මගේ පරිසර දැනුම මම නවකයන්ට බෙදාදෙනවා

132

ප්‍රවීණ පාරිසරික ඡායාරූප ශිල්පී සහ පරිසරවේදී – දිනුෂ නානායක්කාර

මගේ ජීවිතේම බයිසිකලේ වෙලා තිබුණු තරුණ කාලයක් තමා මට තිබුණේ. මගේ ඒ බයිසිකල් පැදීම ගැන පසුගිය සතියේ කතා කළා. ඒක පොඩිකාලේ ඉඳලම මට තිබුණු ආශාවක්. ඒ ආශාව මම උපරිමයෙන් වින්දා. තාත්තා මගේ අධ්‍යාපන කටයුතු පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කළා වගේම අම්මා තමයි මගේ බාහිර කටයුතු වෙනුවෙන් දිරි දුන්නේ. ඉතිං මම ඒ කාලේ ඉඳලම බයිසිකල් පැදීම අතින් ලංකාවේ නොගිය පළාතක්, නොගිය දිස්ත්‍රික්කයක් නෑ. අම්පාර, යාපනය, මුලතිවු, කතරගම, මඩකළපුව, ත්‍රිකුණාමලය බදුල්ල, බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න, කැබිලිත්ත වගේ තැන්වලටත් බයිසිකලෙන්ම පැද්දා. ලංකාවේ දිස්ත්‍රික්ක 25 ටම මම බයිසිකල් පැදලා තියනවා. මගේ Nikon Studio ස්ටාෆ් එකත් එක්ක තමයි මේ බොහෝ ගමන් බයිසිකල්වලින් ගියේ. කොහොම හරි කාලයත් එක්ක ඊට පස්සෙ මට “ජීප්” පිස්සුවක් හැදුණා. ඒ වෙනකොට මම වයිල්ඩ් ලයිෆ් පැත්තට නැඹුරු වෙලා හිටපු නිසයි ඒ ආසාව ඇති වුණේ. ජීප් එකක් ගත්ත එකත් හෙණ කට්ටක් කාපු කතාවක්. කොහොමහරි අබලන් වුණු, වෙන්දේසි කරපු “ලෑන්ඩ් රෝවර්” එකක් ගෙනල්ල හදල, “මොඩිෆයි” කරල පළවෙනි ජීප් එක හදාගත්තා. ඒ වෙනකොට මම “වයිල්ඩ් ලයිෆ්”වලට ආසයි. පොඩි කාලෙ අපි කොහොමත් තාත්තත් එක්ක ඇවිදින්න යනවා. මට මතකයි 1990 විතර එහෙම ගිය පළමු යාල ටි්‍රප් එකේදීම අලි, කොටි, වලස්සු ඇතුළු සියලුම සත්තු අපි පොඩි දුරකදී දැක්කා. එදා අපි තල්ගස්මංකඩ බංගලාවේ හිටියේ. මේවගේ අත්දැකීම් ලබල තිබුණු නිසා මොන තරම් වෙඩින් කළත් වන ජීවී ඡායාරූපකරණයට මට පුදුම ආසාවක් තිබුණේ. මොකද ඒ වෙනකොට කැමරා බඩුත් මා ළඟ තියනවා. ජීප් එකත් තියනවා. ලොකු වෙඩින් එකක් කරලා, විවේකයටත් එක්ක අපි ස්ටුඩියෝ එකේ සෙට් එක යාල, විල්පත්තුව, උඩවලව වගේ කොහේ හරි වනෝද්‍යානයකට අදිනවා. වෙඩින්වලින් සල්ලිත් එනවා. ඔහොම තමයි මේ පරිසර ජීවිතේ මම පටන් ගත්තේ. මගේ පළවෙනි ස්ටුඩියෝ එක මම පටන් ගත්තේ 2000 වසරේදී. ස්ටුඩියෝ කිහිපයක්ම මම කළා. දැන් මගේ ස්ටුඩියෝ එක ජා-ඇල රියල්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනවා. මේ ෂොප් එක අරින්න මම ඉතාම ගරු කරන තවත් ඡායාරූප ගුරුවරයකුට එදා ආරාධනය කළා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකර මහත්මයා. මම ඉතාම ගරුකරන කෙනෙක්.

“මමත් මගේ Nikon Studio ඡායාරූප ශාලාවත් වෙඩින්වලින් සෑහෙන නමක් දිනාගත්තා වගේම, ව්‍යාපාරිකයකු ලෙසත් මම ජා-ඇල, වත්තල පැත්තේ සෑහෙන දියුණුවක්, නමක් ලබාගත්තා. මංගල උත්සව 3700 ක් පමණ මා මේ වන විට කරලා තිබෙනවා. එක දවසට වෙඩින් 11 කරලා තියනවා. නමුත් මේ ජයග්‍රහණ සියල්ලම පාහේ මම මුතුරාජවෙල සටන වෙනුවෙන් පරිත්‍යාග කළා. මම වසර හතරක් සියල්ල අතහැර දමා මුතුරාජවෙල වෙනුවෙන් ව්‍යාපාර පමණක් නෙමෙයි මා බොහෝ ආදරය කරන මගේ බිරිඳ දරුවා සහ දෙමාපියන්ද අමතක කර මට තෝරාගන්න දෙකක් තිබුණා. එකක් මගේ මමත්වය. අනෙක පරිසරය. හුස්ම දීපු පෙණහැල්ලට හුස්ම දෙන්න මට පුළුවන් වුණා. එයට මා පමණක් නෙවෙයි බොහෝ අය වෙහෙසුනා. මම එයට දුන්නේ මහා නායකත්වයක්. කියන්න සංතෝසයි ආර්ථික වශයෙන් බොහෝ කඩා වැටීමකට ලක් වූවත් මුතුරාජවෙල බේරාගත් මේ දැවැන්ත සටනේදී මගේ කෙස් ගහකට වත් හානියක් වුණේ නෑ. දැන් මම ආපහු ස්ථාවරත්වයක් හදාගෙන මගේ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යනවා. මම දැන් ඉතාමත් සන්තෝෂයෙන් කාලය ගත කරනවා. ගොඩක් ලියනවා… කියවනවා.. කවි ලියනවා… පාසල්වල දරුවන්ට පරිසරය ගැන, සතා සිව්පාවා ගැන දේශන දෙනවා. ළඟදීම පොත් කිහිපයකුත් එළිදක්වනවා. නැතිවුණු සියලු දේ සොබාදහම් මාතාව මට මේ වන විට ඊටත් වඩා දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන්ගෙන්, සොබාදහමෙන් මට ලැබෙන ආරක්ෂාව ගැන මම දැන් හොඳටම දන්නවා. ඒ පිටුපස සිටින යෝධ සෙවනැළි තමයි තාත්තා වගේම මගේ ආදර බිරිඳ මහීෂා පෙරේරාත්, දුව ටාෂියා නානායක්කාරත්. ඇත්තටම මුතුරාජවෙල බේරාගැනීමේ ප්‍රශ්නයේදී මේ හැමෝම තර්ජනයට ලක්වුණා. මම තර්ජනයට ලක්වුණා. මට වෙඩි තිබ්බා. බොරු චෝදනා දාලා මාව අත්අඩංගුවට ගන්න හැදුවා. නමුත් සත්‍ය ජයගත්තා. දැනට නම් මුතුරාජවෙල බේරගන්න අපට පුළුවන් වෙලා තියනවා. මම සතුටු වෙනවා මුතුරාජවෙල කියල දෙයක් තියනවා කියල ලෝකයට එළිදරව් කරන්න මට හැකි වුණා. “කොටින්ම කියනවා නම් කැමරාව නිසා මම ලෝකය දිනුවා” දිනූෂ නානායක්කාර නම් මේ අපූරු පරිසරවේදියා, පාරිසරික ඡායාරූප ශිල්පියා නිහතමානීව එහෙත් නෙතට කඳුළක් නංවාගෙන පවසන්නේ පසුගිය කාලයේදී මුතුරාජවෙල රකින්නට යෑමේදී ඔහු වින්ද ගැහැට ගැනය.

පරිසරය රකින්න ගිහින් බොහෝ දේවල් මට නැති උනාට මට සතුටුයි. මම රට වෙනුවෙන්, උපන් ගම වෙනුවෙන් දෙයක් කරලා තියනවා. දැන් මම නැවතත් ස්ථාවර වෙලා මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. තාත්තා තාමත් මගේ පසුපසින් ඉඳගෙන මට ආශීර්වාද කරනවා. මගේ බිරිඳ සියලු ශක්තිය මට දෙනවා. දුවගේ ආදරය, සෙනෙහස මැද අපි අපේ කැදැල්ලේ සුන්දරව ජීවිතය විඳිනවා. තාමත් එදා වගේම කැලේ, කොළේ, වනෝද්‍යානවල ඇවිදිනවා. ෆොටෝ ගහනවා. සමාජ සේවා කටයුතුවල නිරතවෙනවා. ඔහොම තමයි ජීවිතේ. හැබැයි හැම දේම මම, අපේ කණ්ඩායම පිළිවෙළකට තමයි කළේ. වෙඩින් එකක් කළත් අපේ කණ්ඩායමට යුනිෆෝම් එකක් තිබ්බා. ටි්‍රප් එකක් ගියත් සුදුසු, එකම ජාතියේ නිල ඇඳුමක් ඇන්දා. කණ්ඩායම් හැඟීමක්, ටීම් වර්ක් එකක් අපේ කණ්ඩායමට තිබ්බා. වැස්සද, ගංවතුරද කියල අපි සැලකුවේ නෑ. භාරගත්ත වැඩේ කවර බාධක තිබුණත් අපි ඉටු කළා. මොකද “ෆෝවීල්” දාගෙන “ලෑන්ඩ් රෝවර්” එකෙන් ගිහිල්ලා හරි අපි ගත්ත වැඩේ හරියට, වෙලාවට කළා. අපේ ස්ටාෆ් එක විනීතයි, පිළිවෙළයි. ඉතිං අපි කැපී පෙනුණා. ඒ බව අපේ කස්ටමර්ස්ලා දැනගෙන හිටියා. ඒ නිසා අපට ඕන තරම් වැඩ ආවා. ඒ සියල්ල පසුබෑමට ලක්වුණේ මුතුරාජවෙල රකින්න ගිහින්. නමුත් ඒකෙත් අන්තිමට ජයග්‍රහණයක් ලැබුවා.” යයි දිනූෂ නානායක්කාර සිනහමුසුව කියයි.

මගේ පරිසර දැනුම මම නවකයන්ට බෙදාදෙනවා

ශ්‍රී ලංකාවට ඩ්‍රෝන් කැමරා යානයක් ගෙනාපු මුල්ම අය අතර දිනුෂ ද එක් අයෙකි. ඔහු කියන පරිදි මුල්ම ඩ්‍රෝන් කැමරා අතර ඔහුගේ කැමරාව 5 හෝ 6 විය යුතුය. අද බොහෝ දෙනෙකු ඩ්‍රෝන් කැමරාවලින් වැඩ දමා යූටියුබ් නාලිකා කරන නමුත් එහි පෙරගමන්කරුවකු ලෙස එදා දිනූෂ එහි ද සිටියේය. එය ශ්‍රී ලංකාවට එදා කෙතරම් අලුත් වැඩක් වී ඇත්ද යත්, ඩ්‍රෝන් යානය සිංගප්පූරුවෙන් ලංකාවට ගෙනවිත් යානය මීටර් 20 ක් ඉහළට නංවාගැනීම සඳහා තමාට නැවත දෙවරක් සිංගප්පූරු යන්නට සිදු වූ බව දිනුෂ කියයි.

“එහෙම ඉගෙන ගෙනත් මගේ පළමු ඩ්‍රෝන් එක මගේ අතින්ම වතුර වළකට වැටුණා. එදා මගේ පපුව පත්තු වුණා. හැබැයි මම එදා හිතුවා ඒ දුක වෙන කාටවත් දෙන්නේ නෑ කියල. ඒ කරලා ඒ ගැන හොඳින් ඉගෙන ගත්තා. ඉගෙන ගෙන අනිත් අයටත් උගන්වන්න වර්ක්ෂොප් ගණනාවක් කළා. මම තමයි මම හිතන්නෙ “ඩ්‍රෝන් ඔපරේටින්” ගැන ලංකාවේ පළමුවරට නොමිලේ වර්ක්ෂොප් මාලාවක් කළේ” දිනූෂ කියයි.

සැබැවින්ම ඒ සඳහා ඔහු දක්ෂයෙක් බව මුතුරාජවෙල පමණක් නොව, ඉහළ කඳුකරයේ දුම්රිය මාර්ග හා දුම්රිය ස්ථාන ආශ්‍රිතව සිදුකර ඇති අපූරු ඡායාරූප එකතුව දකින කළ තේරුම් ගත හැකිය. ලංකාවේ ඉතා ප්‍රකට දුම්රිය ස්ථානයක් වන ‘ඉදල්ගස්හින්න’ දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන තරමක් විශාල එහි ඩ්‍රෝන් ඡායාරූපය ද දිනූෂ නානායක්කාර නම් අපගේ මෙම කතානායක සොඳුරු ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද්දකි.

පිළිසඳර – ජගත් කණහැරආරච්චි
දිනූෂගේ ඡායාරූප –
රොහාන් ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment