ශ්‍රී ලංකාව එමීරයට එරෙහිව අද ආරම්භය ගනියි – ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය

316

2023 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (19 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සිම්බාබ්වේ දී පැවැත්වේ.

සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භ වන අතර 2008 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය යටතේ පකිස්තානයයේදී අවසන් වරට මුණ ගැසීමෙන් පසු මෙම රටවල් දෙක එක් දින තරගයකදී මුණගැසෙන්නේ වසර 15කට පසුවය.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අනෙක් තරග තුන ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය සමග පිළිවෙළින් ලබන 23, 25 සහ 27 දිනවල පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 2ක් පමණක් පවත්වා ඇති අතර එම තරග 2ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

අද තරගය පැවැත්වෙන බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව මීට පෙර තරග 9කට ක්‍රීඩා කර ඇති අතර එම තරග 7 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන අතර තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

මෙම තරගාවලිය යටතේ පැවති පුහුණු තරග දෙකේදී ඇමෙරිකා එක්සත් ජනපදයට සහ නෙදර්ලන්තයට එරෙහිව පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

එහිදී ඇමරිකාව සමඟ තරගයේ දී දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක වාර්තා කළ අතර චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූහ. එය නායක දසුන් ශානක මෙම පුහුණු තරග යටතේ ලබාගත් දෙවැනි අර්ධ ශතකය විය.

කලකට පසුව පිටියට එක් වෙමින් සුපුරුදු පන්දු යැවීමේ රිද්මයට පැමිණි දුෂ්මන්ත චමීර මෙන්ම කසුන් රාජිත, වනිඳු හසරංග සේම මතීෂ පතිරණ ද පුහුණු තරගවල දී දක්ෂතා දැක්වූ අතර ධනංජය ද සිල්වා ද පන්දු යැවීමෙන් දස්කම් දැක්වීය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය මෙවර තරගාවලිය යටතේ පැවැති පුහුණු තරග දෙකේදී නේපාලය හමුවේ ජයග්‍රහණය වාර්තා කළ අතර බටහිර ඉන්දීය කොදෙව් හමුවේ පරාජයට පත්විය.

අද තරගය සඳහා සහභාගි වෙනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ.

advertistmentadvertistment
advertistmentadvertistment