අල්ලස් ගත් ජලසම්පත් ඉංජිනේරුවා අවුරුදු 3ක් හිරේ

101

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල සැපයුම් මාර්ගයකින් නීති විරෝධී ලෙස ජලය ලබාගත් පුද්ගලයකුට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා රුපියල් පනස්දහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් විසිපන්දහසක මුදලක් භාරගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කර එකී සිර දඬුවම වසර තුනක කාලයකින් ගෙවී යන ලෙස ලබාදීමට ඊයේ (30) නියෝග කළේය.

චන්ද්‍රසිරි බාලසූරිය නමැති එම ඉංජිනේරුවරයාට රුපියල් 45,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ සෙසු චෝදනා හතරකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියම කළේය. විත්තිකරු මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන බැවින් අවම දඬුවම් නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ අනුරාධා සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. මහාධිකරණ භාෂණ පරිවර්තක සුලෙයිමාන් මොහොමඩ් යාසීර් මහතා අධිකරණය නියම කළ දඬුවම් විත්තිකරුට කියවා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment