රොමේෂ් ‘ටියුන්ස්’ නිසා බිසී

185

නව පරපුරේ ගායන ශිල්පීන් අතර ජනප්‍රිය චරිතයක් වන රොමේෂ් සුගතපාලට පසුගිය වෙසක් පොහොය බොහොම සුවිශේෂී දවසක් වුණාලු. මොකක්ද ඒකට හේතුව. අපි ඔහුගෙන්ම දැනගනිමු.

● රොමේෂ්, මොනවද තොරතුරු?

සංගීත ප්‍රසංග පවත්වන්න අවසර ලබා දුන්න එක ගැන ඇත්තටම සතුටු වෙනව. ඒ වගේම මගේ ‘ටියුන්ස්’ සංගීත කණ්ඩායමත් මේ දිනවල කාර්යබහුලයි. මගේ අලුත් ගීතයේ වැඩකටයුතු අවසන් කරල තිබුණත්, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා ජනතාවට සිංදුවක් අහන්න පුළුවන් මානසිකත්වයක් හැදෙන දවසක් එන තුරු එළිදැක්වීම ප්‍රමාද කළා. ඒ වගේම ‘පවසන්න’ ගීතයෙන් ලැබුණ ජනප්‍රිය බව ඉතා ඉහළ නිසා මේ දිනවල සංගීත ප්‍රසංග වලට සතුටින් සහභාගී වෙනව.

● අලුත්ම ගීතය ගැන කතා කළොත්?

මේ ගීතයේ පද රචනය ලසිත. සංගීතය ඩිල්ෂාන් එල්. සිල්වා. වෙනස්ම ගීතයක්. පවතින තත්ත්වය නිසා තවම රූපරචනාවක් කරන්න සැළසුමක් නැහැ. කොහොම වුණත් මගේ කලින් ගීතය වගේම මේ ගීතයේ රූපරචනාවත් භාර දෙන්නෙ සංදේශ් මල්ලිට. එළඹෙන ජූනි මාසයේ ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙනව.

● ඔබේ සංගීත කණ්ඩායම?

මම මුලින්ම සංගීත කණ්ඩායම්වල වාදන ශිල්පියෙක් හැටියට කටයුතු කරල තමයි ගායකයෙක් වුණේ. ඒ කාලෙ ඉඳන් මට ලොකු ආසාවක් තිබුණ මටම කියල සංගීත කණ්ඩායමක් හදාගන්න. අද වෙනකොට මංගල උත්සව වලට සහ විවිධ උත්සව අවස්ථාවන් වලට ආරාධනා ලැබෙනව. ඇත්තටම අද මම ගොඩක් සතුටු වෙනව. සමහර අමාරු කාලයන් වලදි මම මගේ සංගීත කණ්ඩායම නිසා ජීවත් වුණා. ඒක හැම වෙලාවෙම මම මතක් කරනව. අපිට ප්‍රසංග අහිමි වෙන්න පටන්ගත්තෙ 2019 වසරෙදි. නමුත් මංගල උත්සව නැති වුණේ නැහැනෙ. ඒ වෙනකොට මම සංගීත කණ්ඩායමේ නම හදා ගෙන තිබුණ නිසා මට ජීවිතය ගෙනියන්න අපහසු වුණේ නැහැ. මගේ ලොකු අරමුණත් තියෙනව ඉදිරියේදී මගේ ජනප්‍රියත්වයත් එකතුකරල සංගීත කණ්ඩායම ජනප්‍රිය තැනකට ගේන්න.

● ‘ටියුන්ස්’ සාමාජිකයන් ගැන කතා කළොත්?

මේක එකෝස්ටික් බෑන්ඩ් එකක්. ඇත්තටම කිව්වොත් දක්‍ෂයන් හය දෙනෙක් මගේ කණ්ඩායමේ ඉන්නව. ඔවුන් වාදන අංශයෙන් වගේම ගායන කුසලතාව අතින් ගත්තත් ඉතා ඉහළ තැනක ඉන්න, හොඳ අධ්‍යාපනයක් ලබපු අය.

● සංගීත කණ්ඩායම් අතර ලොකු තරගයක් තියෙනව නේද?

ඔව් තරගයත් තියෙනව. නමුත් මෙතනදි මූලික වෙන්නෙ මම. මගේ ගීතවලට ආදරේ කරන රසිකයන් විශාල පිරිසක් ඉන්නව. 2012 ඉඳන් 2022 දක්වා ගායනා කළ ගීත වලට වෙනම පිරිසක් වගේම 2003 සිට 2008 දක්වා ගීත වලට වෙනම පිරිසක් ඉන්නව. මේ දෙගොල්ලන්ගෙන්ම ආරාධනා ලැබෙන නිසා අනෙක් කණ්ඩායම් සමග අපිට තරගකාරිත්වයක් තියෙනව කියල මම දකින්නෙ නැහැ. මගේ නමට එන වැඩ ටික අනිවාර්යයෙන්ම එනව.

● පවුලේ තොරතුරු?

කොච්චර ප්‍රශ්න ආවත් මමත් මගේ බිරිඳත්, පුතාත් අපිට තියෙන ප්‍රමාණයට අනුව ජීවත් වෙනව. මට ඕන හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න. කල්පනා කරල දවසක් හරි ජීවිතේ ආපස්සට ගියොත් ඒකත් බලපාන්නෙ අපේ ජීවිතවලටමයි. සතුට තියෙන්නෙ මුදල් මතම නෙමෙයි.

● පැමිණි ගමන ගැන අදහස?

මේ පැමිණි ගමන ගැන මම හරිම තෘප්තිමත්. ඒ වගේම මට තව දුර යන්න තියෙනව. මගේ මූලික අරමුණ වුණේ ආදරය කළ කෙනාව බඳින එක. ඒ අරමුණ තමයි මාව ගායකයෙක් කළේ. ඒක සාර්ථක වුණා වගේම ඒ බැඳීම ශක්තිමත් වෙන්න අපිට පුතෙක් ලැබුණ. හොඳ සහෝදර පිරිසක් ලැබුණ. හොඳ රසික රසිකාවියක් පිරිසක් ලැබුණ. මටම කියල ගෙයක් හදාගන්න පුළුවන් වුණා. මේ වන විට සංගීත කණ්ඩායමක නායකයෙක් වෙලා. මේ දේවල් එක්ක මම ජීවිතය ගැන පසුතැවෙන්නෙ නැහැ. මොකද මගේ ජීවිතයට ලැබුණ මම සතුටු වෙන දේවල්. ජීවිතයේ තව ඉලක්ක තියෙනව. ලංකාවේ වගේම ජාත්‍යන්තරයටත් යන්න මම ආසයි.

● මේ වෙසක් පොහොය රොමේෂ්ට සුවිශේෂියි?

අනිවාර්යයෙන්ම. 15 සහ 16 අපි වෙසක් පොහොය සැමරුවා. ඒ වගේම 16 වැනිදා මගේත් පුතාගෙත් උපන් දිනය යෙදිල තිබුණා. එදිනට ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාට දානමය පිංකමක් සිදු කළා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment