ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව අපව එක්තරා විදිහකට සසල කළා – අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර

446

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ දෙවැනි දියණිය වූ මහා පරාර්ථකාමී කැපකිරීමක් කරමින් දිවි ගමන නිමා කළ ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලබමින් දෙස් විදෙස් චිත්‍රපට උළෙල වලදී ඉහළ ඇගයීම් ලැබූ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර නිෂ්පාදනය කර අධ්‍යක්‍ෂණය කළ සම නිෂ්පාදනයෙන් අමිල අබේසුන්දර දායක වූ ‘ආසු’ චිත්‍රපටය එම් පී අයි සමාගමට අයිති සිනමාශාලා ඇතුළුව සිනමාශාලා ගණනාවකම මේ දිනවල ප්‍රදර්ශනය වේ. සංජීව පුෂ්පකුමාර සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි

හිටපු කථානායකගේ දෙවැනි දියණියගේ ජීවිත කතාව පාදක කරගෙනයි ‘ආසු’ නිර්මාණය වෙන්නේ?

ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව අපව එක්තරා විදිහකට සසල කළා - අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර

මට 2021 දී මැලේසියාවත්, සිංගප්පූරුවත්, ලොස්ඇන්ජලීස් නුවරත් ප්‍රධාන කරගෙන තිබෙන චිත්‍රපට නිෂ්පාදක සමාගමක් විසින් ආරාධනාවක් කළා, ඔවුන්ට මැදි වෘතාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කියලා. ඒක එක්තරා විදිහක ව්‍යාපෘතියක්. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තා ආසියානු කලාපයේ සිනමාකරුවන් විසිදෙනෙක්. ප්‍රධාන වශයෙන් මේකෙ තේමාව වුණේ ආසියානු කලාපයේ මනුෂ්‍ය සමාජයේ තිබෙන සාරධර්ම පදනම් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කාර්යය තමයි අපිට පැවරුවේ.

ඉතිං ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව අපව එක්තරා විදිහකට සසල කරවපු කතාවක්. බොහෝ අය දැනසිටි කතාවක්. නමුත් මට කවදාවත් අදහසක් තිබුණේ නෑ, ඒ කතාව පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මේ ආරාධනාව ලැබුණට පස්සෙ මම ඒ සඳහා සූදානම් වුණා.

පිටපත ලිව්වෙත් ඔබම ද?

මම ඊට ගැළපෙන විදිහේ තිර රචනාවක් නිර්මාණය කළා. ඒකට වසරක පමණ කාලයක් ගතවුණා. තිර රචනාවට උපදෙස් ලබා දුන්නෙත් මැලේසියානු තිර රචනා උපදේශකයෙක්. චිත්‍රපටයේ තිර රචනාව සංවර්ධනය කරල සම්පූර්ණයෙන් චිත්‍රපටය රූගත කළා. අවසානයේ මම ඒ සමාගම සමග එකඟතාවකට ආවා, මේ චිත්‍රපටය කරන්න අවසර දෙන්න කියලා. එතැනින් පසුවයි ‘ආසු’ චිත්‍රපටයක් බවට නිර්මාණය වෙන්නේ.

හිටපු කථානායක කරූ ජයසූරිය මහත්මයා මේ චිත්‍රපටය නරඹලා ඔබට මොනවද කිව්වේ?

ඒ අය ඉතාමත්ම කැමතියි චිත්‍රපටයට. සාමාන්‍යයෙන් තව කෙනකුගේ ජීවිත කතාවක් පදනම් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කළහම හැම වෙලාවෙම බොහෝ පාර්ශ්වයන්ගෙන් එල්ල වෙන්නේ චෝදනාවන්. එක්කෝ මේ චරිතය හරියට නිරූපණය වුණේ නැහැ. එහෙමත් නැතිනම් මේ චරිතය විකෘති වෙලා තිබෙනවා කියලා චෝදනා තමයි එන්නේ. අපි ඉන්දිරා ජයසූරිය මහත්මියගේ කතාව ගත්තේ, සම්පූර්ණයෙන්ම ඉන්දිරා ජයසූරිය මහත්මියගේ කතාව ප්‍රතිනිර්මාණය කිරීමට නෙමෙයි. ඇයගේ කතාව පාදක කරගෙන නව්‍ය චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. එතකොට අපි වැඩිපුරම බැලුවෙ ඉන්දිරා ජයසූරියගේ කතාවේ එන හරයට හා එහි ඇගයුම් වලට හානියක් නොවන ආකාරයට මේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමටයි. චිත්‍රපටය දැක්කට පස්සෙ කරූ ජයසූරිය මහත්මයා සහ ඔහුගේ වැඩිමහල් දියණිය ලංකා දිසානායක මහත්මිය සතුටට පත්වුණා. ඉන්දිරාගේ ආත්මය මේ චිත්‍රපටය ඇතුළෙ තියෙනවා. ඔවුන් අදටත් චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටිනවා.

ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව අපව එක්තරා විදිහකට සසල කළා - අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර

ඉන්දිරා ජයසූරියගේ චරිතය නිරූපණය කරන්න ඔබ තෝරා ගත්තේ උදාරි වර්ණකුලසූරිය. ඇයි ඒ?

ඒකට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවා. එකක් තමයි අපි මේ චරිතය කරන්න උදාරිට කලින් තෝරා ගත්තේ වෙනත් නිළියන් කිහිපදෙනෙක්. අවස්ථා කිහිපයකදීම අපිට සිද්ධ වුණා කිහිපදෙනෙක්ම අත්හදා බලන්න. එතැනදි වුණ දේ තමයි ඔවුන් රංගන ශිල්පීන් විදියට දක්‍ෂ අය වුණාට ඒ අයට මේ චරිතය නිරූපණය කිරීම සඳහා තිබෙන අපහසුතාවය. අවසානයේ අපි තීරණය කළා උදාරිව ගන්න.

එතකොට උදාරිව ගන්න බලපෑ ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් ඇගේ බාහිර පෙනුම. මේ චරිතය බාහිර වශයෙන් විශාල ලෙස වේෂ නිරූපණයට ලක්වෙනවා. බාහිර ස්වරූපයෙන් වෙනස්වන වෙනස්වීම් ප්‍රේක්‍ෂකයාට විශ්වසනීය ලෙස ගොඩනඟන්න පුළුවන් පෙනුමක් තියෙන්නෙ උදාරිට තමයි.

දෙවැනි එක තමයි මේ චරිතය වෙනුවෙන් අභ්‍යන්තර සම්මතයන් ගොඩක් තිබෙනවා. ඒවා නිරූපණය කරන්න පුළුවන් අධ්‍යක්‍ෂවරයා සමග සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. අධ්‍යක්‍ෂවරයාට ඇහුම්කන් දෙන නිළියක් අපට අවශ්‍ය වුණා. එතැනදී මම උදාරි එක්ක කතා කරනකොට මට තේරුණා එයාට නිළියක් විදියට හොඳ චරිතයක් කරන්න විශාල ආසාවක් හා කැමැත්තක් තිබෙන බව. ඒ හින්දා ඇය ඇහුම්කන් දෙන්න පුරුදුවෙලා තිබුණා. එතකොට මට පුළුවන් වුණා මට අවශ්‍ය දේ ඇය තුළින් උකහා ගන්න. මේ කරුණු මම දැක්ක හින්දයි ‘ආසු’ චිත්‍රපටයේ නෙළුම්ගේ චරිතයට උදාරිව තේරා ගත්තේ. මම හිතනවා මගේ බලාපොරොත්තුව සාර්ථක වුණා කියලා.

● දිනේෂ් විතාන

ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව අපව එක්තරා විදිහකට සසල කළා - අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර
advertistmentadvertistment
advertistmentadvertistment