මහ බැංකුව වෙන ලෝකෙකද?

714

මහ බැංකුව සහ රාජ්‍ය ගැන අර්ථකථනය

නව මහ බැංකු පනත අනුව මහ බැංකු වාර්ෂික වාර්තාව වෙනුවට නිකුත් වූ වාර්ෂික ආර්ථික විවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පෙරේදා (07) බරපතල කතාබහක් ඇතිව තිබේ. මේ අනුව මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා විසින් මහ බැංකුව නිකුත් කර තිබෙන වාර්ෂික ආර්ථික විවරණයෙන් මහ බැංකුව සහ රාජ්‍ය වෙනස් ආකාරයට අර්ථ දක්වා ඇති බවට අදහස් දක්වා ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන ලෙස ද පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා (07) ඉල්ලා සිටිනු දක්නට ලැබිණි. එවැනි වර්ගීකරණයක් කිසිසේත් සිදුකළ නොහැකි අතර අදාළ වාර්තාව අනුව කැබිනට් මණ්ඩලය කිසිදු කාර්යභාරයක් සිදු කර නොමැති බව මෙන්ම වැඩකර ඇත්තේ මහ බැංකුව පමණක් බවට හැඟීමක් ඇති වන බවද මහාචාර්ය චරිත හේරත් මහතා පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය තිබෙන්නේ චරිත හේරත් මන්ත්‍රීවරයා කියන පරිදි එම වාර්තාව මගින් මහ බැංකුවයි රාජ්‍යයයි දෙකක් ලෙස අර්ථ දක්වා තිබේ ද යන්නයි.

මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි චරිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙසේ ද අදහස් දක්වා තිබිණි.

‘මහ බැංකුව සිය වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තා දෙක අතර බරපතළ පරස්පරතා තිබෙනවා. මහ බැංකු ආර්ථික විවරණයේ භාෂාවත් වැරදියි. ඒ වාර්තාව අර්ථ දක්වන්නේ මහ බැංකුවයි රාජ්‍යයයි දෙකක් කියලා. එවැනි වර්ගීකරණයක් කළ නොහැකියි. එලෙස අර්ථ දක්වන්නේ නම් එම වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍යයත් නැහැ. වාර්තාවට අනුව වැඩ කරලා තියෙන්නේ මහ බැංකුව විතරයි. කැබිනට් මණ්ඩලය කිසිවක් කරලා නැහැ.’

මහ බැංකුව වෙන ලෝකෙකද?

මහ බැංකු විවරණ වාර්තාව

චරිත හේරත් පවසන පරිදි මේ මහ බැංකු විවරණ වාර්තාවේ මහ බැංකුව සහ රාජ්‍ය දෙකක් ලෙස අර්ථ දක්වා ඇත්තේ කුමන කොටසින් ද යන්න අපට පැහැදිලි නැත. මේ වාර්තාවේ ‘සමස්ත සාරාංශය’ යන කොටස කියවන ලෙස ද ඔහු සඳහන් කර තිබුණි. එහි දෙවන වාක්‍ය පටන් ගන්නේ රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද යනුවෙන් බව ද ඔහු සඳහන් කර ඇත. රජය සහ මහ බැංකුව යන යෙදුමෙහි ඇති වරදක් අපට නම් නොපෙනේ. බොහෝ විට රජය සහ මහ බැංකුව යන යෙදුම අප විසින් මෙන්ම තවත් බොහෝ අය විසින් ද භාවිතා කරනු ලබයි. එයින් මහ බැංකුව යනු රජයෙන් වෙන් වූ වෙනම ආයතනයක් බවක් අදහස් වන්නේ ද? අප නම් සිතන්නේ කිසිසේත්ම එසේ අදහස් නොවන බවයි. ඒ අනුව මෙවර මහ බැංකු විවරණ වාර්තාවේ ‘සමස්ත සාරාංශය’ යන කොටසෙහි මෙසේ සඳහන් වේ.

‘නිදහසෙන් පසු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් අනතුරුව 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කළේය. ආර්ථිකයේ පාර්ශ්වකරුවන් කෙටිකාලීනව දුෂ්කරතාවලට මුහුණ දුන්න ද, රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද තීරණාත්මක ප්‍රතිපත්ති ගැළපුම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් සාර්ව ආර්ථික ස්ථායිතාව යළිත් බොහෝ දුරට ස්ථාපිත කිරීම සඳහා සහාය සැපයිණි.’

රජයේ සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති

මෙහි රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද වශයෙන් රජය සහ මහ බැංකුව යන්න දෙකක් ලෙස සඳහන් වුවත් මින් මහ බැංකුව යනු රාජ්‍ය ආයතනයක් නොවන බවක් හෝ මහ බැංකුවයි රාජ්‍යයයි යන්න දෙකක් ලෙස හෝ අර්ථ දක්වා තිබෙන බවක් නම් අපට නොපෙනේ. මේ නිසා අපට නම් සිතෙන්නේ චරිත හේරත් පවසන පරිදි මේ මහ බැංකු විවරණ වාර්තාවේ මහ බැංකුව සහ රාජ්‍ය දෙකක් ලෙස අර්ථ දක්වා තිබේය යන්න ඔහුගේම අර්ථකථනයක් (හිතළුවක්) මිස මහ බැංකුවේ අර්ථකථනයක් නොවන බවයි. චරිත හේරත්ගේ මේ අදහසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ දී නැගිට හූමිටි තියන අයුරුද දක්නට ලැබිණි. කෙසේ හෝ මේ මහ බැංකු විවරණ වාර්තාවේ කුමන සඳහනකින් එසේ මහ බැංකුව සහ රාජ්‍ය දෙකක් ලෙස මහ බැංකු වාර්තාව මගින් අර්ථ දක්වා තිබේ ද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුව තිබේ. එහෙත් චරිත මන්ත්‍රීවරයා කියන දෙය අපට නම් එතරම් පැහැදිලි නැත. මේ වාර්තාවේ ‘සමස්ත සාරාංශය’ යන කොටසෙහි රජය සහ මහ බැංකුව ලෙස සඳහන් වීම තේරුම් ගත යුතු වන්නේ කෙසේ ද? මෙහිදී අප නම් තේරුම් ගන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය යන දෙකයි. එම ප්‍රතිපත්ති දෙක පැහැදිලිව රජය සහ මහ බැංකුව විසින් වෙන වෙනම ක්‍රියාත්මක කරනු ලබයි. ඒ නිසා එම ප්‍රතිපත්ති අනුව රජය කරන දේවල් තිබේ. මහ බැංකුව වෙනම කරන දේවල් තිබේ. මේ නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය යන දෙක ක්‍රියාත්මක වන්නේ රජයෙන් සහ මහ බැංකුවෙන් වෙන වෙනම මිස එකට නොවන බව ද අප තේරුම් ගත යුතුය. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් ඉදිරියේදී ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන්නේ නම් මහ බැංකුවේ ආර්ථික විවරණ වාර්තාවෙන් ඇත්ත වශයෙන්ම අදහස් කර ඇත්තේ කුමක් ද යන්න පැහැදිලි කරගත හැකිය.

මහ බැංකුවේ මුදල්

මහ බැංකුව ස්ථාපිත කර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් මගිනි. මේ නිසා මහ බැංකුව යනු රාජ්‍ය ආයතනයකි. එය ස්වාධීන ආයතනයක් කීවත් එය රජයේම කොටසකි. එසේම මහ බැංකුවේ මුදල් යනු රාජ්‍ය මුදල් (public finance) මිස වෙන දෙයක් ද නොවේ. මේ නිසා මහ බැංකුව විසින් සිය සේවකයන්ට වැටුප් ලෙස ගෙවන මුදල් ද අයත් වන්නේ රාජ්‍ය මූල්‍යයටම ය. ඒවා බදු ගෙවන ජනතාවගේ මුදල් නොවන බව වෙනම කතාවකි. මේ නිසාම රාජ්‍ය මූල්‍ය යනු රජයේ ඒකාබද්ධ අරමුදලේ ඇති මුදල්වලට පමණක් සීමා වූවක් නොවේ. රාජ්‍ය මූල්‍ය යනු ඊට වඩා පුළුල් දෙයකි. අප නම් සිතන්නේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කර ඇත්තේ රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව සිය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පමණි. මහ බැංකු පනත මගින් අනෙක් රාජ්‍ය ආයතනවලට වඩා ස්වාධීනතාවක් මහ බැංකුවට ලබා දී තිබුණත් මහ බැංකුව යනු කිසිසේත්ම රජයෙන් විනිර්මුක්ත වූ ආයතනයක් නොවේ. රජය නැත්නම් මහ බැංකුවක් ද නැත. රජය යනු මහජනතාවයි. ඒ නිසා මහ බැංකුව කරන කියන දේ සම්බන්ධයෙන් මේ රටේ මහජනතාවට වගකිව යුතු වේ. ජනතාව ආර්ථික පීඩාවේ අධික වේදනාවෙන් සිටිද්දී, එසේම රටේ ජනයාගෙන් සියයට 25 කට අධික ප්‍රමාණයක් කෙටි කලක් තුළ දුප්පත්කමට ඇද වැටී සිටියදී එමෙන්ම රට තවමත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙර දරමින් සිටියදී මහ බැංකුවේ අය පමණක් ඒ ගැන නොතකා තමන් විසින්ම අධික වැටුප් වැඩි කර ගැනීමට එරෙහිව අප කතා කරේ ද මේ පසුබිම තුළය.

ස්ථීරසාර ස්ථායිතාවකට…

තවමත් රට මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින් රට දැනට සැලසුම් කර ගමන් කරමින් තිබෙන මාවතෙන් ඉවත්වීම සඳහා කිසිදු අවකාශයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවේ සඳහන් වේ. මේ නිසාම ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම (වෙනස් කිරීම) ආර්ථිකය නැවතත් අස්ථායි තත්ත්වයට ඇද වැටීමට හේතුවනු ඇති බවද මහ බැංකු විවරණ වාර්තාවේ සඳහන් වේ. ‘ස්ථීරසාර ස්ථායිතාව’ මැයෙන් මහ බැංකුව පෙරේදා (07) පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී. කොළඹ මහ බැංකු මූලස්ථානයේදී පැවැති මේ මාධ්‍ය හමුවේ දී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීවේය.

‘මේ කියන දෙයින් අදහස් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ ඒ තියෙන දිශාවටම ඒ මාර්ගයේම ගියොත් තමයි මේ ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථායිතාව ස්ථීරසාර ස්ථායිතාවක් බවට පත්කර ගත හැක්කේ කියන එකයි. ඒ සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, අයි.එම්.එෆ්. වැඩසටහන යටතේ රජය බැඳී සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ යනාදිය ඇතුළත් වෙනවා. ඒ වැඩපිළිවෙළ තියෙන දිශාවටම ගමන් කිරීම ස්ථීරසාර ආර්ථික ස්ථායිතාවක් ඇතිකර ගැනීම සඳහා ඉතාම වැදගත් වෙනවා.’

මේ කියන්නේ දේශපාලන කතාවක් ලෙස ද ඇතැමෙකුට පෙනී යෑමට ඉඩ තිබේ. මේ කියන්නේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම නැවත බලයට පත්කරගත යුතු බවක් යැයි ද ඇතැමකුට පෙනී යෑමට ඉඩ තිබේ. එහෙත් මේ කියන්නේ එවැනි කතාවක් නොවේ.

දැනට රජය විසින් අයිඑම්එෆ් වැඩසටහනකට ඇතුළත්ව රටේ ඇති වූ බලවත්ම ආර්ථික හා විනිමය අර්බුදයෙන් මිදීම සඳහා වන ගමනක් ආරම්භ කර තිබේ. මේ නිසා අප සිතන්නේ කවර රජයක් බලයට පත් වුවත් එම අයිඑම්එෆ් වැඩසටහනේ එකඟතා ප්‍රකාරව එම ආර්ථික ප්‍රතිසංස්කරණ රාමුව තුළ කටයුතු කිඊමට සිදුවනු ඇති බවයි. එනම් මේ කියන්නේ දැනට අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්ති දිශානතිය ගැනයි. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අප ගමන් කරන ප්‍රතිපත්ති දිශානතිය ඉදිරි මැතිවරණයකින් බලයට පත්වෙන කවර රජයකට වුවද අනුගමනය කිරීමට සිදුවනු ඇති බවයි. ඒ බව මහ බැංකුව සිය වාර්ෂික ආර්ථික විවරණයේ මෙසේ සඳහන් කර ඇත.

ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම

‘ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම (එනම් ප්‍රතිපත්ති වෙනස් කිරීම) ආර්ථිකය නැවතත් අස්ථායි තත්ත්වයට ඇද දැමීමට හේතුවනු ඇත. එහෙයින් ප්‍රතිපත්ති ආපසු හැරවීම හා ඒ හේතුවෙන් ඇතිවෙන ආර්ථික පසුබෑම වළක්වා ගැනීම සඳහා පුළුල් දේශපාලන හා සමාජයීය එකඟතාවයක් මත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අතිශයින් තීරණාත්මක වන අතර තිරසාර වර්ධනයක් තුළින් පොදු ජනයාගේ සුබසාධනය ඉහළ නැංවීම එමගින් සහතික කෙරෙනු ඇත.’

මේ නිසා ඉදිරි මැතිවරණවලින් රාජ්‍ය බලයේ වෙනසක් සිදු වුවත් ඒ බලයට පත්වෙන කවර කණ්ඩායමකට වුව ද ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ ක්‍රියාවලියට අනුගතව කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ බව මහ බැංකුව මෙසේ කියයි.

‘මේ දක්වා ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම මත ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වීම රඳා පවතින අතර, මෙම ක්‍රියාවලියෙහිම කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම ඉතා වැදගත් වේ.’

එහෙත් මින් අනාගත රජයකට අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර මේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි යම් යම් වෙනස්කම් සිදුකරගත නොහැකිය කියා දෙයක් නැත. ඒ ගැන අනාගත රජයකට සාකච්ඡා කළ හැකිය. අයිඑම්එෆ් එක සමග නව එකඟතා ද ඇතිකරගත හැකිවනු ඇත. එහෙත් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති දිශානතිය වෙනස් නොකර අනුගමනය කිරීමට සිදුවනු ඇති බව මෙහි පුළුල් අදහසයි.

මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන ක්‍රියාවලියේ ඇති වැරදි හෝ අඩුපාඩු කිසිවක් නිවැරදිය කියා ද මින් අදහස් නොවේ. ඒවා නිවැරදි විය යුතුමය. ඒ ගැන කිසිම සැකයක් නැත. අයිඑම්එෆ් වැඩසටහනට අමතරව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රජයට වෙනම සැලසුම් හා උපායමාර්ග ද තිබිය යුතු වේ. ඒ ගැන අප මීට පෙර ද සඳහන් කර ඇත. මේ මහ බැංකු විවරණ වාර්තාව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට මහ බැංකු අධිපතිවරයා විසින්

පිළිගන්වන ලද්දේ ඉකුත් අප්‍රේල් 25 වැනිදාය. එහෙත් මේ විවරණ වාර්තාව ගැන මාධ්‍ය හමුව පැවතියේ ඊට දින ගණනාවකට පසුව 2024 මැයි 07 වැනිදාය. එනම් දින 11 කට පමණ පසුවය. එහෙත් මේ ලියුම්කරු දන්නා අතීතයේ සිට නම් සාමාන්‍යයෙන් මුදල් ඇමැතිවරයාට මහ බැංකු වාර්තාව පිළිගැන්වීමෙන් පසුව එදිනම මාධ්‍ය හමුවක් (මේ කියන්නේ මහ බැංකු වාර්තාව ගැන පවත්වන සම්මන්ත්‍රණ හෝ වෙනත් සාකච්ඡා ගැන නොවේ.) පවත්වා මාධ්‍යවේදීන්ට මහ බැංකු වාර්තාවේ පිටපත් ලබාදීම සිදුකරනු ලබයි. එය මෙවර සිදු වූයේ නැත. එය මෙසේ බොහෝ ප්‍රමාද වී කළ යුතු දෙයක් නොවන බව ද අපි මහ බැංකුවට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment