ප්‍රංශය ගිනි ගැනීම: දින පහට කඩ හත්සීයක් සුන්බුන් වෙයි

1120

1966 වසරේදී Is Paris Burning? නමින් ප්‍රංශ චිත්‍රපටයක් තිරගත විය. මෙය නිර්මාණය වූයේ මේ නමින්ම පළවූ නවකතාවක් ඇසුරෙනි. දශක පහකට එහා චිත්‍රපටය නොව දැන් නම් ප්‍රංශය ගිනි ගන්නා අයුරු හොඳින් පෙනී යයි. ඒ ප්‍රංශ පොලිසියට එරෙහිව අරාබි සම්භවයක් ඇති ප්‍රංශ මුස්ලිම් තරුණයන් වීදි බැස ඉතා කළහකාරීව හැසිරෙමින් වාහන දේපළ ගිනිතබමින් මහත් විනාශයක් කරනු ලබන නිසාවෙනි. පුරා දින පහක් තිස්සේ මේ කළහකාරිත්වය පවතින අතර ඒ නිසා කඩ හා බැංකු කාර්යාල හත්සීයකට අධික ප්‍රමාණයක් ගිනිබත් කර තිබේ. මෙය ප්‍රංශ ආර්ථිකයට දරුණු ප්‍රහාරයක් එල්ල කරන අතරම ජනපති එමානුවෙල් මැක්රෝන් ගේ දේශපාලන අනාගතයද අර්බුදයට ලක්කරයි. මේ කළහකාරී ක්‍රියාවලට ප්‍රංශයේ වෙසෙන අප්‍රිකානු සරණාගතයන්ද හවුල් බව රහසක් නොවේ. එරට වෙසෙන සරණාගතයන් ප්‍රමාණය මිලියන හතකි. එයින් සාතිශය බහුතරය ඇල්ජීරියාවෙන්, මොරොක්කෝවෙන් පැමිණ තිබේ. ප්‍රංශය යටතේ අප්‍රිකානු යටත් විජිත 20කට වැඩි ප්‍රමාණයක් තිබූ අතර ඒ හරහා ප්‍රංශ භාෂාව කතා කරන අප්‍රිකානු වැසියන් කොටසක් බිහිවිය. දැන් සරණාගතයන් පැමිණ ඇත්තේද මෙම පැරණි ප්‍රංශ යටත් විජිත රාජ්‍ය වලිනි. යුරෝපයේ වැඩිම මුස්ලිම් ජනගහනය වෙසෙන්නේද ප්‍රංශයේය.

දින පහක් තිස්සේ සිදුවන දරුණු කළහකාරී ගැටුම්වලට හේතුව දහහත් හැවිරිදි නායෙල් එම් පසුගිය අඟහරුවාදා දිනයේ පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වීමයි. ඇල්ජිරියානු – මොරොක්කෝ සම්භවයක් ඇති මේ තරුණයාගේ අවමඟුල පසුගිය සෙනසුරාදා සිදු කෙරිණි. වෙඩි තැබීම සිදුවූ දින සිට ප්‍රංශය පුරා නගරවල මෙන්ම ඔහු හැදී වැඩුණු පැරිසියේ බටහිරදිග නොන්තේර් උපනගරයේ ද කෝළාහල ඇතිවිය. ප්‍රංශයේ දෙවැනි ප්‍රධාන නගරය වන මාසේ හි ගැටුම් බොහෝසෙයින් කළහාකාරී විය. නායෙල් මව් මූනියා ඇගේ එකම පුත්‍රයාගේ මරණයෙන් ඇතිවූ ශෝකය ගැන කතාකළ කර තිබූ අතර බ්‍රහස්පතින්දා (ජූනි 29) දහස් ගණනක් දෙනා සමග මියගිය පුත්‍රයා සිහිපත් කරමින් පැරිසියේ පාගමනකට එක්වූවාය. මේ මුස්ලිම් තරුණයාට වෙඩි තබා ඝාතනය කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ලකර තිබේ. නායෙල් ගේ මව් මූනියා ප්‍රංශ රූපවාහිනියට මෙසේ ප්‍රකාශ කර තිබිණි. “මම පොලිසියට දොස් නොකියමි, මම එක් පුද්ගලයෙකුට පමණක් දොස් කියනවා ඔහු තමා මගේ පුතාගේ ජීවිතය නැති කළ තැනැත්තා.” 38 හැවිරිදි පොලිස් නිලධාරියා “අරාබි මුහුණක් ඇති දරුවෙකු නිසා මගේ පුතාට වෙඩි තියලා තියන බව කියන්න ඕනේ” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිකුරාදා ප්‍රකාශ කළේ උතුරු අප්‍රිකානු සම්භවයක් ඇති නව යොවුන් වියේ තරුණයා ඝාතනය කිරීම හෙළා දකින බවයි. ප්‍රංශය පොලිසිය ජාතිවාදීව ක්‍රියාකර ඇති බවත් ඒ වාර්තාවේ සටහන්ව තිබුණත් ප්‍රංශ විදේශ අමාත්‍යාංශය එම චෝදනාව “සම්පූර්ණයෙන්ම පදනම් විරහිත” යැයි පවසමින් මේ නිවේදනය ප්‍රතික්ෂේප කර තිබිණි. කෙසේ නමුත් මේ තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා මේ ගැන සිය කනගාටුව පළ කර ඇති අතර තමාට ඝාතනය කිරීමේ වුවමනාවක් නොතිබූ බව සඳහන් කර ඇත. මියගිය නායෙල්ගේ පවුලේ උදවියගෙන් සමාව ඉල්ලා සිටින බවත් මේ නිලධාරියා ප්‍රකාශ කර ඇති බව ඔහුගේ නීතිඥවරයා මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

ජනපති ජැක් චිරාක් බලයේ සිටින කාලයේ එනම් 2005 දී පොලිසියෙන් ගැලවීමට විදුලි උපපොළක සැඟවුණු තරුණයන් දෙදෙනකු විදුලි සර වැදී මිය යෑමෙන් පසු මේ ආකාරයෙන්ම ගැටුම් ඇතිවූ අතර එනිසා එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. මේ ගැටුම් නතර කිරීමටද හදිසි තත්ත්වය පනවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතත් මැක්රෝන් ආණ්ඩුව එය මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

මීට වසර දෙකකට පෙර 2021 ජුනි මාසයේ ප්‍රංශයේ ගිනිකොන ප්‍රදේශයේ නිල සංචාරයක යෙදෙන අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට යම් පුද්ගලයෙකු කම්මුලට පහරක් එල්ල කළේය. එමානුවෙල් මැක්‍රොන් වැලෙන්ස් නගරයෙන් පිටත පිහිටි Tain-lzHermitage වෙත යන ගමන අතරතුර මාර්ග බාධකයක් පිටුපස සිටින පිරිසක් වෙත ගමන් කරන අයුරු සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැකගත හැකිය. එදා කම්මුල් පහරට වඩා ප්‍රහාරයක් මේ ගැටුම් නිසා ජනපතිවරයාට එල්ලවන බව නම් පැහැදිලිය. නහෙල් ගේ මරණය ප්‍රයෝජනයට කළහකාරීව හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනපති එමානුවෙල් මැක්‍රොන් චෝදනා කර තිබිණි. මැක්‍රොන් ජනපතිවරයා සිකුරාදා දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රචණ්ඩත්වය “ඉතා දැඩි ලෙස” හෙළා දුටු අතර නහෙල්ගේ මරණය ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය කිරීමට යොදා ගෙන ඇති බවත් සඳහන් කර තිබිණි. මේ අර්බුදය නිසාම ප්‍රංශ ජනාධිපති ඊයේ ආරම්භ වීමට නියමිත ජර්මනියේ සංචාරය කල් දමා තිබිණි. ගැටුම් දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් මේ වන විට පොලිස් නිලධාරීන් පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රංශය පුරාම යොදවා තිබේ. සැහැල්ලූ සන්නද්ධ රථවල පිටුබලය ඇතිව පොලිස් නිලධාරීන් යොදවා තිබුණත් සිකුරාදා හා සෙනසුරාදා රාත්‍රියේ ප්‍රචණ්ඩ ගැටුම් දිගටම පැවතීම ප්‍රංශ රාජ්‍ය අරාජිකත්වයට හෙළීමකි. ප්‍රචණ්ඩත්වය හා කළහකාරිත්ය පතුරවන පුද්ගලයන් සිය ගණනින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස්වලින් සියයට 30ක් වයස අවුරුදු 18ට අඩු අය බව එරට අධිකරණ ඇමැතිවරයා කියයි.

ලියොන්, මාසේ සහ ග්‍රෙනොබල් නගරවල කොල්ලකෑම් සහ කැරලි ගැසීම් මෙන්ම සාප්පු කොල්ලකෑම, ගිනි තැබීම් සහ පොලිස් නිලධාරීන්ට ගිනිකෙළි වලින් පහරදීම සිදුවිය. ප්‍රංශ මුදල් අමාත්‍ය බෘනෝ ලේ පැවසුවේ අඟහරුවාදා සිට සාප්පු සුපිරි වෙළෙඳසල්, ආපනශාලා සහ බැංකු ශාඛා 700 කට වැඩි ප්‍රමාණයක් “කොල්ලකා ගිනිතබා ඇති බවයි. ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාසේ හි කැරලිකරුවන් තුවක්කු විකුණන කඩයක් කොල්ලකා දඩයම් රයිෆල් සොරකම් කර ඇති නමුත් ඒවායේ පතුරම් ලබා ගෙන නැති බව පොලිසිය කියයි. සෙනසුරාදා ඇතිවූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් තිදෙනකු සුළු තුවාල ලැබීමෙන් පසු “කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩත්වය” මැඬපැවැත්වීම වෙනුවෙන් අමතර හමුදා එවන ලෙස මාසේ නගරාධිපති බෙනොයිට් පායන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ අතර පැරිසියේ උප නගරයක් නගරාධිපතිගේ නිවාස ගිනි තබා ඇති අතර ඒ නිසා ඔහුගේ බිරිඳ හා දරුවා තුවාල ලබා ඇත.

යුරෝපයේ රටවල් අතරින් ඉහළම පොලිස් ප්‍රචණ්ඩතාව දක්නට ලැබෙන්නේ ප්‍රංශ පොලිසියේ බව කියනු ලබයි. ඔවුන් සමාන කරනු ලබන්නේ ඇමෙරිකානු පොලිසියේ ක්‍රියාකාරිත්වය හා සමානවය. සරණාගතයන්ට මෙන්ම අරාබි සම්භවයක් ඇති පුද්ගලයන්ට එරෙහිව ප්‍රංශ පොලිසිය සාහසික ලෙස ක්‍රියා කරන බව මානව හිමිකම් සංවිධාන පවසයි. 2017 සිට ආරක්ෂක මුරපොළවලදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ බහුතරය කළු ජාතිකයන් හෝ අරාබි ජාතිකයන් වේ. ප්‍රංශය ඇතැම් නගරවල එනම් සරණාගතයන් මෙන්ම අරාබි ජාතිකයන් බහුල ප්‍රදේශවල නොසන්සුන්තාවට අමුත්තක් නොවේ – ඉහළ මට්ටමේ විරැකියාව නිසා පොලිසිය පවසන්නේ ඔවුන් වැඩියෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බවයි. 2016 දී, පැරීසියෙන් පිටත ප්‍රදේශයක මුර සංචාරයේ යෙදී සිටි පොලිස් මෝටර් රථයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු පොලිස් නිලධාරියෙකු බරපතළ ලෙස තුවාල ලැබීය. මෙය කළු ජාතික තරුණයන් කණ්ඩායමක් එල්ල කළ බවට හඳුනාගෙන තිබිණි. ගවේෂණාත්මක මාධ්‍ය ආයතනයක් වන බස්ටා විසින් කරන ලද අධ්‍යයනයක් අනුව 2017 දී පොලිසිය විසින් පුද්ගලයන් 27 දෙනකු ඝාතනය කර ඇති අතර, එම සංඛ්‍යාව 2020 දී 40 දක්වා වර්ධනය වී 2021 දී 52 දක්වා වැඩි වි තිබේ. එසේම පසුගිය වසරේ අධ්‍යයනයකින් හෙළි වූයේ ධාවනය වන වාහනවල රියැදුරන්ට එරෙහිව සිදු කළ පොලිස් වෙඩි තැබීම් පස් ගුණයකින් වැඩි වී ඇති බවයි.

2022 දී පොලිසිය විසින් ඝාතනය කරන ලද පුද්ගලයන් 39 දෙනාගෙන් 13 දෙනකුම නියෝග පිළිපැදීමට අපොහොසත් වීම මත වෙඩි ප්‍රහාරයට ලක්වූ රියැදුරන් වේ.

මේ වසරේ මාර්තු මාසයේ ප්‍රංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම සඳහා නීති සම්පාදනය කිරීම හේතුවෙන් ප්‍රංශය පුරා උද්ඝෝෂණ හා ගැටුම් පැතිර ගිය අතර ඒ සඳහා විශාල ජනකායක් සම්බන්ධ වීය. මේ නිසා නගර කිහිපයක සති දෙකකට වැඩි කාලයක් කසළ එකතු කරන්නන් වැඩ වර්ජනයක නිරතව සිටින අතර, එකතු නොකළ කුණු ටොන් දහස් ගණනක් පැරීසියේ වීදිවල තැනින් තැන ගොඩ ගසා තිබෙනු දක්නට හැකි විය. එසේම මධ්‍යම පැරිසියේ පැවති විරෝධතා සාමකාමී වුවද, සමහර විරෝධතා කණ්ඩායම් වෙළෙඳසල් ආදියේ ජනෙල් කඩා බිඳ දමමින්, කසළ පුළුස්සා දමමින් කැරලි මර්දන පොලිසිය සමග ගැටීම් ද ඇතිකරගෙන තිබිණි. බෝඩෝ නගරයේ මෙම ප්‍රතිසංස්කරණයට එරෙහිව ඒකරාශී වූ ජනයා “මැක්‍රොන්, ඉල්ලා අස්වෙනු !” යනුවෙන් හඬ නැඟූහ. කවරක් නමුත් මාර්තු මාසයට වඩා දැන් ඉතා දරුණු ප්‍රචණ්ඩත්වයක් පැතිර ගොස් ඇත. එනිසාම මැක්‍රොන්ගේ ආණ්ඩුව දෙදරයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment