නිහතමානී නායකයා ඉන්දීය මාධ්‍යයේ ඇගයුමට

1709

1996 දී ශ්‍රී ලංකාව ඕවර 50 ලෝක කුසලානය දිනන විට දසුන් ශානක පස් හැවිරිදි වියේ පසුවිය. එම ජයග්‍රාහී රාත්‍රියේ විශේෂත්වය හෝ තම දෙමාපියන් සහ අසල්වැසියන් මීගමුවේ පාරට පැන සමරන්නේ කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. “එහි වැදගත්කම තේරුම් ගැනීමට මා කුඩා වැඩියි” දසුන් කියයි. “ඒත් මමත් උත්සවයට සම්බන්ධ වුණා, කවුරුහරි මට කිව්වා හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා මට පසුදා පාසලට යන්න අවශ්‍ය නැහැ කියලා.” ඔහු තම අසල්වැසි ප්‍රදේශයේ සහ පාසල්වල ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ ළමුන් දැක ඇති නමුත් ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමට තරම් වයසක නොවීය. එබැවින් ඔහු සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයකු වන තම මාමාගේ සරණ සොයා ගියේය. මාමා සමග සෙල්ලම් කරන අය දැවැන්ත හයේ පහරවල් එල්ල කරනු බලා සිටියේ අසාවෙනි. “මගේ සිහිනය ආරම්භ වූයේ එතැනින්, මටත් පන්දුවට තදින් පහරදෙන්න අවශ්‍ය වුණා. මගේ හය පහර ගැන ඉව ලැබුණේ එතැනින් ඔහු කියයි.

එයින් දශක දෙකහමාරකට පසු, ඔහු තම සිහිනය සැබෑ කරමින්, ක්‍රීඩාවේ සුපිරි හයේ පහරවල් එල්ල කරන්නෙකු ලෙස ලොව පුරා කීර්තියට පත්ව තිබේ. ඔහු පුනේ හිදී පන්දු විස්සකින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ අතර එයට හයේ පහර හයක් ඇතුළත් විය. එය ලංකා පිතිකරුවෙක් පන්දුවාර විස්සේ තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි. අනතුරුව ඔහු එක් දින ශතකයක් ලැබීය. ඔහු 20-20 තරගවල මුහුණ දෙන සෑම පන්දු එකොළහකටම හයේ පහරක් සහ සෑම නවවන පන්දුවට හතරේ පහරක් ද එල්ල කරයි. (එනම් ඔහු මුහුණ දෙන සෑම පන්දු පහකටම හතරේ හෝ හයේ පහරක් එල්ල කරයි.) ඔහු අයිපීඑල් තරගාවලිය සඳහා වෙන්දේසියේදී අලෙවි නොවීය. එය අභිරහසක්, ඔබ ඔහුගේ පන්දු යැවීම, පන්දු රැකීම සහ නායකත්ව යෝග්‍යතාවයෙන් නොදක තිබේද? නමුත් ඔහු දිගටම හයේ පහරවල් ගසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත හයේ පහරවල් එල්ල කළ අය හා ඔහු වෙනස් ය. සනත් ජයසූරිය සහ ඔහුගේ පැරණි මිතුරා වන රොමේෂ් කළුවිතාරණගේ දැවැන්ත ප්‍රහාර වෙනස්ය. මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර පන්දු යවන්නන්ගේ වේගය හා ශක්තිමත් මැණික් කටුවෙන් ප්‍රහාර එල්ල කළෝය. තිසර පෙරේරා සිය ශක්තියෙන් හයේ පහර එල්ල කළේය. දසුන් කාල තුනක් දකී. සංගක්කාර-ජයවර්ධන කාලය, පෙරේරාගේ බලය සහ ජයසූරිය සහ කළුවිතාරණගේ හයේ පහර මානසිකත්වය යන තුන් කාලයයි. තම හයේ පහර පිටුපස ඇති විද්‍යාව පැහැදිලි කිරීමට ශානකටම වචන නොමැත. “එය මට ස්වභාවිකවම එනවා, මම බොහෝ දේ වෙනස් කිරීමට උත්සාහ කර නැත. මම දන්නේ මම හයේ පහරවල්වලට කැමතියි සහ මම හයේ පහරවල් එල්ල කරන බව පමණයි” ඔහු පවසයි.

නිහතමානී නායකයා ඉන්දීය මාධ්‍යයේ ඇගයුමට

සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔප්නැංවූ තාක්ෂණය ඔහුගේ ප්‍රහාරවලින් ප්‍රකට වේ. ඔහු අංශක 360 හයේ පහරක් එල්ල කරන ක්‍රීඩකයකු නොවේ. ඔහුගේ හයේ පහරවල් බොහෝමයක් ලෝන්ග් ඕෆ් සිට ඩීප් මිඩ් විකට් දක්වා කලාපයට ඉහළින් පියඹා යයි.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ඔහු අද දක්වාම නොබිඳුණු හයේ පහර වාර්තා පිහිටුවා තිබේ. එසේම සිංහල ක්‍රීඩා සමාජය හා සම්බන්ධ වූ විට, ක්‍රිස් ගේල්ට පසුව එක් තරගයකදී වැඩිම හයේ පහරවල් 16ක් එල්ල කිරීමේ වාර්තාව පිහිටුවා ඇත. එහෙත්, ඔහු අවතක්සේරුවට ලක්කරන ලද පිතිකරුවෙකි. සමහර විට එය තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ප්‍රක්ෂේපණය කිරීම නිසා විය හැකිය. 2016 වසරේ ලීඩ්ස්හිදී එංගලන්තයට එරෙහිව ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදී ලකුණු නොදී කඩුලු 3ක් දවාගත් විට ක්‍රිකට් ලෝකය ඔහුව මුලින්ම දුටුවේය.

සමහර විට දසුන් විසින්ම ඔහුව අවතක්සේරු කර ඇත. ඔහු මෝටර් රථ සහ රාත්‍රී සාද, විසිතුරු විලා හෝ නළු පෙම්වතියන් පසුපස ගියේ නැත. දසුන් තම පාසල් පෙම්වතිය සමඟ විවාහ විය. ඔහු තමන්ගේ මහිමය අන් අයට හරවා යවයි. ඔහුගේ හොඳම හෝරාවේදී පවා, ඔහු තම කණ්ඩායමට ආසියානු කුසලාන ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ විට, ඔහු වේදිකාවෙන් ඉවත් වී, භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග වැනි අයව පෙරමුණට තල්ලු කළේය. නිහතමානීකම ඔහුගේ විශිෂ්ට ගුණාංගයකි. අර්ජුන රණතුංගගේ හා සංගක්කාරගේ නායකත්වයට වඩා ශානකගේ නායකත්ව විලාසය වෙනස්ය. ඔහු අර්ජුන රණතුංග මෙන් ගැටුම්කාරී නොවේ, සංගක්කාර මෙන් චරිතාංග නොවේ. නමුත් දෙදෙනාම මෙන් ඔහු තම ක්‍රීඩකයන්ගෙන් හොඳම දේ පිටතට ගෙන එයි. මීට මාස කිහිපයකට පෙර ආසියානු කුසලානය දිනාගෙන තිබියදීත්, 20 -20 ලෝක කුසලානයේ දී ඔවුන් යටපත් වූ විට මෙන්, කණ්ඩායම තවමත් සංක්‍රමණය වෙමින්, අවිනිශ්චිත ස්වරූපයකට ගොදුරු වෙයි. නමුත් ඔහු බලාපොරොත්තු සුන් වූ කණ්ඩායමක් එකතුකර ඉහළට ඔසවා ඇත.

මීට වසර දෙකහමාරකට පෙර ඔහු වැඩ භාර ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අවුලක තිබුණේය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පාලක මණ්ඩලය සමඟ වැටුප් ආරවුලක පැටලී තිබිණි. එහෙත් ශානක තණතිල්ලෙන් පිටත ඇති වූ කලබැගෑනියෙන් නොසැලී සිටි අතර කණ්ඩායමේ න්‍යෂ්ටිය බවට පත්වනු ඇතැයි ඔහු සිතූ ක්‍රීඩකයින් තම උපරිම සහයෝගය ලබා දුන්නේය. ඔහු රාජපක්ෂව නැවත කණ්ඩායමට කැඳවා, කුසල් මෙන්ඩිස්ගේ අඳුරු කාලයේදී ඔහුට සහය දුන්නේය. පැතුම් නිශ්ශංක සමඟ විශ්වාසය තැබීය. හසරංග සහ මහීෂ් තීක්ෂණ ශක්තිමත් කර ලෝකයේ දක්ෂ දඟ පන්දු යවන්නන් බවට පත් කළේය. කෙසේ වෙතත්, ඔහු දැඩි ය. ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයේ පරාජයෙන් පසු ඔහු තම පිතිකරුවන්ගේ පහර තේරීම ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ඔහු වරක් තරඟයක් අතරතුර පුහුණුකරු මිකී ආතර් සමඟ වාදයක නිරත විය. නමුත් පසුව දකුණු අප්‍රිකානුවා විසින්ම ඔහුව වර්ණනා කර ඇත. “දසුන් තමා ගැන විශාල විශ්වාසයක් තබා කණ්ඩායම සවිබල ගැන්වීම විශේෂත්වයකි. ඔහු තම කාර්ය සාධනය, පුහුණුව සහ පුහුණුවීම් සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙන අතර ඔහු සමඟ ගමනට ක්‍රීඩකයින් රැගෙන යෑමේ හැකියාව ඇත’ යනුවෙන් ඔහු අයිලන්ඩ් පුවත්පතට පවසා තිබිණි. මේ දසුන්ට දක්ෂ නායකයකු ලෙස මෙන්ම ඔහුගේ පිතිකරණ දක්ෂතාවයට නිසි පිළිගැනීම ලැබෙන කාලයයි. සමහර විට ඉදිරියේදී විශාල කොන්ත්‍රාත්තුවක් ඔහුට ලැබෙනු ඇත.

(“Sri Lanka’s captain Dasun Shanaka “the Negombo Nailer” deserves respect මැයෙන් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පළවූ ලිපිය ඇසුරෙනි.)

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment