නව කාලසටහනට එරෙහිව ගාල්ල – මාකුඹුර අධිවේගී බස් අද අලුයම සිට අකුරට වැඩ

48

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය වන බස් රථ සඳහා නව ධාවන කාලසටහනක් හඳුන්වා දීමට විරෝධය පළකරමින් අද (11) අලුයම සිට එම බස් රථවල සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව බස් රථ සේවකයෝ පවසති.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් මෙම නව කාලසටහන හඳුන්වා දී ඇති අතර ඒ අනුව ධාවනයේදී තමන්ට අසීරුතා රැසකට මුහුණ දීමට සිදු වන බව බස් සේවකයෝ පෙන්වා දෙති. මෙම නව කාලසටහනට බස් ධාවනය කිරීමේදී තමන් දැඩි අසීරුතාවකට පත්වන බව ගාල්ල මාකුඹුර අධිවේගී මාර්ග බස්රථ සේවක සංගමයේ ලේකම් නිලංග සඳරුවන් මහතා පවසයි. මේ හේතුවෙන් බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ගාල්ලේ සිට මාකුඹුරට ධාවනය කිරීමෙන් පසු ඊළඟ ගමන් වාරය මාකුඹුරෙන් ලැබෙන තුරු පැය හය හතක් නිකරුණේ කල් ගත කිරීමට සිදුවන බව ද ගාල්ල බස් රථ සේවක සංගමය පෙන්වා දෙයි.

තම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් මෙම මස 18 වැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ද ගාල්ල මාකුඹුර අධිවේගී මාර්ග බස් සේවකයින්ගේ සංගමයේ ලේකම් නිලංග සඳරුවන් මහතා කියා සිටී.

මෙම තොරතුරු හෙළි වුණේ ඊයේ (10) පෙරවරුවේ ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ගාල්ල – එස්. කේ. කළුආරච්චි ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment