දිය නාන්න ගිං ගඟට පැන්න මාරක ළිඳේ යතුරුපැදි ධාවකයා දියේ ගිලී අතුරුදන්

504

ගාල්ල නාගොඩ මංසන්දියේ පැවැත්වෙන නිකිණි මේලා සැණකෙළියේ මාරක ළිදේ යතුරුපැදි ධාවනය කිරීම සඳහා පැමිණි යතුරුපැදි ධාවකයා නාගොඩ පාළම මත සිට පිහිනීම සඳහා ගිං ගඟට පැන ඇති අතර ගඟේ ජල පහරට හසුවී ඔහු අතුරුදහන් වී ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.

ධාරාණිපාත වාර්ෂාවත් සමග ගිං ගඟේ ජල මට්ටමද වැඩිවී ඇති අතර අතුරුදහන් වූ යතුරුපැදි ධාවකයාගේ සිරුර ඊයේ (03දා) උදෑසන වනවිටත් සොයා ගැනීමට නොහැකිවී ඇති බව පොලිසිය පවසයි. අයහපත් කාලගුණික තත්වයත් සමග ගංගාවේ ජලය බොර පැහැයට ලක්ව ඇති නිසා අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනීම නාවික හමුදාවට පවා අපහසුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ මීගමුව දළුකතේ ප්‍රදේශයේ පදිංචි ඉන්දික පීරිස් නමැති (42) හැවිරිදි අයෙකි. ඔහු තම මිතුරකු සමග නාගොඩ පාළම මත සිට පිහිනීම සඳහා ගිං ගඟට පැන ඇත. මිතුරා දිවි බේරාගෙන ඇත. දිවි බේරාගත් ඉන්දිකගේ මිතුරා මෙසේ කීවේය.

31 වැනි සිකුරාදා තමයි මෙම සිද්ධිය වුණේ. එදා මගේ උපන්දිනය යෙදි තිබුණා. අපි දෙන්නා පොඩ්ඩක් මත්පැන් පානය කළා. පස්සේ අපි දෙන්නා අත්දෙක අල්ලාගෙන පාළම දිගේ ආවා. මම පාලම උඩ සිට පැන්නා. ඉන්දික පාලම ඇතුලෙන් රිංගලා තමයි පැනලා තියෙන්නේ. ගඟේ මම පහලට ගසාගෙන යනවිට ඉන්දික එකපාරක් විතර යට ගියා. මම ඔහු සමග කථා කර කර ගියා පරක්කු වැඩියි උඹ ඉක්මන්ට වරෙන් කියලා. මම ගංගාවේ ඉවුර දිගේ ගිහින් ගොඩට ආවා. ඊට පස්සේ ඉන්දික යට ගියා. උඩට ආවේ නැහැ. පස්සේ දෙවැනි වතාවටත් ගංගාවට බැහැලා ඉන්දික කියලා කෑගැසුවා නමුත් ඉන්දික දැක්කේ නැති බවද මිතුරා කීවේය.

අතුරුදහන් වී ඇති පුද්ගලයාගේ සිරුර සෙවීම සදහා පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව මෙහෙයුමක් ආරම්භ කොට ඇත. ඇද හැලෙන ධාරාණිපාත වාර්ෂාව ඒ සඳහා දැඩි බාධාවක් වී ඇති බව පොලිසිය පවසයි. නාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment