ප්‍රමෝද්‍යගෙන් දෙවැනි ප්‍රශ්න කිරීම අද

123

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබැස්ම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බව සඳහන් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අදාළ දෙවෙනි කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද (27 වැනිදා) යළි කැඳවීමට නියමිතය.

තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාළ කාරණය සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා පළමු වරට ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි.

එහිදී පැය හතරහමාරකට ආසන්න කාලයක් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එහි නිලධාරීහු කටයුතු කළහ.

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සමඟ එදින විශේෂ විමර්ශන ඒකකය වෙත ගිය තේරීම් කමිටු සභාපතිවරයා අද දිනයේ ද ලක්තිලක මහතා සමග ඒ සඳහා සහභාගි වීමට නියමිතය.

අද පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා කාලය ඇතුළත ඒ සඳහා පෙනී සිටින ලෙස තේරීම් කමිටු සභාපතිවරයාට දැනුම් දී ඇතත් රාජකාරි කටයුතු මත එම වේලාව ඊට මදක් පමා කර ගැනීම සඳහා අවසර ලබාගත් බවද නීතිඥ ශිරාල් ලක්තිලක මහතා “දිවයින” ට පැවසීය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා පසුගිය 21 වැනිදා සිදු කරනු ලැබූ ප්‍රකාශයේ එක් කොටසක් පමණක් බවත්, ඉතිරි කොටස ලබා ගැනීම සඳහා ඔහු අද යළි කැඳවන බවත් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment