විල්වත්ත දුම්රිය හරස් මගේ මරු කපොල්ල

84

කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.

වංගු සහිත වූ මෙම දුම්රිය හරස් මාර්ගය කෙලින් කර සංවර්ධනය කිරීම සඳහා දුම්රිය බලධාරින් ඉඩකඩ ලබා නොදීම නිසා එය මේ වනවිට මරුකපොල්ලක් බවට පත්වී තිබෙන බවද එම නිලධාරින් වැඩදුරටත් කීය.

මෙම අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉන්ධන රැගත් විශාල බවුසර් විශාල වශයෙන් ධාවනය වන අතර එවැනි බවුසරයක් දුම්රියේ ගැටුණේ නම් සිදුවන හානිය කොතෙක් දැයි කිව නොහැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මධ්‍යම අධිවේගී මාර්ගයට සමගාමීව නිට්ටඹුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුවූ අතර එම සංවර්ධන කටයුතුකර ගෙන ගිය ආයතනය අවස්ථා කීපයකදීම දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගය කෙලින්කර සංවර්ධනය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.

එහෙත් එවකට සිටි දුම්රිය බලධාරින් ඒ පිළිබඳව කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වා අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගය සංවර්ධනය කිරීමට ඉඩ ලබා දී තිබුණේ නැත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම මීරිගම විල්වත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර ඒ හරහා දෛනිකව අති විශාල වාහන ප්‍රමාණයක් ධාවනය කරයි.

එමෙන්ම මීරිගම ආයෝජන කලාපය වෙත යන කන්ටේනර් රථ සියල්ල විල්වත්ත දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය කරන බව ද පොලිසිය පවසයි.

අඩි 40 කන්ටේනර් රථ ඉන්ධන රැගත් බවුසර් රථ මෙම මරුකපොල්ලක් බවට පත්ව තිබෙන දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය කරනු ලබන්නේ ඉතාම අසීරු ආකාරයටය.

දුම්රිය බලධාරින්ගේ අමනෝඥ ක්‍රියාව හේතුවෙන් විල්වත්ත දුම්රිය හරස් මාර්ගය සංවර්ධනය කර එම වංගු සහිත මාර්ගය කෙලින් කිරීම සඳහා අවස්ථාව නොලැබිණි.

මේ හේතුව නිසා දෛනිකව මෙම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතී.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන විල්වත්ත දුම්රිය හරස්මාරගය සංවර්ධනය කර වාහන ධාවනයට පහසුව සලසා දීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මීට වඩා බරපතළ හානි සිදුවීමට ඉඩ තිබෙන බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment