විජයග්‍රහණය අර්ථවත් නොකළ ගර්හිත දේශපාලනය !

238

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය අභිමතය පරිදි උතුර, නැගෙනහිර හා වයඹ පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත්කිරීමත් සමගම ඒ සම්බන්ධයෙන් උද්ගත වූ න්‍යාය හා සම්ප්‍රදාය පදනම් වූ වාද විවාද සංවාද අහෝසි වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රසාදය හිමි වනතෙක් එම ධුරවල කටයුතු කළ හැකි බවය. සැබැවින් ව්‍යවස්ථාවේ සඳහන් නොවුවත් මෙ රටේ සියලුම පත්වීම් බොහෝ විට දේශපාලන කැමැත්ත අනුව සිදුවන්නකි. මෙම පත්වීම් ලාභීන් තිදෙනාම ජනාධිපති රනිල්ගේ ප්‍රසාදය හිමිකර ගත් අය බව නිසැකය. වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මෙන්ම නැගෙනහිරට පත්වූ සෙන්දිල් තොන්ඩමන්ද දේශපාලන සගයෝය. උතුරට පත් කළ පී. එස්. එම්. චාල්ස් ද මැතිවරණ කොමිසමේ සිටියදී ආණ්ඩුවේ මතවාදයට පක්ෂ වූ සාමාජිකාවක ලෙසට පිළිගැනීමක් ඇත. ඇය කලක් උතුරේ ආණ්ඩුකාර ධුරයද හොබවන ලද අතර රාජ්‍ය නිලධාරිනියක ලෙස ද ක්‍රියාකර ඇත. ඒ කුමක් වුවද මැතිවරණ කොමිසම තුළ ඇගේ භූමිකාව විවාදයට ලක් විය. මේ අනුව ඇයට ද දැන් සිය පක්ෂපාතිත්වය පිළිබඳ ගැටලුවක් පැනනැගීමට නම් ඉඩක් නැත. මෙම පත්වීම් සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග විසින් දක්වන ලද අදහස් අනුව නම් එය දෙමළ දේශපාලන නායකයන් හා ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ද යන සැකය මතු කර ඇත. ඒ පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් කළ යුතු බවද ඔහුගේ යෝජනාවකි. එසේම ජනාධිපති රනිල් මේ වනවිට අනාගත ජනාධිපතිවරණය ජය ගැනීමට සිය බලය අභ්‍යාස කරමින් සිටින බව ද සමහරු දක්වති.

මේ වනවිට මෙරටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ බොහෝ විට දිස්වන්නේ රට ගොඩ ගැනීම හෝ ආර්ථික හා දේශපාල ප්‍රතිසංස්කරණ උදෙසාවූ බුද්ධිමය කතිකාවක් නම් නොවේ. ස. ජ. බෙ, ශ්‍රී. ල. නි. ප. මෙන්ම පොහොට්ටුව හා ඉන් කැඩී ගිය පාර්ශ්ව තුළ වුවද ගැටුම් මතභේද දැකගත හැකිය. ස. ජ. බෙ. පක්ෂයක් ලෙස මුහුණ දී සිටින අර්බුදය ඉතා පැහැදිලිය. එහි සමහරුන්ගේ අපේක්‍ෂාව තමන්ට හිමිවන ප්‍රතිලාභ පදවි විනා අන් දෙයක්ද නොවේ. මෑතකදී ඉන් ඉවත්වූ අයෙක් ස. ජ. බ. නායකයා සමාන කළේ අලියකු විසින් ගිල දමන ලද දිවුල් ගෙඩියකටය. මේ වර්ගයේ දේශපාලන වාචාල කතාකාරයන්ගේ සහාය ලබා ගැනීමද ප්‍රවේශමින් කළ යුත්තකි.

රනිල් ජනාධිපති ධුරයට පත්ව මෙරටේ උත්සන්න වූ මහජන දුෂ්කරතා විසඳීමට ගත් පියවර කාගේත් පැසසුමට ලක් විය. එහෙත් රටට ස්ථාවර ආර්ථික හා දේශපාලන පදනමක් වැටී තිබේ යැයි සිතීම මුළාවකි. අපට පෙනෙන ආකාරයට නම් රටට අවශ්‍ය ආර්ථික හා සංවර්ධන ප්‍රතිසංස්කරණ තවමත් ඉදිරිපත්ව නැත.

විජයග්‍රහණය අර්ථවත් නොකළ ගර්හිත දේශපාලනය !

ගෝඨාභයට අනුග්‍රහ දැක්වූ වියත්මගෙහි අසාර්ථකත්වය මෙන්ම ඔහුගේ දේශපාලන අසමත් බව ද යළි යළි කතා කළ යුතු නැත. වියත්හු යනු කඩදාසි සහතික ලත් අය හෝ ආචාර්ය මහාචාර්ය පට්ටම් ගසා ගත් අයම නොවෙති. මේ අයගෙන් ඉදිරිපත් විය හැකි ප්‍රබුද්ධ හෝ ප්‍රායෝගික යෝජනා කිසිවක් තිබේද? සාධාරණ සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා වුවමනා පුළුල් හා ප්‍රබල සමාජ මැදිහත්වීමක් කිරීමට අද සිටින ශාස්ත්‍රීය හෝ සමාජ අත්දැකීම් බහුල වියතුන්ගෙන් ලැබෙන දායකත්වයක් නැති බව කීමට සිදුවීම අවාසනාවකි.

මේ සියලු විපත් අදූරදර්ශී දේශපාලන නායකයන් විසින් රටට සලසන ලද බව අමුතුවෙන් කිව යුතු නැත. මේ රටට ශාපයක් යැයි බහුතර දේශපාලනඥයන් විසින්ද පිළිගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනස් කර ගැනීමට මෙතෙක් අපට නොහැකි විය. විධායක ජනාධිපති ක්‍රමයත් එමගින් නඩත්තු වන මැතිවරණ ක්‍රියාදාමයත් අහෝසි කිරීමට දැන්වත් අවධානය යොමු විය යුතුය. නීතියේ ආධිපත්‍ය දෙදරා යෑම මෙන්ම සොරකම, දූෂණය, නාස්තිය, ඥාති සංග්‍රහය ආදී බොහෝ විනාශකාරී ක්‍රියාකාරකම් අදත් අඩුවක් නැත. ජනාධිපති රනිල් පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ජාතික සම්පත් කාබාසීනියා කළ ආයතන නඩත්තු කිරීමට නාස්ති කළ මහජන මුදල් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදීමට හැකි වූයේ නම් එය රට සංවර්ධනයට ඉවහල් වන බවය.

පාර්ලිමේන්තු ආංශික කාරක සභා කටයුතු අධීක්‍ෂණය සඳහා තරුණ නියෝජනයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් පවසන්නේ මේ පවතින දේශපාලන පංචස්කන්දවලින් ගත හැකි සාධනීය ඵලයක් නැති බව ප්‍රතක්‍ෂ කර ගැනීම නිසාය. ඇත්තටම අදට වුවමනා ප්‍රායෝගික දැනුමක් බොහෝ ඇමැතිවරුන්ට නැත. ලංකාවේ බිත්තර නිෂ්පාදකයා අතරමං කර ඉන්දියාවේ නිෂ්පාදකයන්ට වෙළෙඳ පොළක් සකස් කර දීමට වෙළෙඳ ඇමැතිවරයෙක් අවශ්‍යද? ගෝඨාභයගේ විනාශකාරී නියෝග නිසා විපතට පත් ගොවීන්ට තවමත් සහනයක් දීමට සැලසුමක් ඉදිරිපත් වී තිබේද? වන අලි ප්‍රහාර නිසා මියයන සංඛ්‍යාව මෙන්ම විනාශ වන ගෙවල් දොරවල්ද බොහෝය. වනජීවී ඇමැතිලාගෙන් ඒ කිසිවකට විසඳුමක් ලැබී නැත.

අද පවතින ආර්ථික අර්බුද හමුවේ දරුවන් පාසල් යැවීමට නොැකි බව දෙමව්පියෝ පවසති. 2022 මහ බැංකු වාර්තාවකින්ද අවධාරණය කර ඇත්තේ ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් විශාල වසයෙන් පාසල් හැර යන බවය. මේවා මෙලෙස සිදුවෙද්දී මහා පරිමාණ, වසයෙන් බැංකුවලින් ණය ලබාගත් දේශපාලන ව්‍යාපාරිකයන්ට සහන දීමට ආණ්ඩුව සුදානම් වන බවට නිදහස් ජනතා සභාවේ ආචාර්ය චරිත හේරත් චෝදනා කරයි.

ඇත්ත වසයෙන්ම ජනාධිපති රනිල්ගෙන් ඇමතිකමක්, ආණ්ඩුකාරකමක් හෝ වෙනත් කවර හෝ ප්‍රතිලාභයක් සඳහා සිය දේශපාලන බංකොලොත් භාවය ප්‍රදර්ශනය කරන අය විනා මේ දේශපාලන ආර්ථික දුෂ්කරතාවන් හඳුනාගත් අය සිටිත්නම් ඒ අතක ඇඟිලි ගණනටත් අඩු විය යුතුය. මේ වනවිට ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා කෙබඳු දැයි හඳුනා ගැනීමට බුද්ධියක් තබා දේශපාලන විඥානයක්වත් තිබෙන කී දෙනෙක් මෙරටේ සිටිත්ද? ජාතන්තර මූල්‍ය අරමුදලේ කඹයෙන් ගොඩට ආ අපට නිසි ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් නොමැති වුවහොත් සිදුවන්නේ ඒ කඹයේම එල්ලී දිවි නසා ගැනීමට බව මේ දේශපාලන විකටයෝ පමණක් නොව ඔවුන්ගේ අනුගාමිකයෝද නොදනිති. මේ තිබෙන ආර්ථික ස්ථාවරත්වය දිගින් දිගටම පවත්වා ගෙන යෑමට අපට සැලැසුම් වුවමනාය. විරැකියාව, පහළ මට්ටමේ ආදායම් බිඳ වැටීම, කුඩා ව්‍යාපාර වැසීයාම නිසා වැඩෙන අපේක්‍ෂා භංගත්වයට ද විසඳුම් අත්‍යාවශ්‍යය. මෙයට විසඳුම් නොලැබීම යනු යළිත් මහජන විරෝධයකට අවකාශ සලසා දීමක් බව ආර්ථික විශේෂඥයෝම පවසති. පොහොට්ටුවේ දේශපාලන හොල්මන් යළිත් නිල බල රැක ගැනීමට දරන ප්‍රයත්නයන්ද මේ අතර දැකගත හැකිය.

මේ ආර්ථික සමාජ හා දේශපාලන ගිනි පුපුරුවලින් හීතල නිවා ගැනීමටත් සුරුට්ටු පත්තු කිරීමටත් දත කන පිරිස්ද සිටිති. මේ දිනවල නැගෙන ජාතිවාදී හා ආගම්වාදී උණුසුම් ඒ දුෂ්ට අරමුණුවලින් උපන් ඒවා බව ද නිසැකය.

පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු මේ ආගමික අන්තවාදයට සෑහෙන විෂබීජ දැනටමත් වපුරා තිබේ. මේ පාස්ටර්ගේ ගුරුවරයා බව කියැවෙන සිම්බාබ්වේ පදිංචිකරුවකු වන ඌබටි ඒන්ජල්ගේ පැටිකිරියද දැන් හෙළිවී තිබේ. රත්රන් ජාවාරම්කරුවකු හා කළු සල්ලි විසුද්ධිකරණය සම්බන්ධයෙන් ද කුප්‍රකට කීර්තියක් හිමි ගුරුවරයා ද ගෝලයාගේ තරම ගැනද අප තුළ සැක සංකා දල්වයි. කතෝලික සභාව මේ ජෙරොම් ගැනත් ඔහුගේ පසුබිම ගැනත් විමර්ශනය කළ යුතු බව යෝජනා කර ඇත. මේ දේවගැති වෙස්ගත් ජොරොම්ට වහ වැටුණු විවිධ පිරිස් ගැන ද තොරතුරු ගලා යයි. අපේ ඇතැම් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට, වෙනත් කලාකරුවන්ට මෙන්ම සමහර දේශපාලන හාමිනේලාට හා දේශපාලනඥයන්ටද ජෙරොම් දෘෂ්ටියෙන් ගැලවීමට නොහැකි වී තිබේ. අපට තිබෙන ප්‍රශ්නය මේ ජෙරොම් ආරූඪයෙන් ආගම් යුද්ධයකට රට තල්ලු විය හැකි ද යන්නයි.

ආගමික ඇදහීම් හා සංස්කෘතික වටිනාකම් යනු පෞද්ගලික දේවල්ය. කාල්මාක්ස් වරක් ප්‍රකාශ කළෙත් ආගම යනු පීඩිතයන්ගේ සුසුම බවය. එනිසා ශීලාචාර මිනිස්සු ඒවාට අවමන් නොකරති. එහෙත් මෙරටේ ආගමික අන්තවාදය ගැන ඕනෑ තරම් තොරතුරු තිබේ. ජාතිවාදයත් ආගම්වාදයත් ලෝකයේ බොහෝ රටවලට සිදුකර තිබෙන විපත් සුළුපටු නැත.

බුදුන්වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළේ නිදහස් චින්තනයටත් ඕනෑම මතවාදයක් ප්‍රශ්න කිරීමට බාධාවක් නැති බව අවධාරණය කිරීමටය. එහෙත් බෞද්ධයන් අතරද ආගම්වාදී විෂ රැඳුණු ස්වල්ප දෙනෙක් හෝ සිටිති. අනෙක් ආගම් සම්බන්ධයෙන්ද එය සත්‍යයකි. ආගම් පතුරුවන කල්ලි මෙන්ම ඒවාට ගරහන නරුමයෝද සිටිති. එනිසා මේ දිනවල මතභේදයට තුඩු දී තිබෙන ජෙරොම්වාදී මුග්ධ ප්‍රකාශ ආගම්වල බැතිමතුන්ගේ සංවේගයට හේතු වී තිබේ. එනිසා මේ ආගමික ගින්න නිවීමට ජෙරමානු අවලාද පැතිරීම අනිවාර්ය වේ. අන්තවාදීන්ට මේවා නරකම ආයුධ වේ. එනිසා ජාතික හා ආගමික සංහිඳියාවට බාධා කරන ඕනෑම අන්තවාදයක් පරාජය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පරම වගකීම බව ද සඳහන් කළ යුතුය.

අප අවසන් වසයෙන් මෙම සතියට යෙදී තිබුණු රට ත්‍රස්තවාදයෙන් බේරාගත් මානුෂික මෙහෙයුම අවසන් කළ දිනය සැමරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම වටී. ඒ වූ කලී තිස් වසරකටත් වඩා දිගු කලක් මෙරට වෙලාගත් ඝාතන, භීෂණ,අපරාධවලින් හෙබ්බත්වූ සියලු ජන කොටස්වලට නිදහසේ හුස්මක් ගැනීමට හැකිවූ ඓතිහාසික නිමේෂයකි. 2009 මැයි 19 වැනිදා මෙරටේ හමුදා විසින් පරාජය කරන ලද්දේ වේළුපිල්ලේ ප්‍රභාකරන් ලෙස කුප්‍රකටව සිටි ෆැසිස්ට්වාදියා සහ ඔහුගේ මිලේච්ඡ ඝාතක බල ඇනියයි. එය රණවිරු විජයග්‍රහණයක් බව නිසැකය. එහෙත් එය ජයග්‍රහණයක් ලෙස යළි යළි සිහිපත් කළ යුතු නැතැයි කල්පනා කරන පිරිසක් ද සිටිති. එහෙත් දසක තුනක් වැනි ශාපකාරී ඝාතන සංස්කෘතියකින් රටක් ජනතාවක් මුදාගත් ආරක්‍ෂක අංශවල හා පොලිසියේ සාමාජිකයන්ට ජාතික ගෞරවය ලබාදීම කෘතවේදී ජනතාවක ගේ යුතුකම බව අපගේ අදහසය. මෙය නොමැනවැයි කියන අයට ඒ ත්‍රස්තවාදය ගැන ගැඹුරු කියවීමක් තිබේද යන ප්‍රශ්නය අපට මතු වේ. යුද්ධය යනු මානව වර්ගයාට ශාපයකි. එහෙත් යුදකාමීන් විසින් ඉතිහාසයේ තබන ලද අඳුරු මෙන්ම බිහිසුණු සටහන්ද බොහෝය.

ප්‍රභාකරන් විසින් මේ රටට කරන ලද විනාශය කිසිවකුට අනුමත කළ නොහැක. එහෙත් ඉතිහාසයේ සඳහන් වන පළමු හා දෙවන ලෝක යුද්ධ වසර පහක් හයක් වැනි කාලයකින් අවසන් වී ලෝකයට සාමය උදාවෙද්දී ප්‍රභාකරන්ට වසර තිහකට වඩා කාලයක් මේ රට ප්‍රාණ ඇපයට ගැනීමට සිදුවීමත් එහි අභ්‍යන්තර කතාවත් දන්නා කිසිදු ශිෂ්ට පාලනයකට යහපත් පුරවැසි සමාජයකට ප්‍රභාකරන් විනාශ කිරීම වරදක් සේ දැකිය නොහැක. මෙරටේ රාජ්‍ය නායකයන් හැම කෙනෙකුටම පාහේ අවශ්‍ය වූයේ ප්‍රභාකරන් සමග සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදයට විසඳුමක් ලබා දීමටය. එහෙත් ඔහු එයට දැක්වූ ප්‍රචණ්ඩ ප්‍රතිචාරය කව්රුත් දනිති. සිංහල දෙමළ මුස්ලිම් ජනයාට පමණක් නොව ඒ ඒ දේශපාලන නායකයන්ටද කෲර මරණය අත්කර දුන් ප්‍රභාකරන්ගේ ඒ සාහසිකත්වයට ඉන්දියාවේ රාජිව් ගාන්ධි පවා ගොදුරු විය.

ප්‍රභාකරන් වැනි ඝාතකයකු, භීෂකයකු ලේ පිපාසිතයකු ඒ නිසා විනාශයක් සිදු කළේ ඔහුට බාහිරව ලැබුණු උපකාර ආධාර නිසා බව ද කව්රුත් දනිති. එසේම ඔහු පරාජය කළ නොහැකි බවට ලෝක මතයක්ද විය. ඉන්දියාව, ඇමරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී බොහෝ රටවල් මෙන්ම ජගත් සංවිධානද මේ අපරාධකරුවා නඩත්තු කළ ආකාරය රහසක් නොවේ. එනිසා 2009 මැයි 19 වැනිදා නිසැකයෙන්ම මෙරටේ අලුත් නිදහස් යුගයක සමාරම්භය විය. වසර 400 කට අධිකව සතුරන් විසින් මෙරට ආක්‍රමණය කළ ආකාරය මෙන්ම ඒවාට එරෙහිව මව්බිමේ දේශප්‍රේමී ජනතාව සටන් කළ ආකරය ද අපි දනිමු. ජාතික වීරයන් ලෙස මේ මව්බිම වෙනුවෙන් දිවි පිදු ඒ ජනතාවටද අපි උපහාර දක්වමු. ප්‍රභාකරන්ගේ කෲර ත්‍රස්තවාදයෙන් රටත්, සියලුම ජනතාවත් බේරා ගැනීම උදෙසා තමන්ගේ ජීවිතය පමණක් නොව මව්පියන්, සහෝදර සහෝදරියන් දූ දරුවන් මිතුරන් ආදී සියල්ලන්ම අමතක කළ කෘතවේදී උදාර ලංකා පුත්‍රයන් ලෙස ඒ හමුදාවල සියල්ලෝම අපගේ බුහුමනට ලක්විය යුතු වෙති.

අනෙක් අතට ප්‍රභාකරන්ට විනා මෙරටේ අපගේ ඓතිහාසික නෑයන් වන දෙමළ හා මුස්ලිම් ජනතාව සමග අපට කිසිදු ගැටලුවක්ද නැත. ජාතික ගීයේ සඳහන් වන පරිදි අපි එක මවකගේ දරුවන් නොවෙමු නම් මේ සැමරුමට විරුද්ධ විය හැකිය. ජාතික හැඟීම් මානව දයාවෙන් බෙදාගෙන සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් අපට ජීවත්වීමට හැකි වූයේද මේ රණවිරුවන්ගේ පරිත්‍යාග නිසාමය. එසේම ඒ රණවිරුවන් මෙහෙයවූ සියලු හමුදා නායකයෝ ද ඒ ඓතිහාසික මෙහෙවරට දිරි දුන් ශක්තිය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ සියලු දේශපාලන නායකයන්ට ද ආරක්‍ෂක ප්‍රධානියකුව සිටි ගෝඨාභය රාජපක්‍ෂට ද ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුය.

ප්‍රභාකරන් ප්‍රමුඛ ඔහුගේ ත්‍රස්තවාදී නාසි හමුදාවම විනාශ කළත් ඒ අලුත් සමාරම්භය තුළින් අප ලද විජයග්‍රහණය අර්ථවත් කිරීමට දේශපාලන නායකයෝ අසමත් වූහ. ඒ විජයග්‍රහණයෙන් දේශපාලන හිස් බව වසා ගැනීමටත් එය පොදු ජන උරුමයක් බවට පත්කර උතුරු හා දකුණ එක් කිරීමටත් අපේ පාලකයන්ට නොහැකි වීම ද අපේ වාසනාවකි. ඒ මදිවාට සිය බලය සඳහා දෙමළ ජනතාව යොදා ගැනීමේ ප්‍රයත්නයද පරාජය කිරීමට නොහැකිව තිබීම ද තවත් ඛේදවාචකයක් වී තිබේ. උතුරේ බොහෝ නායකයන්ට අවශ්‍ය වී ඇත්තේද ඒ බෙදුම්වාදී මානසිකත්වය දෙමළ ජන මනසට කා වැද්දීම විනා අන් දෙයක් නොවේ. තම නායකයන් කොළඹට වී ගෙවන සුපිරි ජීවිත ඒ අහිංසක දෙමළ ප්‍රජාව නොදනිති. එනිසා තවමත් ඊළම හා බෙදුම්වාදය බොහෝ දෙමළ නායකයන්ට කප්රුකක් වී තිබේ. මෙතෙර මෙන්ම එතෙරද ඔව්හු සුවසේ ජීවත්වෙති. තවමත් බටහිර රටවල් ද ප්‍රභාකරන් ගැන හඬති. අපේ හමුදා නායකයන්ට හතුරුකම්ද කරති. කුමක් වුවත් ඊළාම් සිහින දකින බෙදුම්වාදය කරපින්නාගත්, එයින්ම ස්වර්ග රාජ්‍යයක් ගැන ප්‍රාර්ථනා කරන කිසිවෙකුට මේ රට එක්ව සිංහල දෙමළ මුස්ලිම් ජනකොටස් සමගිව ජීවත්වනු දැකීම දරාගත නොහැකි බවද අප සියල්ලෝම වටහා ගත යුතු වෙති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment