යුක්තිය දිගටම – පාතලයට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න සුදානම් – පොලිස්පති කියයි

73

පාතාල අපරාධකාරයන්ට මින් ඉදිරියට තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමන් සූදානම් බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඊයේ (13 දා) කියා සිටියේය.

දිගින් දිගටම ඉහළ යමින් තිබෙන පාතාල මැරයන්ගේ ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට සහ නිලධාරීන් දැනුවත් කිරීමට, ඇල්පිටිය ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ සංචාරය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කටයුතු කළහ.

පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොස්ගොඩ පොලිසියේ විශේෂ සාකච්ඡාවක් ද පැවැති අතර ඊට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුළු උසස් නිලධාරීහු රැසක් සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියා සිටියේ පාතලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කරනතුරු යුක්තිය මෙහෙයුම නොනවත්වා ක්‍රියාත්මක කරන බවයි.

අහිංසක මිනිසුන් ජීවිතක්ෂයට පත් කරමින් අපරාධවල නිරතවන පාතාල සාමාජිකයන්ට මින් ඉදිරියට කිසිම සමාවක් නොදෙන බව පැවසූ පොලිස්පතිවරයා ඔවුන්ට තේරෙන භාෂාවෙන් උත්තර දීමට පටන් ගන්නා බව ද කියා

සිටියේය. ඉකුත් 10 වැනිදා රාත්‍රියේ ඇල්පිටිය පිටිගලදී සහ අම්බලන්ගොඩදී පාතාල කල්ලියක් විසින් පැයක කාලසීමාවකදී අහිංසක වැසියන් සිව්දෙනකු වෙඩිතබා ඝාතනය කර තවත් 05 දෙනකුට බරපතළ තුවාල සිදුකර තිබිණි. මෙම පාතාල මැර ප්‍රහාරය එල්ල වූ පිටිගල ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසල අසලට ද ගිය පොලිස්පතිවරයා එම ස්ථානය පරීක්‍ෂාවට ලක්කර අදාළ විමර්ශනය සඳහා පොලිසියට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර දකුණු පළාතේ ඉහළ සහ පහළ අපරාධ මර්දනය කිරීම සඳහා හදිසි මාර්ග බාධක යෙදවීම, මුර සංචාර වැඩිකිරීම ඇතුළු තවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග රැසක් ගැනීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment