විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය සජිත්ට එක්වෙයි

45

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඊයේ (23 වැනිදා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.

දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය සජිත්ට එක්වෙයි

සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කටයුතු කළේය.

වසර 35ක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ඔහු අණදෙන නිලධාරී, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ලබා ඇත. 4 වැනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ත්‍රිකුණාමලයේ නගර අණදෙන නිලධාරි, 523 පාබල බලසේනාවේ ආඥාපති, සන්නාහ සන්නද්ධ බලසේනාවේ අණදෙන නිලධාරි සහ 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සාමාන්‍ය නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදාව තුළ පෑ දස්කම් සඳහා වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම පදක්කම ඇතුළුව සම්මාන සහ ප්‍රදානයන් කිහිපයකින් පිදුම් ලැබූවෙකි. ඔහු යුද හමුදාවට කළ සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම, රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර සැමරුම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම් ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.

පාසල් සමයේ සිටම දක්ෂ ක්‍රීඩකයකු වූ ඒ මහතා යුද හමුදාවේදී ක්‍රිකට්, රග්බි හා පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් විශිෂ්ට කුසලතා පෙන්වූ නිසා යුද හමුදා වර්ණ ද දිනා ගැනීමට හෙතෙම සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment