නූපා කන්දක් නම් නිරෝෂා ගිනි කන්දක් – නිරෝෂා පෙරේරා

257

මාව කාටවත් යටත් කරන්න බැහැ
මගේ ආදරය මටමයි

ඇය අපට හමුවෙන්නේ හරිම කලාතුරකින්. එහෙම කලාතුරකින් හම්බවෙන කෙනෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්න තියෙනවාද? මේ ළඟකදී එහෙම කලාතුරකින් අපට ඇයව මුණ ගැසුණා. ඒ ඇය රංගනයෙන් දායක වුණු සම්මානනීය ලේඛිකාවක් වන සුමිත්‍රා රාහුබද්ධ ගේ තිර රචනයෙන් අසෝක අතාවුද හෙට්ටිගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වුණු කන්දක් සේමා සිනමා කෘතියේ මාධ්‍ය දර්ශනයේදී. කන්දක් සේමා හි නූපා ඇයයි ඇය නිරෝෂා පෙරේරායි. මේ ඇගේ හැඬයි.

● කන්දක් සේමා හි ‘නූපා’ ට මේ වෙනකොට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ඇත්තටම මේ වෙනකොට කියන්න සන්තෝෂයි. මාධ්‍ය දර්ශන තිබ්බට පස්සේ නිර්මාණය ගැන වගේම මගේ රංගනය ගැන අවංක අදහස් සහ ප්‍රතිචාර ලැබුණා. නූපා තුළින් නිරෝෂාව දැක්කේම නැහැ කියන එක ගොඩක් අයගේ මුවින් පිටවුණා. නූපා කියන්නේ විවිධ කාල වල විවිධ ප්‍රශ්නවලට මුහුණදෙන චරිතයක්නේ. මම නිරූපණය කරපු පූජත් එක්ක ප්‍රේක්‍ෂකයො ජීවත්වුණා කියන එකත් මට ලොකු සතුටක්.

නූපා කන්දක් නම් නිරෝෂා ගිනි කන්දක් - නිරෝෂා පෙරේරා

● කන්දක් සේමා නව කතාව තමයි සිනමාවට නැගෙන්නේ?

නව කථාව බොහෝ දෙනෙක් කියවලා තිබෙනවා. නව කථාවත් සිනමාවට නැගෙනකොට වාසියක් වගේම අවාසියකුත් තිබෙනවා. වාසිය තමයි පොත කියවපු අය චිත්‍රපටය නරඹන්න කැමැතියි. ඒ වගේම තමයි පොත කියවපු අය පොතේ කථාවත් සමඟ අපි රූප මවාගන්නවානේ. මොකද කථාවකුත් තිබෙනවානේ අපි හැමෝම කියවන්නේ එකම පොත වුණාට හැමෝටම කියැවෙන්නේ එකම කථාව නෙමෙයිනේ.

සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේමා’ කෘතිය කියවලද මේ චරිතය භාරගත්තේ?

● මෙහෙමයි චිත්‍රපටයේ නූපාට රාහුබද්ධ කථා කරද්දී කන්දක් සේමා කියන කෘතිය කියවලා තිබුණේ නැහැ.

මම ගොඩක් පොත් කියවන කෙනෙක්. ඒත් ඒ වෙද්දී මම කන්දක් සේමා කියන පොත කියවල තිබුණේ නැහැ. නමුත් සුමිත්‍රා රාහුබද්ධ කියන නම මම දන්නවානේ. අනික නූපා කියන චරිතයට මට මිසිස් රාහුබද්ධම තමයි

කථා කළේ. මගේ නූපා නිරෝෂා කියලා මිසිස් රාහුබද්ධගේ වචනයෙන් කිව්වේ. ‘ඔයා තමයි මගේ නූපා’ මට ඒක හොඳට මතකයි.

නූපා කන්දක් නම් නිරෝෂා ගිනි කන්දක් - නිරෝෂා පෙරේරා

ඊට පස්සේද නව කථාව කියෙව්වේ?

ඔව්. මා ළඟ තවමත් තිබෙනවා මිසිස් රාහුබද්ධම අත්සන් කරලා එවපු නවකථාව. ඉතිං මම මුලින්ම පොත කියෙව්වා. ඊට පස්සේ තමයි තිර රචනය එව්වේ. ඒකත් මිසිස් රාහුබද්ධගේමයි. ඒ නිසයි මම මේ චරිතයට කැමැති වුණේ. නව කථාව ලියපු ලේඛිකාවගේම තිර රචනය හින්දා ඒ අදහසත් මිසිස් රාහුබද්ධගේමනේ.

නූපා වෙනුවෙන් ඔබ කොහොමද සූදානම් වුණේ?

පළමුවැනි දේ තමයි මම සාමාන්‍යයෙන් ගොඩක් වැඩ කරන කෙනෙක් නෙමෙයි. අනික මම දෙයක් භාරගන්නේ ගොඩක් හිතලා බලලා. ඇත්තටම මට ඔය කන්දක් සේමා කියන චිත්‍රපටයට ආරාධනාව ලැබෙන කාලේ මට ගොඩක් චිත්‍රපටවලට ආරාධනා ලැබෙමින් තිබුණ කාලයක්. මෙතැනදී මට වැදගත් වෙන්නේ ඒක කොයි තරම් ජනප්‍රිය නවකතාවක් වුණත් කොයි තරම් සම්මාන දීලා තිබුණත් රංගන ශිල්පිණියක් විදිහට මට කරන්න පුළුවන් දෙය මොනවාද කියන්න යන්නයි. රංගන ශිල්පිණියක් විදිහට මට කරන්න දෙයක් නැතිනම් මට ඒක වැඩක් නැහැනේ. එතැනදී මේ කථාවම නූපාගෙනේ. කන්දක් සේමා කියන්නේ නූපා තමයි කන්දක් සේමා. නූපාගේ තමයි කථාව. ඉතිං නව කථාව සහ තිර රචනය කියවලා බලද්දී රංගන ශිලිපිනියකට තේරෙනවා එයාට කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය. ඒ දේවල් හිතට මැවෙනවා. මට නම් එහෙමයි. එතකොට තේරෙනවා මේක කළ යුතුද නැතිද කියලා.

නූපා කන්දක් නම් නිරෝෂා ගිනි කන්දක් - නිරෝෂා පෙරේරා

නූපා හින්ද ඔබ තෘප්තිමත්ද?

මම රූගත කරනකොටම තෘප්තිමත්. මොකද දන්නවද මුලින් කිව්වා වගේම මම ගොඩක් වැඩ භාර අරගෙන කරන චරිතයක් නෙමෙයි. මම එක දෙයක් තෝරාගෙන ඒකට බොහොම කැපවෙන කෙනෙක්. එදා ඉඳලා මම එක දෙයක් භාර අරගෙන ඒක හරියට කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා තමයි මම කරපු හැමදේම හරිගියේ. මම හැමතිස්සේම ගොඩ බදාගන්න නෙමයි කැමැති. ගත්තු එක දේ හොඳට කරන්න තමයි කැමැති.

නිරෝෂා නූපා එක්ක ජීවත්වුණා?

අන්න හරි. අනිවාර්යයෙන්ම. නූපා කියන්නේ හැම අතින්ම සම්පූර්ණයෙන්ම නිරෝෂාට වැඩිය වෙනස් කෙනෙක්.

කටකාර දඟකාර නිරෝෂා නූපා හින්ද මේ තරම් තැන්පත් වූයේ කොහොමද?

මම හිතන්නේ රංගන ශිල්පිණියක් විදිහට ඒක තමයි මගෙන් විය යුත්තේ කියලා. එතැන මට රඟපාන්න තියෙන්නේ නිරෝෂා පෙරේරා නෙමෙයි. නූපා නියෝජනය කරනවා සියලු කාන්තාවන්වම. කන්දක් සේමා හි නිරෝෂා නූපා නෙමෙයි ඉතිං මට ඕනෑ වුණේ පිටපත කියවද්දී මගේ හිතේ මැවුණු නූපාව මෙහෙමයි කියලා. ඒක මම විතරක් හදාගෙන හරියන්නේ නැහැ. ගැළපෙනවද කියල බලන්නත් එපායැ. එතකොට ලියපු කෙනෙක් එක්කත් ඒ නූපා ගැළපෙනවා.

ෂූටින් ඉවර වුණාට පස්සේ සුමිත්‍රා රාහුබද්ධ මොනවද කිව්වේ?

රූගත කිරීම් කරද්දී හැම දර්ශන තලයකම වගේම මිසිස් රාහුබද්ධ හිටියා. මම හැම දර්ශනයක්ම රූගත කරලා මිසිස් රාහුබද්ධගෙන් තමයි අහන්නේ ඔයා සතුටුයිද කියලා. මොකද එයානේ තිර පිටපත ලිව්වේ. හැබැයි ඉතිං පොතක් සහ චිත්‍රපටයක් කියන්නේ මාධ්‍ය දෙකක්. අපි ඒක තේරුම් ගන්ත ඕනෑ. එතකොට පොතේ ඉන්න පූජයි චිත්‍රපටයේ ඉන්න පූජයි මාධ්‍ය දෙකක ඉන්න කෙනෙක් කියලා තමයි බලන්න ඕනෑ. ඒක සසඳන්න හොඳ නැහැ.

නූපා වෙනුවෙන් තැන්පත්වීමට කොච්චර කාලයක් ගතවුණාද?

මෙහෙමයි. මේක තැන්පත් වෙනවා කියලා හිතාගෙන යන එකක් නෙමයි. නූපා කියන කෙනාව අපි අඳුරගත්තට පස්සේ ඒක ඉබේටම එනවා.

මෙහිදී ඔබට භාෂාව නම් ගැටලුවක් වෙන්නේ නැතිව ඇති?

ඇත්තටම තිරපිටපත් රසිකාවිය වන මිසිස් රාහුබද්ධත් මුලින්ම කිව්වා. ජපන් භාෂාව දන්න එක මේකට ලොකු සුදුසුකමක් කියලත්.

තව භාෂා කොච්චර කථා කරන්න පුළුවන්ද?

ඒ වෙද්දී මට සිංහල එක්ක භාෂා හතක් කථා කරන්න පුළුවන්.

මොනවද ඒ භාෂාවන් කිව්වොත්?

සිංහල, දෙමළ, හින්දි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජපන්, ස්පැනිෂ්

මෙච්චර භාෂාවන් ප්‍රමාණයක් ඉගෙන ගන්න හිතුවේ ඇයි?

පාසල් යන කාලේ ඉඳලා මම ඉගෙන ගත්තු භාෂාවන් තිබුණා. සමහර භාෂාවන් මම පටන් අරගෙන අතර මගදී අතහැරිය ඒවත් තිබුණා. මාස්ටර් කරපු ලැන්වේජස් මගේ තියෙනවා. අනික මම මාධ්‍යවේදිනියකුත් එක්ක නේ. ඉතිං භාෂා ගැන දැනුම ඒකට ලොකු පිටුවහලක්. අනික මම දන්න භාෂා වලින් හැම තිස්සේම හැමදේම කරන කෙනෙකුත් නෙමෙයි. අපි දෙයක් ඉගෙන ගත්තේ පෙන්වන්නම නෙමෙයිනේ.

මේ වෙනකොටත් ඔබ ඉගෙන ගන්නවා කියලත් ආරංචියක් තිබෙනවා?

ඔව්. ඔව්. ඉගෙන ගන්න එක එහෙම නවතින්නේ නැහැ. ඇත්තටම කන්දක් සේමා මාධ්‍ය දර්ශනය වේලාවෙත් මගේ ගැව්වේෂන් එකක් තිබ්බා ඒකයි මම මුලිනුත් කිව්වේ මම එක දෙයක් කරන්න ඉන්න කෙනෙක් නෙමෙයි. මම හැම තිස්සේම බැලන්ස් එකේ වැඩ කිහිපයක් කරන කෙනෙක්. හැමදාමත් එක දෙයක් කරන ගමන් ඉගෙන ගන්න එකත් කළා. අනික මම කොහොමටත් කාලෙන් කාලෙටනේ වැඩ කරන්නේ.

ඇත්තටම කොච්චර කාලෙකට පස්සේද චිත්‍රපටයක් තිරගත වෙන්නේ?

ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මටත් මතක නැහැ. අන්තිමට චිත්‍රපටයක් තිරගත වුණේ මම හිතන්නේ අවුරුදු දහයකට විතර කලින් සෑහෙන කාලයක් කියලා තමයි දමන්න වෙන්නේ.

මෙච්චර දේවල් දැනගෙන හැංගිලා ඉන්නේ ඇයි?

ඒක මගේ හැටි. මේ හැමදෙයක් එක්කම මට නිදහස කියන දෙය නැතිනම් වැඩක් නැහැ. මම හැම මාධ්‍යයකම නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට තමයි වැඩ කළේ. මම කාටවත් බැඳිලා කවුරුවත් වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි.

නිරෝෂා කාටවත් යටත් වෙන්න සූදානම් නැහැ

ඔව්. යටත්වෙන්නත් කැමැති නැහැ. මාව කාටවත් යටත් කරන්නත් බැහැ. එතැනදී නම් මම කන්දක් වගේ ඉන්න නූපාටත් එහා. එහෙම බැලුවොත් නිරෝෂා ගිනි කන්දක්. නූපා කන්දක් නම් නිරෝෂා ගිනි කන්දක්. අනික ලයිෆ් එක කියන්නේ වැඩ විතරක්ම නෙමෙයි එක එක්කෙනාට අයිති ජීවිතවල එක එක්කෙනාට වුවමනා කරන දේවල් තිබෙනවා. මම පුංචි කාලේ ඉඳලා මේ දේවල් පටන්ගත්තු කෙනෙක් නේ. නමුත් මම එදා ඉඳලා නිදහස කියන එක මගේ දෙයක් කියන එක, මට ඕනෑ විදිහට මම කැමැති දේ විතරක් කරපු කෙනෙක්. මට බැහැ යටත්වෙලා හෝ කියන නිසා හෝ බැඳිල වැඩ කරන්න බැහැ. ඕනෑම නිර්මාණයක වුණත් මට නිදහස තියෙන්න ඕනෑ. මම හා කියනවාද බෑ කියනවාද කියන එකට. අනික මට ඒකට කාලයක් ඕනෑ. මම අනෙක් හැමෝම කරන පලියට දේවල් කරන කෙනෙක් නෙමෙයි නේ. අනිත් එක ඝෝෂා කරන්නත් ගොඩක් කට්ටිය ඉන්නවානේ. නිහඬව ඉන්නත් එක්කෙනෙක් ඉන්න එපායැ.

හැබැයි ‘කන්දක් සේමා’ හි නූපා නම් නිහඬව ඉන්න සූදානම් චරිතයක් නෙමෙයි?

නූපා කියන්නේ නිහඬව ඉන්න සූදානම් කෙනෙක් නෙමෙයි. නූපා කියන්නේ කොහොම හරි තමන්ගේ අයිතිය දිනාගන්න උත්සාහ කරන ගැහැණියක්. තමන්ගේ අරමුණ වෙනුවෙන් උත්සාහ කරන කෙනෙක්. එහෙම ලේහෙසියෙන් පරාජය භාර ගන්නත් අකමැති කෙනෙක්.

සැබෑවටම ඔබට නූපා වගේ චරිත මුණගැසිලා තිබෙනවාද?

ඉතිං අපිට ගොඩක් අයව හමුවෙනවානේ. හැබැයි මම හිතන්නේ මේ ලෝකේ නූපාලා වගේ අය ගොඩක් ඉන්නවා. ඒ නිසා වෙන්න ඇති මේ චරිතය ගොඩක් අයට දැනෙනවා ඇත්තේ. මොකද තමන්ට අදාළ දෙයක් වුණහම ඒක දැනෙනවා වැඩියිනේ.

නූපාගේ ආදරය කොහොමද දකින්නේ?

එක එක්කෙනාට ආදරය අවශ්‍ය විදි තියෙනවානේ සහ ආදරය පෙන්වන විදි තියෙනවානේ. නූපා කියන්නේ ආදරය කියන එක වචනයෙන් කියන්නේ නෑ. ඒක පෙන්වන්නේ නැහැ. දැනෙන්න කරන්න කියලා කියන කෙනෙක්. එයාම කියනවා එක එක්කෙනාගේ ප්‍රකාශන විදි වෙනස්නේ. නූපාට ආදරය හොයන්න ගිහිල්ලානේ එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ.

එතකොට නිරෝෂාගේ ආදරයත් සැඟවුණු කථාවක්ද?

මගේ ආදරය මටම තමයි. ඒ විදිහට තමයි මට කියන්න තියෙන්නේ.

මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල ඇත්තටම වෙන වැඩකටයුත්තක් කරන්නම වෙලාවක් නැහැ. චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩකටයුතු වෙනුවෙන් කාර්ය බහුල වෙලයි ඉන්නේ. මට මේ කාලයේ වෙන අළුත් දෙයකට හිත යොමු කරන්න වෙලාවකුත් නැහැ. නිර්මාණ කිහිපයක් තිබෙනවා කතාකරපු. තවම අපිට පටන් ගන්න වේලාව හදාගන්න බැරිවුණා. මම ඒ මොහොතට ජීවත්වෙන කෙනෙක්. අනික මම ප්ලෑන් කරන කෙනෙක් නෙමෙයි. මම හැම වෙලාවේම විශ්වාස කරන දෙයක් තමයි මේ හැමදේම අපිට ප්ලෑන් වෙලයි ඇවිල්ලා තියෙන්නේ කියලා.

නිරෝෂා ළඟ සැලසුම් නැහැ.

මා ළඟ සැලසුම් නැහැ. සැලසුම් හදන්න මම කවුද?

නිරෝෂා ළඟ හීනත් නැහැ. ඇයි මේ.?

සමහරු මගෙන් අහලා තිබෙනවා ෆිල්ම් එකකට කථා කරනකොට හැංගෙන්නේ ඇයි කියලා. වැඩකට කථා කරනකොට සම්පූර්ණයෙන්ම හැංගෙනවා. වෙන කෙනෙක් හොයාගෙන ගිහිල්ලා ඉල්ලන දෙයක් ඔයාගේ අතටම ඇවිල්ලා දෙනකොට ඔයා හැංගෙන්නේ ඇයි කියලත් අහපු අය ඉන්නවා. තව සමහරු අහනවා මෙච්චර වැඩ කරන්න පුළුවන් කමක් තියෙද්දී ඇයි ඔයා හැංගිලා ඉන්නේ කියලා. තවත් සමහරු අහලා තියෙනවා ඔයා කොහොමද ඔහොම හැංගිලා ඉන්නේ කියලා. ඉතිං මට කියන්න තියෙන්නේ හැමෝම එකවගේ නැහැනේ. තව කෙනෙකුට මාර දෙයක් මට චුට්ටක්වත් මාර නොවෙන්න පුළුවන්. මම කොහොමටත් ලොකු ආසාවන් එක්ක ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. මම එදත් එහෙමයි. අදත් එහෙමයි.

සියල්ල අතහැරලා ඉන්නේ?

අන්න හරි ඒක තමයි හරිම වචනය. සියල්ල අතහැරලා ඉන්නේ. ඕනෑ වෙලාවක අතහරින්නත් සූදානම්. ඒ නිසා මම හරිම සන්තෝෂයෙන් ඉන්නේ. ඔය ගොඩක් හොයන කරන ගොඩක් අය ගාව නැති පුදුමාකාර තෘප්තියක් සතුටක් මා ළඟ තියෙනවා. ඒකට සමකරන්න බැහැ ඔය කිසිම දෙයක්. මේ හැමදේටම වඩා මට ඒක වටිනවා. ඕනෑවට වැඩිය දුවන කෙනකුට වටිනාකම තේරෙනකොට සමහර විට ප්‍රමාද වැඩිවෙන්නත් පුළුවන්.

දිනේෂ් විතාන
ඡායාරූප – ටීෂා ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment