළේය. දුම්රිය රියැදුරන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ උදේ රැකියාවට යෑමට පැමිණි පිරිස් හා පාසල් සිසු දරු දැරියෝ දසදහස් ගණනක පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්වූහ. ඉතා අපහසුවෙන් දුම්රියේ කොළඹට පැමිණි මඟීන් සන්ධ්‍යාවේ නැවත නිවෙස් බලා යෑමට නොහැකිව දැඩි අපහසුතාවට පත් වූ අතර ඒ අතරතුරේ පැමිණි දුම්රිය කීපයක අතිවිශාල පිරිසක් පාපුරුවේ හා දුම්රිය එන්ජිම දෙපස අවදානම් ලෙස ගමන් කරන අයුරු දක්නට ලැබිණි.

කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී තිබීමෙන් කෝපයට පත් මඟී ජනතාව ආවේගශීලීව හැසිරෙන්නට වූහ.

මේ අතර, දුම්රිය රියැදුරන් 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනයට මුල් වූ ඉල්ලීම්වලට ප්‍රවාහන අමාත්‍යවරයා හෝ ලේකම්වරයා විසඳුම් ලබාදෙනතුරු වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යන බවත්, මඟීන්ට සිදුවන අපහසුතාව පිළිබඳ වගකීම ඔවුන් භාරගත යුතු බවත් දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා ‘දිවයින’ට ඊයේ සවස පැවසීය.

කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් මරදාන සහ දෙමටගොඩ ධාවනාගාර දෙකක රියැදුරන් පමණක් මෙම වර්ජනයට සහභාගි වී සිටින බවත්, බලධාරීන් සාධාරණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ධාවනාගාර පහේම රියැදුරන් වර්ජනයට එකතු වන බවත් හෙතෙම කීය.

ප්‍රවාහන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියැදුරන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි පිළිගත්ත ද එයට විසඳුමක් නොදීම ගැටලුවක් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වසර 5 කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසඳුම් ලැබෙනතුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යන බව ද හෙතෙම කීය.

මෙම ගැටලුවට ලොකොමෝටිව් දුම්රිය රියැදුරන් 450 දෙනකු මුහුණ පා ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර කොළඹ – කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක ගමන් කළ මගියකු බුළුගහගොඩදී ඊයේ සවස දුම්රියෙන් ඇද වැටීම නිසා රෝහල් ගත කෙරිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment