මොරොක්කෝව ක්‍රොඒෂියාව අද ලෝකඩ සටනට

237

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා එහි දී පරාජයට පත්ව ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වුණු ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද (17 වැනිදා) තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (17 වැනිදා) රාත්‍රී 8.30ට කටාර්හි කළීෆා ක්‍රීඩාංගණයේදී එම තරගය ආරම්භ වේ.

ක්‍රොඒෂියාව පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා එහිදී ප්‍රංශය අතින් පරාජයට පත්ව අනුශූරතාවය දිනාගත් කණ්ඩායම වේ.

මොරොක්කෝව අප්‍රිකානු කලාපයේ රටක් ලෙස පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරග වරම් ලැබූ පළමු රට වේ.

මොරොක්කෝව එම අවසන් පූර්ව තරගයේ දී ප්‍රංශය අතින්ද, ක්‍රොඒෂියාව සිය අවසන් පූර්ව තරගයේ දී ආර්ජන්ටිනාව අතින්ද පරාජයට පත් විය.

මොරොක්කෝව ක්‍රොඒෂියාව අද ලෝකඩ සටනට

ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව මෙම තරගාවලිය තුළ කෙතරම් දක්ෂ ලෙස ක්‍රීඩා කළේ ද යත් එම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ දී පළමු වරට පරාජයට පත්වූයේ අවසන් පූර්ව තරගයේදීය.

එමෙන්ම අවසන් පූර්ව තරගයට එන තෙක්ම තමන්ට එරෙහිව එක් ගෝලයක් හෝ වාර්තා කිරීමට ප්‍රතිවාදීන්ට ඉඩ ලබා නොදීම මොරොක්කෝ ක්‍රීඩකයන්ගේ සුවිශේෂී දක්ෂතාවය මොනවට පිළිබිඹු කරන්නකි.

කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත්ව තිබිණි.

එමෙන්ම ක්‍රොඒෂියාව සිය තෙවන තරගයද ජය පරාජයෙන් තොරව අවසන් කර ගෙන තිබුණු අතර මොරොක්කෝව පළමු තරගයෙන් අනතුරුව අඛණ්ඩව ජයග්‍රාහී ගමනක්ම පැමිණ තිබුණි.

එහෙත් අවසන් පූර්ව තරගයේ දී මොරොක්කෝවට ප්‍රංශය හමුවේ ගෝල 2-0ක පරාජයක් උරුම වූ අතර ක්‍රොඒෂියාවට ආර්ජන්ටිනාව හමුවේ ගෝල් 3-0ක පරාජයක් හිමි විය.

ඒ සමගම ඔවුන් ගේ ලෝක කුසලාන බලාපොරොත්තු ගිලිහී ගිය අතර අද තරගයෙන් ජයගෙන ලෝකඩ පදක්කමට උරුමකම් කීමට කණ්ඩායම් දෙකම වෙහෙසෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment