වතු සමාගම් ඩොලර්වලින් ලාභ ලබද්දී කාර්ය මණ්ඩලවලට වැටුප් වර්ධක දෙන්නේ නෑ

104

වැවිලි සමාගම් තේ අපනයන කරමින් ඩොලර්වලින් ලාභ ලබමින් සිටියදී වසර තුනකට වරක් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ලබාදීමට එකඟ වූ වැටුප් වර්ධක ලබාදීමට මැලිකමක් දක්වනවා යැයි ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා පැවසීය.

වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර වසර තුනකට වරක් වැටුප් වැඩිකිරීමේ එකඟතාවයක් පවතින බවත් මෙවර සියයට 45ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි බව ෆ්‍රැන්සිස් මහතා කීය. එහෙත් වතු හාම්පුතුන් වැටුප් වර්ධක වසරකට සියයට 08 බැගින් වසර තුනකදී සියයට 24 ක් වැඩි කිරීමට එකඟ වුවත් එය ද මේ වසරේ ගෙවීමට හාම්පුතුන් මගහරිමින් සිටින බවද ඔහු කීය.

පවතින ආර්ථික අර්බුද හමුවේ වතු කාර්ය මණ්ඩලයට ලැබිය යුතු වැටුප් වර්ධක නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ඒ මහතා කීය. මේ වනවිට වතු ආශ්‍රිත කරගෙන යන විරෝධතා පවත්වන බවත් එයට යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගකට එළඹෙන දින වකවානු තීරණය කරන බවත් ඒ මහතා කීය. වතු කාර්ය මණ්ඩලයේ අවම වැටුප රුපියල් 28,440ක් බවත් උපරිම වැටුප රුපියල් 38,880ක් බවත් කී ෆ්‍රැන්සිස් මහතා මෙවැනි මුදලකින් රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ ජීවත් වීමට නොහැකි බවත් කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment