විස්සයි විස්සේ සුපිරි වටය අද ඇරැඹෙයි: ශ‍්‍රී ලංකාවේ පළමු තරගය හෙට

912

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය අද (23 වෙනිදා ) ආරම්භ වෙයි.

සුපිරි කණ්ඩායම් 12 වටය ආරම්භ කරමින් ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අද තරඟ බිමට පිවිසීමට නියමිත අතර අබුඩාබිහි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව.3.30 ට තරගය ආරම්භ කෙරේ.

සුපිරි කණ්ඩායම් 12 වටයේ

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට (24 වෙනිදා) බංග්ලාදේශය සමග පැවැත්වෙන අතර එම තරගය සාජා ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව.3.30ට ආරම්භ වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩයට අයත් අනෙක් කණ්ඩායම් වන්නේ ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප‍්‍රිකාව වේ.

සුදුසුකම් ලබීමේ තරග වටය සඳහා ‘එ්’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි පළමුවෙනියා ලෙස සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගත් අතර නැමීබියාව සහ අයර්ලන්තය යන කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් සුපිරි වටයට පිවිසීමට නිියමිතව සිටියේය.

සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලින් ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත් වූ අතර බංග්ලාදේශය එම කාණ්ඩයේ දෙවෙනි ස්ථානය හිමි කරගෙන සුපිරි වටයට පිවිසීමට අවස්ථාව උදා කර ගත්තේය.

සුපිරි 12 දෙනාගේ වටය යටතේ තරග 30ක් පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයෙන් එම තරගවලදී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.

සුපිරි කණ්ඩායම් අතර සටනේ දෙවෙනි කාණ්ඩය යටතේ තරග ආරම්භ කරමින් ඉන්දියාව සහ පකිස්තානය හෙට ඩුබායිහිදී තරග වැදීමට නියමිතය.

සුපිරි කණ්ඩායම් 12 වටය නොවැම්බර් මස 08 වෙනිදා නිමාවට පත් වේ.

සුපිරි 12 දෙනාගේ වටයේදී ශ‍්‍රී ලංකාව සහභාගි වන තරග

ඔක්තෝබර් 24 – බංග්ලාදේශයට එරෙහිව පස්වරු 3.30 ට සාජාහිදී

ඔක්තෝබර් 28 – ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පස්වරු 7.30 ට ඩුබායිහිදී

ඔක්තෝබර් 30 – දකුණු අප‍්‍රිකාවට එරෙහිව පස්වරු 3.30 ට සාජාහිදී

නොවැම්බර් 1 – එංගලන්තයට එරෙහිව පස්වරු 7.30 ට සාජාහිදී

නොවැම්බර් 4 – බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පස්වරු 7.30 ට අබුඩාබිහිදී

කුෂාන් සුබසිංහ සාජා සිට..

advertistmentadvertistment
advertistmentadvertistment