හෙන්රි ප්‍රියශාන්ත රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලේ

211

‘නව මඟක යන්නෝ’ හා රුක්මණී දේවී අනුස්මරණ සංගමයේ සභාපති මොරටුව ප්‍රාදේශීය මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මහතා මොරටුව නගරයේදී රිය අනතුරකට මුහුණපා බරපතළ තුවාල ලබා පානදුර රෝහලටත්, පසුව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලටත් ඇතුළත් කර ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.

ඒ මහතා 13 වැනිදා අවශ්‍යතාවයකට මොරටුව නගරයට පැමිණ ඇති අතර එහිදී ඔහු පාර මාරුවෙමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියකට හැපී ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

ඔහුගේ දකුණු පාදයේ වළලුකර ප්‍රදේශයට දැඩි හානි සිදු වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි හෙන්රි ප්‍රියශාන්ත මහතා පානදුර රෝහලට ඇතුළත් කළ බවත්, ඉන්පසු ඔහුට එහිදී ශල්‍යකර්මයක් සිදුකර ඇති බවත් පොලිසිය පැවසීය.

ඉන් අනතුරුව ඔහුව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට මාරු කර යැවූ බව ද පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන මොරටුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ශරීර ඇප මත මුදාහැර ඇතැයි ද පොලිසිය කියයි.

86 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රාදේශීය මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මහතා මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ 25 වැනි වාට්ටුවේ 42 වැනි ඇඳේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රැන්සිස් මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජිත් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

හෙන්රි ප්‍රියශාන්ත මහතා ඉතා අසරණ තත්ත්වයකින් පසුවන්නේය. ඔහුගේ දුරකථන අංකය 0779130724.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment