වෝල්ට් 33000ක් වදින කරන්ට් බිලක්

97

නව බද්දෙනුත් ජනතාවට වදින විදුලිසර

අයි.එම්.එෆ්.යෝජනාව 30%ක්

කැලණිතිස්ස ආයෙත් කැඩුණාද?

නැවත වතාවක් විදුලි බිල ඉහළ දැමීමට සිදුවන බවට වාර්තා වේ. ඒ බව පසුගියදා මාධ්‍ය හමුවකදී කාංචන විජේසේකර ඇමැතිවරයාම පැවසූහ. මේ සූදානම් වන්නේ බදු බර ජීවන වියදම ආදී සියල්ල ඉහළ ගොස් කරවටක් ගිලී සිටින ජනතාවට තවත් බර පැටවීමකි. මෙය ලියන අප ඇතුළු කිසිවකුටත් ලක්‍ෂයක පඩියක් හිමි නොවේ. ලක්‍ෂයක් තබා පනස් දහසට වඩා ඉහළ වැටුප් ලබන්නේද බොහෝ සුළු පිරිසකි. ලංකාවේ රාජ්‍ය සේවයේද පෞද්ගලික අංශයේද, කර්මාන්ත තුළ නිරත පිරිසගේද ස්වභාවය එයයි. ලක්‍ෂයකට වඩා වැඩි වැටුපක් ලබන කෙනෙක් හෝ ඊට ආසන්න වැටුපක් ලබන කෙනෙකුට වුවත් විදුලි බිල වැඩිවනවා යැයි කියන කරුණ දරාගත නොහැක. මන්ද මේ වනවිට පනවා ඇති බදු ගෙවා අවසන් වනවිට දැන් පවතින බිලද ගෙවාගත නොහැකි තත්ත්වයක පවතී. අප මේ සත්‍ය තත්ත්වය සාකච්ඡා කළයුත්තේ මෙතැන සිටය.

පසුගිය කාලයේ විදුලි බිල වැඩිවීම

අවසන් වතාවට විදුලි බිල වැඩිවී තවමත් මාස 2ක්වත් ගෙවීගොස් නැත. එවර වැඩිවූයේ 75% ක සාමාන්‍ය අගයකිනි. නමුත් එය වෙන් වෙන්ව ගෙන බැලුවහොත් ඒකක 30 දක්වා භාවිත කරන පිරිසට 264% කිනුත් ඒකක 60 දක්වා 211% කිනුත් ඒකක 90 දක්වා භාවිත කරන පිරිසට 125% කිනුත් ඒකක 120 දක්වා 89% කිනුත් සහ ඒකක 120 ට වඩා භාවිත කරන පිරිසට 79% ක් වශයෙනි. මීට අමතරව පුණ්‍ය ස්ථානවල බිලද දරාගත නොහැකි ආකාරයෙන් වැඩිවිය. ඒ 300% කිනි.

කෙසේ වෙතත් ගියවර විදුලි බිල වැඩිකරන අවස්ථාවේ බලශක්ති ඇමැතිවරයා සඳහන් කළේ එම මිල වැඩි කිරීමත් සමග මණ්ඩලයේ පාඩුව පියවාගත හැකි බවයි. ජනතාව මේ වනවිට අමාරුවෙන් හෝ විදුලි බිල ගෙවන්නේ තවත් වසර ගණනාවක් යන තුරු විදුලි බිලෙහි වැඩිවීමක් සිදු නොවනු ඇතැයි සිතාය. නමුත් පසුගියදා මාධ්‍ය හමුවේදී බලශක්ති ඇමැතිවරයා පැවසුවේ විදුලිබිල ඉහළ දැමීමෙන් පසුවද රුපියල් බිලියන 12 ක පාඩුවක් ලබන බවයි.

සමාජ ආරක්‍ෂණ බද්ද

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා මෙන් විදුලි බිලෙන් වෝල්ට් 33000ක් වැදී කම්පනයෙන් සිටි මිනිසුන්ට යළිත් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ සමාජ ආරක්‍ෂණ බද්ද මගින්ද විදුලි බිල 2.5්‍ර කින් වැඩි කෙරිණි. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම මුදල් අමාත්‍යාංයෙන් වැඩි නොකරන ලෙස ඉල්ලා ඇතත් ඊට අනුකූලතාවක් දක්වා නැත. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමද සිය අවසරය ලබාදී ඇති අතර පසුගිය 18 වැනිදා සිට එය ක්‍රියාත්මක අතර කර්මාන්ත, සංචාරක, ඉදිකිරීම් ඇතුළු අංශ කීපයක් සඳහා මෙය බල නොපායි.

අයි. එම්. එෆ් යෝජනා

සමාජ ආරක්‍ෂණ බද්දෙනුත් බැට කා සිටින ජනතාවට යළි වතාවක් මෙරට විදුලි බිල 30% කින් ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තාවල පළවිය. ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා කර ඇති ඩොලර් මිලියන 2.9 ණය මුදල ලබාදීමට පෙර මෙය ක්‍රියාත්මක කරන ලෙසත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙසත් යෝජනා කර ඇත. එසේම බලශක්ති ඇමැතිවරයා විසින් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත්කළ අතර ඔවුන් විසින් සකස් කළ අදාළ යෝජනා අඩංගු වාර්තාව බලශක්ති ඇමැතිවරයාට ලබාදී ඇත. එය බලශක්ති ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට හේතු

විදුලිබල මණ්ඩලය හැමදාමත් මෙතරම් පාඩු ලැබීමට හේතු ලෙස කාරණා කීපයක් දැක්විය හැක. නමුත් හැමදාමත් හේතු හොයනවා විනා ඊට පිළියම් යොදන බවක්නම් නොපෙනේ.

නිෂ්පාදන වියදම අධිකවීම

මින් ප්‍රධාන වන්නේ නිෂ්පාදන වියදම් අධික වීමයි. ජලය උපයෝගී කරගෙන විදුලි ඒකකයක් නිපදවීමට රු.4.17 ක් වැයවෙද්දී පෞද්ගලික තාප බලාගාරවලින් නිපදවන විදුලි ඒකකයක් මිලට ගන්නේ රු.67.15 කටය. ගල් අඟුරු වලින් නිපදවන විදුලි ඒකකයක් රු.31.19 ක් වේ. මේ සියල්ලේ එකතුවෙන් නිපදවන විදුලි ඒකකයක මිල අද වනවිට රු.32 ක් පමණ වේ.

සේවක අතිරික්තය

එසේම පාඩු ලැබීමට සේවක අතිරික්තය මෙන්ම සේවකයන්ගේ ඉහළ වැටුප්ද බලපා ඇත. පත්වන හැම ඇමැතිවරයෙක්ම ඉවක් බවක් නැතිව මෙවන් ආයතනවලට සේවකයන් පත්කරයි. සමහර අංශ වලට සේවකයන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දෙතුන් ගුණයක් සිටී. විශේෂයෙන්ම සටහන් කළ යුත්තේ කොපමණ සේවකයන් සිටියත් අද වනවිට බොහෝ කාර්යයන් (ගස්වල අතු කැපීම, ලයිට් කණු සිටුවීම) සිදු කරනුයේ පෞද්ගලික අංශයට කොන්ත්‍රාත් දීම මගිනි. මේ කොන්ත්‍රාත් ලබාගන්නා බොහෝමයක් මණ්ඩලයේ ඉහළ නිලධාරීන් හෝ දේශපාලනඥයන්ගේ හිතවතුන්ය.

ඉහළ වැටුප්

එසේම විදුලිබල මණ්ඩල සේවක වැටුප්ද ඉතා ඉහළය. අවදානම් රැකියා කරන අංශ සඳහා ඉහළ වැටුපක් ගෙව්වාට කිසිදු ගැටලුවක් නැත. නමුත් බොහෝ විට මේ ඉහළ වැටුප් ලබන්නේ කාර්යාලවල පුටු රත්කරන නිලධාරීන්ය. එසේම සමහර සේවකයන් රාජකාරි කටයුත්තකට යොමුවන්නේ රාජකාරිය අවසන් වීමට ආසන්නවය. එවිට එම රාජකාරිය නිමවනතුරු අතිකාල ලබාගත හැක.

බලාගාර ඉදි නොකිරීම හා නිලධාරි මාෆියාව

එමෙන්ම විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට නිසි කලට ජනන සැලසුම් ක්‍රියාත්මක නොකිරීම සහ හිතාමතා බලාගාරවල ජලය මුදාහැරීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියාද බලපා ඇත. වැසි කාලවල නඩත්තු කටයුතු ආරම්භ කිරීම මින් ප්‍රධාන වේ. නිලධාරි මාෆියාවද මණ්ඩලයේ පාඩුවට බලපායි. නිලධාරීන් බලධාරීන් සමඟ සම්බන්ධ වීම නිසා පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතාද බොහෝය. මේ නිසාද මණ්ඩලයට සිදුවූ පාඩු පිළිබඳවද පසුගිය කාලයේ අනන්තවත් වාර්තා විය.

හිතුවක්කාරී තීරණ

නොරොච්චෝලේ තුන්වන බලාගාරය අක්‍රියවීමත් සමඟ ජාතික පද්ධතියට අහිමි වූ විදුලිය සපයා ගැනුනේ කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය මගිනි. හදිසි අවශ්‍යතාවකදී මෙගාවොට් 110 ක විදුලි ජනනයක් සහිත මෙය ක්‍රියාත්මක කරනුයේ දින 585කට පසුවය. විදුලිබල මණ්ඩල තාක්‍ෂණ ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ නිශාන්ත මහතා පවසන්නේ එහි පැවැති කාර්මික දෝෂය නිවැරදිව හඳුනාගෙන පිළියම් කිරීමකින් තොරව කටයුතු කර ඇති බවයි. එසේ නොකරන ලෙස ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් හා පළපුරුද්ද ඇති කණ්ඩායම් විසින් පෙන්වා දෙනු ලැබීය. නමුත් ඒ කිසිවක් ගණනකට නොගෙන හිතුවක්කාරී ලෙස ක්‍රියාත්මක කිරීම නිසා දින 3 ක් තුළ යළි බිඳවැටී ඇත්තේ බෙයාරිං කොටසක්ද විනාශ වී යෑමෙන් බව ඒ මහතා පවසයි. එසේම ඔවුන් පවසන්නේ මේ වනවිට ගුවන් මගින් අමතර කොටස් ගෙන්වා රහසිගතව මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට සූදානම් වන බවකි. මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා බලාගාරයට ආකාර කිහිපයකින් හානි සිදුවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මේ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 40 කි. එය එක් අතකින් පාඩුවකි. යන්ත්‍රය තුළ කැඩුණු බෙයාරින් කොටස් ඔයිල් සමඟ මිශ්‍රවී පැවැතිය හැක. නව කොටස සවිකිරීමෙන් පසුව පැරණි කොටස් පැවතියහොත් අලුත් කොටස්ද කැඩී යා හැක. පවතින ඔයිල් මාරු කිරීම සඳහාද අති විශාල මුදලක් වැයවේ. ගියවර යන්ත්‍රය අක්‍රිය වූ අවස්ථාවේ එය යථා තත්ත්වයට පත්කිරීමට රුපියල් මිලියන 50 ක් වැයවී ඇත. මෙවර මිලියන 40 කි. මෙවරවත් නිසි ආකාරයෙන් නඩත්තු කටයුතු සිදු නොකළහොත් රුපියල් මිලියන 90 ක් අපතේ යයි. මේ ආකාරයෙන් විනාශ වී යන්නේ මහජන මුදල්ය. මෙම බලාගාරය ක්‍රියාත්මක වන්නේ පිරිපහදුවේ අතුරු ඵලයක් වන නැප්තා වලිනි. එසේම මෙරට නැප්තා මගින් ක්‍රියාත්මක එකම බලාගාරය මෙන්ම හදිසි අවශ්‍යතාවකදී විදුලි ජනනයට ඇති තාක්‍ෂණයෙන් ඉහළම බලාගාරයද මෙයයි. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික ධම්මික විමලරත්න මහතා පවසන්නේ කැලණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීම නිසා එහි ජනන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවයි.

නිෂ්පාදන වියදම අඩු කර ගත නොහැකිද?

විදුලි ඒකයක් නිපදවීමට වැයවන මුදල අඩු කරගත හැකි නම් මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ කරමත මෙතරම් බරක් පැටවෙන්නේ නැත. ඒ සඳහා ඇති හොඳම විකල්පය වන්නේ නව පුනර්ජනනීය බලශක්තියයි. දින 365 පුරාම හොඳින් හිරු එළිය ලැබෙන රටක් නිසා මෙරටට සූර්යාලෝකය මගින් පහසුවෙන්ම විදුලිය නිපදවා ගත හැක. සෑම නිවසකම වහලය මත මෙන්ම රාජ්‍ය ආයතනවල මෙන්ම දැඩි හිරු එළියක් පතිත වන වියළි කලාපයේ සූර්ය පැනල ගම්මාන පිහිටුවිය හැක. තමන්ගේ නිවසට අවශ්‍ය විදුලිය හෝ මේ මගින් නිපදවිය හැකි නම් මේ තරම් බරක් මිනිසුන් පිට පැටවෙන්නේ නැත.

පුනර්ජනනීය බලශක්තිය මෙරට ජාතික විදුලිබල සැපයුමෙන් සියයට 60-70 මට්ටමට ළඟාවිය හැකිනම් මණ්ඩලයට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ටද ඉමහත් සහනයක් වනු ඇත. පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් පැවති ගැටලුද පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් නව නීති සමගින් ඉවත් වූ බව බලශක්ති ඇමැතිවරයා පැවසීය. සම්ප්‍රේෂණ පද්ධතියේ ගැටලු පවතීනම් ඒවාද ඉක්මනින් විසඳා ගැනීම බලධාරීන් සතු වගකීමකි. පසුගිය අවධියේ දී අපට මුහුණ පාන්නට සිදු වූ විවිධ හේතු නිසා දීර්ඝකාලීන ජනන සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබීම සත්‍යයකි. නමුත් විශේෂඥ දැනුමැති පිරිසක් විසින් අධ්‍යයනය කර සකසන දිගුකාලීන ජනන සැලසුමක් මගින් අඩු පිරිවැයකින් විදුලිය නිපදවීම කෙරෙහි පක්‍ෂ විපක්‍ෂ සෑම දෙනාම ආණ්ඩුව තල්ලු කළ යුතුය. එය අද විපක්‍ෂයේ සිටින උදවියටත් මතු දිනයක මහඟු ආයෝජනයක් වනු ඇත.

මේ සඳහා නිලධාරීන් බාධා කරයි නම් ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නොබියව ඊට මුහුණදීම ආණ්ඩුව සතු කාර්යයකි. ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි ජනතාව විරුද්ධ නොවනු ඇත. ජනතාවට බරක් නොවන තැනට ඉක්මනින් මේ ආයතනය පත් නොකළහොත් ණය ලබාගන්නා වාරයක් පාසා විදුලි බිල වැඩිවනු ඇත. ජනතාව විදුලියට එරෙහිව අවි අමෝරාගෙන එන දවස වැඩි ඈතක නොවනු ඇත. පසුගිය කාලයේ බලශක්ති ඇමැතිවරයාත්, මහා සංඝරත්නයත්, මහජන උපයෝගිතා කොමිසමත් අතර මත ගැටුම් මෙන්ම දැඩි ජනතා විරෝධයක් එල්ල වූයේද මේ අර්බුදයේ බරපතළකම නිසාය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment