පන්සල් වත්තේ කසිප්පු ජාවාරම ජයටම කළ කාන්තාව දැලේ

914

සඟවා ඇත්තේ චෛත්‍ය අසල වළක
දරුවන්ගේ වචනයත් අහක දාලා

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය විහාරස්ථානය ඇතුළත ඉදිකෙරෙමින් පවතින චෛත්‍ය ආසන්නයේ වළක් හාරා සඟවා තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් හතළිස් පහක් සමග නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත කාන්තාවක් පසුගිය දිනෙක උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙනිවැල්පිටිය විහාරස්ථානය අසල නිවසක පදිංචිව සිටින වයස අවුරුදු හැටපහක් පමණ වන කාන්තාවකි.

කලක පටන් ප්‍රදේශයට හිරිහැරයක් වන පරිදි මත්පැන් ජාවාරමේ නිරත වන මෙම කාන්තාව කිහිප විටක්ම පොලිසිය විසින් වැටලීම් සිදු කර අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය ජාවාරම් කටයුතු නොයෙක් ක්‍රමෝපායන් අනුගමනය කරමින් නැවත නැවතත් සිදු කරගෙන ගොස් ඇති අතර මෙවර පොලිසිය විසින් සිදුකළ වැටලීමේදී වෙනිවැල්පිටිය විහාරස්ථානයේ ඉදි කරමින් පවතින චෛත්‍යට මීටර් විස්සක් පමණ සමීපයේ වළක් හාරා ඒ තුළ මත්පැන් සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත. සැකකාරිය මෙම වළ තුළ ඉතා සූක්ෂමව කලක් තිස්සේ කසිප්පු සඟවා පැකට් කර සිල්ලරට විකුණා ඇති බව පොලිසිය පවසයි. සැකකාරිය මත්පැන් පානය සඳහා ඇබ්බැහිවී නිරන්තරයෙන් පරුෂ වචන භාවිත කරමින් රණ්ඩු සරුවල් කරන ප්‍රදේශයට හිරිහැරයක්ව පවතින කාන්තාවක් බවට අනාවරණය වී ඇති අතර සැකකාරියගේ දරුවන් පවා රට රැකියාවල නිරත වන අතර ඔවුන් මුදල් හදල් පවා ලබාදී මෙම ජාවාරමේ නිරත නොවන ලෙස මවට කොතෙක් දැනුම් දුන්නද එය කනකට නොගන්නා මෙම කාන්තාව නිරන්තරයෙන් දිගින් දිගටම ජාවාරමේ නිරත වී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම වැටලීම අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පො.කො. 83935 ගයාන්, 102449 මධුෂාන් සහ 99277 පුබුදු යන නිලධාරීන් සිදුකර ඇති අතර සැකකාරිය හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හොරණ – නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment