කදු නඟින්නන්ගේ සිහිනය ලකේගල

387

අඩි 4300ක් උඩ ක්‍රියාදාම චාරිකාව-02

කදු නඟින්නන්ගේ සිහිනය ලකේගල

ලකේගල, දුම්බර කඳු පංතියේ නැගෙනහිර පැත්තට වෙන්නට පිහිටා ඇත. උසින් මුහුදු මට්ටමේ සිට අඩි 4329 ක් පමණ සෘජු ලම්බාකාර මුහුණතක් සහිත අහසට නැගුණ උල්වූ මුදුනතක් ඇති යෝධ ත්‍රිකෝණාකාර ඛාදන ශේෂ පර්වතයකි. ගෞතම බුදුරජාණන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේ ලකේගල ගිරි ශිඛරය මත වම් ශ්‍රී පාදය සලකුණු කළ බව මීමුරේ ගැමියන්ගේ විශ්වාසයයි. රමණීය ලකේගල ගැන ජන කවියෙන් මෙසේ විස්තර කරයි

එපිට කොනට කළුපානා කැලේයා
මෙපිට කොනට ලග්ගල මීමුරේයා
දෙසිය දෙකක් උස ඇති ගෝඹරේයා
සොඳයි පරකාශ ලක මීමුරේයා

පාන්දර හතරට ඇහැරුණේ එලාම් එකේ සද්දෙටම නෙමෙයි. සීතල පරිසරයේ, අප නිදා සිටි බිමත් සීතල කරමින් වේගයෙන් ඇදී ගිය සුළඟ නිදා ගන්න දුන්නේම නැහැ. අද මගේ ජීවිතයේ තිබූ තවත් සිහිනයක් සැබෑ කරන්නා දවසක්. ඒ ශ්‍රී ලංකාවේ කඳු නඟින්නන්ගේ සිහිනය වූ ලකේගල නැගීමයි. වෙහෙසකාරී, අනතුරුදායී ගමනක්.

කොහොම වුණත් පෙරදා ලොජිත් රඹුක්වැල්ල කියපු පරිදිම පාන්දර පහ වනවිට සියලු දෙනා ලෑස්ති වෙලා ඉවරයි. ‘ද බෝඩර් ඇඩ්වෙන්චර්’ හි ජීප් රථයෙන් අපි සියලු දෙනා මීමුරේ, මී ගහ අසලට ගෙනැවිත් බැස්සුවා. එතැන් සිට අපි ගමන ආරම්භ කළා. වෙල්යාය ගාව රත්නායකගේ හඬට සියල්ලෝම නතර වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු පුහුණු උපදේශක ශාන් රත්නායකගේ අණට කීකරු වෙමින් කඳු තරණයට පෙර ශරීරය සූදානම් කර ගැනීමට විනාඩි දහයක ව්‍යායාමයක නිරත වුණා. පසුව සමූහ ඡායාරූපයක පෙනී සිටි සියලුම දෙනා ලොජිත්, චාමික සහ කසුන්ගේ සුබ පැතුම් මැද ලකේගල බලා පිටත් වුණා. මීමුරේට ලා හිරු කිරණ තවමත් වැටී තිබුණේ නැහැ. ඉදිරියේ ගමන් කළ ගුවන් හමුදාවේ ජයලත්ට අනුගත වෙමින් නිශාදි විික්‍රමසිංහ, පවිත්‍රා නිර්මාණි, තිළිණ ඒකනායක, තිළිණ බණ්ඩාර, පියුමි රණතුංග ඉදිරියට ඇදී ගියා. ගුවන් හමුදාවේම කිත්සිරිට පිටුපසින් ශාන්ති පෙරේරා, සමිත නිශාන්, ලහිරු සමරසිංහ, චමික සනොජ් අතොරක් නැතුව කතා කරමින් ඉදිරියට ඇදුනා. යාපනයේ සිට පැමිණි ගෝල්ඩන් නිමල්, අනුත්තරා ගුණසිංහ, ගිම්හානි කෞෂල්‍ය, ගිහාන් ඒකනායක සහ මටත් ඉදිරියෙන් ජගත් ගඟනගෙදරත්, පිටුපසින් ශාන් රත්නායක සියලු දෙනා උනන්දු කරමින් උස් හඬින් දිරි දුන්නා. කටු පඳුරු ඈත් මෑත් කරමින්, දිය කඩිතිවල ගල් මතින් පනිමින් සෑම දෙනාම ඉදිරියට ගියේ බීමට ගෙනා වතුර ලීටර් තුනක බර දරාගෙනයි. නැඟීම එන්න එන්නම වැඩි වනවිට හති හලමින් එකිනෙකා නවතිනවා. වතුර බෝතලය ගෙන තිබහ යන්න බොන්නම හිතුනත් පෙරදා දුන් උපදෙස් පරිදි වතුර උගුරකට පමණක් සීමා කරා. පැයක පමණ කාලයක් කැලෑව තුළින් ගමන් ගත්තා.

තෙත් කලාපීය වනාන්තරයක සතු සියලු ස්වභාවික තත්ත්වයන් මේ කැලෑව තුළත් තිබ්බා. කටු පඳුරු මෙන්ම අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු වැනි ගස්ද දැකිය හැකි අතර අංකෙන්ද, මීරිය, හණ, නහ, වරා, කරපිංච, පිහිඹිය, නෙලූ, ගැටපිච්ච, බූටියා, චීන, වල් වරකා, ගල්ඉද්ද සහ මන්දුන්කලා වැනි විවිධ පැළෑටිවලින් ද ඉරමුසු, වෙනිවැල්, පොහොන්, මානා වැනි ශාකයන්ගෙන්ද පරිසරය පුරා ස්වභාවික විවිධත්වයෙන් විචිත්‍ර කර තිබුණා. ලා හිරු රැස් ගස් අතරින් බිමට පතිත වූයේ ආලෝක කිරණ කදම්භයක් සේ අපූරු දර්ශනයන් මවා පාමිනි. දැන් අපිට කුඩැල්ලන්ගෙන් ගෙන දෙන කරදර වැඩි වෙමින් තිබුණා. ගමනේ මුල පටන් කූඩැල්ලන් එකිනෙකා එල්ලුනත් දැන් පොකුරු පිටින් අප ගමන් කරන මග රැකගෙන ඉන්නවා. කුඩැල්ලන්ගෙන් බේරීමට අපි සියලු දෙනා බෙහෙත් ගල්වාගෙන හිටියත් ඒවා මඟහැර ගනිමින් කූඩැල්ලන් ක්‍රියාත්මක වෙමින් තිබුණා. මේ ඝණ කැලෑව තුළින් කිලෝමීටර් 4 ක් පමණ ඇවිද ගිය පසු රන්වන් සූර්යාලෝකය හොඳින් වැටී තිබූ ගල්තලා මත සියලු දෙනා නතර වුණේ උදේ ආහාරයට. ගල්තලාව මත තිබුණු දිය පොකුණට මුහුණ හොවා වතුර බොන්නටත් මුහුණ සෝදන්නටත් උත්සුක වූයේ ඉහළින් ගලා එන පිරිසිදු සීතල වතුරවල ආශ්වාදය විඳිමින්ය. සියලු දෙනාගේ ගමන් බෑග්වල තිබුණු බර ගල්තලාව මතට දී මහන්සිය නිවා ගන්නා අතරේ ජයලත්, කිත්සිරි, රත්නායක, ජගත් උදේ ආහාර ලෑස්ති කළා. පැයකට අඩු විවේකයෙන් පසු නැවත ගමන පටන් ගත්තා. දැන් දැන් අංශක 45 ට වැඩියෙන් කන්ද ආනතයි. කන්ද පුරා ගල් කෑලි විසිරී තිබුණෙන්, ඉදිරියේ යන කෙනා පරිස්සමින් සීරුවට කන්ද නගින්නෙ ගල් කැබැල්ලක් හෝ පහළට පෙරළීමට නොහැකි වන ලෙසයි.

කිසිම අඩි පාරක්වත් නැති මෙම ගමන් මාර්ගය ලකේගල කිහිප විටක් තරණය කර ඇති මෙම කණ්ඩායම ඉවෙන් මෙන් ගමන් කළා. දැන් තවත් කන්දේ ආනතිය ඉතා වැඩියි. සියලු දෙනා හති ලමින් නැවත නවතින තැනක් බලමින් හිටියා. කළුගල්, කුඩා පඳුරු සහිත ඒ නැග්ම නතර වුණේ නැවතත් ගස් කොළන් පිරි ඒ අපූරුව සොබාදහමේ සෙවනක් යටයි. සියලු දෙනා බිම දිගා වෙමින් තිබහා සීමා කරගත්තේ වතුර උගුරකට පමණයි. අයෙක් ගෙනා රටඉඳි කමින් විනාඩි කිහිපයක් හති හරින විට රත්නායකගේ හඬ උස් වූයේ රැහැයියන්ගේ හඬ පරදවමිනි. මේ ගස්වැල් හෙවන යටින් කන්ද නැග්ගේ ගස් අතු, මුල්වල ආධාරයෙනි. නැවතත් පැමිණියේ විවෘත ප්‍රදේශයකටය. අහුවෙන අහුවෙන පඳුරු අල්ලාගෙන ඉදිරියෙන් යන මිත්‍රයාව අනිකා අනුගමනය කළා. උදෑසන නවය පමණ වන විට මට ඉදිරියෙන් පැමිණි මිත්‍රයන් ලකේගල පාමුලට ගිහින්. මට පිටුපසින් පස් හයදෙනෙක් එනවා. ලකේගල තරණය සඳහා ඊට අවැසි කඹ සහ ආම්පන්න කරේ තියා ගත් රත්තායක, ජයලත්, කිත්සිරි ලකේගල නගින්න පටන් අරං. ගුවන් හමුදාවේ සිටි, පුහුණුවලත් මේ කණ්ඩායම ළග ධෛර්යය, විශ්වාසය නොඅඩුව තිබුණා.

රත්නායක, ජයලත්, කිත්සිරිත් ලකේගල මුදුනට නැග්ගෙ ගෙදර යනවා වගේ. ඒ තරමට පුරුදුයි. අත්දැකීම් ඇති අය. දැන් උඩට ගනින්න කඹ ටික ලෑස්තියි. ජගත්, කඳු තරණයට අවශ්‍ය සියලුම ආරක්‍ෂිත මෙවලම් එකිනෙකාට ඇඳ ගැනීමට උපදෙස් දෙමින් ඒවා නියමාකාරව පැළඳුවාද කියා දෙවන වතාවටත් සැකහැර දැන ගන්නට වුවමනා වුණා. පළමු නැග්මේ කිත්සිරි ද, දෙවන නැග්මේ ජයලත් ද ස්ථානගතවෙලා. තුන්වන නැග්ම ඉතාම අමාරුයි. එතන රත්නායක භාර අරගෙන. දැන් උදේ දහයට පමණ ඇති. දැඩි අව්රශ්මිය ගල්තලාව මතටත්, අවට පරිසරයටත් මුදා හැර තිබුණා. මුලින්ම නිශාදි, තිලිණ බණ්ඩාර, නිර්මාණි, අනුත්තරා, ගිම්හානි, ගිහාන්, නිශාන්, ලහිරු පසුව මා සිටියා. මා මීට පෙර කඳු නැග තිබුණත්, මෙවැනි අමාරු කන්දක් නැග නැති නිසා හිතේ ආශාවක් මෙන්ම තිගැස්මකුත් තිබුණා. එකිනෙකාට හිමින් හිමින් අමාරුවෙන්, අමාරුවෙන් ඉහළට නගිනවා. පළමු සහ දෙවැනි නැවතුම දක්වාත් නැග්ම අමාරුයි. තුන්වැනි නැග්ම අංශක 80 කට වඩා වැඩි නැග්මක්.

ඒ නැග්ම අපිට තනියෙන් කඹයේ අල්ලාගෙන ඉහළට නැගීම අමාරුයි. එතැනදි ජයලත් ඒ නැග්මට උදව්ව සහ ආරක්ෂාවට තවත් කඹයක් එක් කළා. එක් කඹයකින් අපි නගින අතරේ අනිත් කඹයෙන් රත්නායක ඉහළට ඇද්දේ අපට ධෛර්ය ගන්න කෑගසමින්. අමාරුවෙන් රත්නායකගේ තැනට මම ආවා. ඉන් ඉහළට තවත් මීටර් 15 ක් පමණ මට ප්‍රථම ගිය හතර දෙනා, කඹයට සම්බන්ධ කර පිළිවෙළට ඉන්නවා. මමත් එම මීටර් 15 ඉහළ ගියේ මිත්‍රයන්ගේ අත්පොඩිය මැද්දේ. රත්නායකත් අප පිටුපසින් එම නැග්ම සමගත් ආවා. ඉහළ සිටි මේ මිත්‍රයන්ගේ වැලට මමත් එකතු වුණා. ඉන්න අමාරුම කෝණයක්. අංශක 80 ක් පමණ ආනත ගල්තලාවේ හිටගෙන ඉන්නවා. ඈත කඳු යායවල් වල ඉහළ මුහුණතවල් දැන් දැන් ඉතා පැහැදිලිව පෙනෙනවා. අව්ව දැඩිව රස්නය ගෙන දුන්නත් ඈත කඳු යායවල් හරහා ආ දැඩි සුළං පාරවල් අපේ විඩාව නිවුවා. ලකේගල කන්ද 80% ක් පමණ නැගලා ඉවරයි. ඉතිරි අවසාන නැග්මට පෙර ලඳු කැලෑවට ඇතුල් වී අනිත් මිත්‍රයන් එනතුරු ඉතා කුඩා වපසරියක සියලු දෙනා විඩා නිවා ගත්තා. දැන් සවස 2.00 කට පමණ ඇති. සියලු දෙනාම ඉහළට පැමිණ ඇති නිසා ජයලත් ඉදිරියට පැමිණ කන්දේ ඉතිරි ටික නගින්න ඉදිරියට ගියා. අපි සියලු දෙනා ජයලත් අනුගමනය කරමින් කඳු මුදුනටම ආවා. ශ්‍රී ලංකාවේ කඳු නගින්නන්ගේ සිහිනය සැබෑ ලෙස අත්විඳිමින් ඒ ජයග්‍රාහී මොහොත සතුට වින්දේ දෑත් ඉහළට ඔසවා කෑගසමින්.

ලකේගල කන්ද වටා කඳු යායවල්. කෙහෙල්පද්දොරුව, යහන්ගල, තුන්හිස්ගල, වමාරපුගල, අළුගල් කන්ද, තෙළඹුගල, නකල්ස් කඳු පංතිය හොඳින් පේනවා. තලගුණේ ඇල්ල නා ඇල්ල වගේම මී මුරේගම, උඩුදුම්බර, කලුගල ගම් ඈතින් පේනවා. ජගත් ගඟනගෙදර විස්තර කළේ දවසක ඒ කඳු ටිකත් තරණයට යෝජනා කරමිනි. එකිනෙක කඳු, එකිනෙකට පරයමින් ගස්වැල්වල වර්ණයෙන් දුර ප්‍රමාණවල් ඈත් මෑත් කරමින් නිල්වන් අහසට සුදු කෙඳි වලාකුළු එක් කළේ චිත්‍රයක් වගේ. සියලු දෙනා තම තමන්ගේ මතකයන්ට එක් කරගන්නට ඡායාරූප එකතු කරා. ඒ ලකේගල තරණය අමතක නොවන මතකයක් සේ තියා ගන්න. සියලුම මිත්‍රයන්ගේ සතුටින් පිරී ගිය මුහුණු.

ජයග්‍රාහී ගමනක අවසානය දැනුනත් නැවත් මීමුරේ පහළ දකින විට නැවතත් එච්චර දුරක් ගමන් කළ යුතු යැයි සිතුනා. සියලුම දෙනා උඩට ගෙනා වතුර බීලම ඉවරවෙලා. ඒතරමට රස්නෙයි. ලකේගල බැසීමේදී සීරුවට එකිනෙකා බැස්සෙ වතුර බිඳක් උගුරට හලා ගැනීමේ බලාපොරොත්තුවෙන්. අපි සියලු දෙනා ඉතා පරිස්සමෙන් කන්ද පාමුලට බැස්සුවා. කිසිම කරදරයක් නොවී මේ කණ්ඩායම අපිව පහළට ගෙනාවා. ඒක ඇත්තටම වගකීමක්. ඒ වගකීම, ඉවසීම උපරිමයෙන් තියාගෙන කළ බව පැහැදිලියි. (කඳු නැගීම පිළිබඳ කිසිම දැනීමක් නැති 13 දෙනකුට උදව් කිරීම ඉවසීම නැතිවන වැඩක්) පහළට එද්දී සවස 5.30 පමණ වුණා. සියලු දෙනා කඳු පල්ලම් බැස්සේ අතට අහු වෙන පඳුරු අල්ලා ගනිමින්. නගිනවා වගේම බහින එකත් ලේසි නැහැ. පොඩ්ඩ වැරදුන ගමන් රූටනවා. ඒ අල්ල පනල්ලේ හතරවටින් කළුවරත් වැටිලා. දැන් දැන් එකිනෙකා පේන්නෙ නැති මට්ටමේ. අපි ගෙනා විදුලි පන්දම් දල්වාගෙන එකිනෙකාට පිටුපසින් එකිනෙකා හෙමින් හෙමින් සීරුවට පල්ලම් බහිනවා. කිත්සිරිත්, රත්නායකත් පාර සොයා ගනිමින් ඉදිරියෙන් යනවා. දිව ගිලෙන වතුර තිබහට සහනයක් වුණේ උදේ ආහාරය ගත් පොකුණ දුටුවාමයි. පොකුණ ළඟ විනාඩි තිහක පමණ විවේකයෙන් පසු ඝන කැලෑව මැදින් මීමුරේ ගම ඉලක්කය ගනිමින් පිටත් වුණා. රාත්‍රී නවයයි තිහට පමණ මීමුරේ ගමට පැමිණියා. සියලුම දෙනා දැඩි වෙහෙසින් හිටියත්, ඒ වෙහෙස නිමා වුණේ අපි එනතුරු බලා සිටි ලොජිත්, චාමික සහ කසුන් අපිව උණුසුම්ව පිළිගැනීමෙන්. අද රෑ ගෙවල් බලා යෑමට සියලු දෙනාට සිදුව ඇති බැවින් එකිනෙකා ජීප් රථයට නැග්ගෙ නවාතැනට යෑමටයි. මාරුවෙන් මාරුවට ඇඟපත සෝදා ගත් සියලු දෙනා රාත්‍රී ආහාරය ගත්තා. කොළඹ සිට බයිසිකලයෙන් පැමිණි තිළිණ සහ බණ්ඩාර කොළඹ බලා පිටත් වුණා. අපි පැමිණි ආකාරයට ‘ද බෝඩර් ඇඩ්වෙන්චර්’ හී ජීප් රථයෙන් අලුයම 1.45 ට පමණ නුවරට පැමිණියා. යාපනය බලා පිටත්ව යන ගෝල්ඩනුත් වව්නියා බසයට ගොඩවුණා. අප අලුයම 2.30 ට කොළඹට ගමන් ගන්නා බස් රථයට නැග ගත්තේ ලොජිත් ප්‍රමුඛ ‘ද බෝඩර් ඇඩ්වෙන්චර්’ හී සියලුම මිත්‍රයන්ට සමුදීමෙනි.

ඡායාරූප සහ සටහන
හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment