ළමා – පිළිකා – හෘද රෝගී බෙහෙත් හිඟයි

148

ළමා, පිළිකා, හෘද, රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බවත් මේ වන විට ඖෂධ මිල සියයට තුන්සියයකින් හාරසියයකින් පමණ වැඩි වී ඇති බවත් සමස්ත ලංකා බටහිර ඖෂධ තොග බෙදා හරින්නන්ගේ සංගමයේ ලේකම් රවි කළංසූරිය මහතා පවසයි. ඖෂධ හිඟය මෙන්ම ඖෂධ මිල විශාල වශයෙන් වැඩිවීම නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් මේ අවස්ථාවේ දී ඖෂධ ආනයනකරුවන් ද බොරදියේ මාළු බාන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවත් රවි කළංසූරිය මහතා පවසයි.

ගාල්ලේ ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය. ඔහු මෙසේ ද කීවේය.

ඖෂධ මිල රෝගීන්ට දරා ගන්න බැහැ. ඖෂධ නියාමන අධිකාරියක් තිබුණාට වැඩක් නැහැ. ඖෂධවල මිල පාලනයක් නැහැ. වෙනදා රුපියල් 500ට ගත්තු බෙහෙත් තුන්ඩුවේ බෙහෙත් ගන්න රුපියල් 2500ක් අවශ්‍ය වෙනවා. විශ්‍රාමිකයන්ට මාසික බෙහෙත් ටික ගන්න ලැබෙන විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නැහැ. මේ වන විට විශ්‍රාමිකයන් විශාල පිරිසක් බෙහෙත් ගැනීම අත්හැර දමලා. ඖෂධ හිඟයට රජය කිසිදු පියවරක් අරගෙන නැහැ. රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශවල ඖෂධ නැහැ. පෞද්ගලික අංශයෙන් ඖෂධ මිල දී ගැනීමේ දී රෝගීන් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් තියෙනවා. ළමා රෝගීන්ට ලබා දෙන ඖෂධ නැහැ. පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ග නැහැ. පිළිකා රෝගීන් මරණයට ලක්වෙමින් ඉන්නවා. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග මෙන්ම ශල්‍ය උපකරණ නැහැ. ඖෂධ හිඟයට කෙටි කාලීන, දිගු කාලීන විසඳුමක් නැහැ. අවශ්‍ය වෙලාවට

රෝගීන්ට ඖෂධ නැහැ. යුද්ධයට නැති කඩුව කොස් කොටන්න ද වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට ද ප්‍රමාණවත් පරිදි ඖෂධ නැහැ. පෞද්ගලික ඔසුසල්වලින්වත් මිලදී ගන්න ඖෂධ නැහැ. අක්ෂි කාචවල මෙන්ම අක්ෂි රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ගවල හිඟයක් තියෙනවා. ඖෂධ නීතිගත සංස්ථාව අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 15 ක්වත් ගෙන්වන්නේ නැහැ යැයි ද රවි කළංසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment