සෞඛ්‍ය සේවයේ වර්ජන රැල්ලක්

162

සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යංශයට රතු එළි

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමනට ලබාදී ආර්ථික යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ලබන අඟහරුවාදා (23 දා) රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමටත්, ලබන මස (පෙබරවාරි) 01 දා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති විශේෂ සමුළුවකදී ඒකමතිකව මෙම තීරණයට පැමිණි බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීම පිළිබඳව ලබාදුන් යෝජනාවලිය සාධාරණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගෙන ඇති බවත් එබැවින් විදේශගතව ඇති ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණෙනතුරු අවශ්‍ය කාලය ලබාදෙන ලෙස කරනු ලැබ ඇති ඉල්ලීමට ගරු කරමින් තමන් පසුගිය 17 දා වර්ජනය තාවකාලිකව අවසන් කළ බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ වුවත් බරපතළ අසාධාරණ තීන්දු ගනිමින් අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලු කර දැමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය බවත් ඔහු කීවේය. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මුදල් අමාත්‍යාංශයටත් විරෝධය පළ කරමින් ඉහත විරෝධතාවන් දිවයින පුරා රජයේ රෝහල් තුළදී අඛණ්ඩව පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති නායකත්වයන් තීරණය කළ බවද රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment