භූගත වතුර ටැංකියට 5 දෙනෙක් වැටිලා හිටියා… දෙදෙනෙක් මියගොස්…

224

“වතුර ටැංකිය තුළ කීපදෙනකු වැටී සිටින බවට ආරංචි වී මා ඇවිත් කඩිනමින් ඔවුන් ගොඩට ගැනීමට කටයුතු කළා. පසුව ඔවුන් රෝහලට ඇතුළත් කරන විට ඉන් දෙදෙනකු මිය ගිහින් කියලා දැන ගත්තා.”

මල්වානේ වල්ගම – බටහිර ප්‍රදේශයේ නිවෙසක මිදුලේ තිබෙන භූගත වතුර ටැංකියක් ඉකුත් ඉරිදා (01 වැනිදා) පස්වරුවේ පිරිසිදු කරමින් සිටියදී මියගිය දෙදෙනාගේ මරණ පරීක්ෂණයේ දී මල්වානේ වල්ගම පදිංචි මොහොමඩ් අගාර් තරුණයා (23 දා) සාක්ෂි දෙමින් එසේ කීය.

මෙම මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් ඉකුත් ඉරිදා (01 වැනිදා) රාත්‍රියේම සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලදී.

මේ සිද්ධියෙන් මිය ගියේ නිවෙස් හිමිකරු වන මල්වානේ වල්ගම – බටහිර ඒ.කේ. මොහොමඩ් හසන් නමැති 61 හැවිරිදි තිදරු පියකු හා පමුණුගම, අළුබෝමුල්ල ආර්. එම්. පාලිත පරාක්‍රම නමැති 51 හැවිරිදි දෙදරු පියෙකි.

මේ මරණ පරික්ෂණයේදී වැඩිදුරටත් සාක්ෂි දුන් මොහොමඩ් අගාර් තරුණයා මෙසේ ද සඳහන් කළේය.

ඉකුත් ඉරිදා (01 වැනිදා) රාත්‍රියේ හසන් මහතාගේ නිවසේ මිදුලේ තිබෙන භූගත වතුර ටැංකිය පිරිසිදු කිරීමේදී වතුර ටැංකියට බැස්ස කීපදෙනෙකු ඊට වැටී සිටින බව මට ආරංචි වුණා. එය දැන ගැනීමට ලැබුණු වහාම මා එතැනට ආවා. ඒ අවස්ථාවේ වතුර ටැංකිය තුළ පස්දෙනකු වැටී සිටිනවා මා දැක්කා. ඉතින් මා නැවත කාටවත් වතුර ටැංකියට බසින්නට එපා කියලා කීවා.

පසුව මා කඩිනමින් ඔක්සිජන් ටැංකියක් සම්බන්ධ කර ගෙන රැස් වී සිටි අසල්වාසීන්ගේ ද සහාය ලබා ගෙන එම පස් දෙනා ගොඩට ගත්තා. මේ වන විට එම පස් දෙනා අතර සිටි හසන් හා පාලිත සිහි මුර්ඡා වී සිටියා. අපි වහාම ඔවුන් බියගම රෝහලට රැගෙන ගියා. එහිදී සිහි මුර්ඡා වී සිටි හසන් හා පාලිත යන දෙදෙනා මිය ගිහින් කියලා දැනගැනීමට ලැබුණා. මේ මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (02 වැනිදා ) රාගම මහා රෝහලේදී එහි අධිකරණ වෛද්‍ය නිලධාරිනී වියනා ඩයස් මහත්මිය විසින් පවත්වන ලදී. සිරුරේ ලේ සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රස පරීක්ෂකවරයාට යොමුකර කුමන වායුවක් ආඝ්‍රාණය වී තිබෙනවා ද යන්න නිශ්චය කළ යුතු බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කෙරිණි. බියගම පොලිසියේ සැරයන් දුෂාන්ත (15250) හා ප්‍රියන්ත (45454) යන නිලධාරීහු සාක්ෂි මෙහෙය වූහ. මේ අනුව හඳුනා නොගත් හේතුවකින් සිදු වූ මරණ බවට හදිසි මරණ පරික්ෂකවරයා නිගමනය කළේය. මේ අතර මේ සිද්ධියේ දී හුස්ම ගැනීමට අපහසුවීමෙන් රෝහල් ගත කරන ලද තිදෙනාගෙන් දෙදෙනෙක් තවමත් රාගම මහා රෝහලේ ප්‍රතිකාර ලබති.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව පරීක්ෂණ පැවැත්වෙයි.

දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment