ත්‍රස්ත පනතට ගැනෙන වැරදි කිසිවක් හෙළි වී නෑ – මුදලිගේ පිළිබඳ විමර්ශන රජය හිතාමතා ප්‍රමාද කරනවා

319

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
සිරිධම්ම හිමිට අනුගමනය කළ ක්‍රියාදාමය මුදලිගේට බැරි ඇයි?

– ඔහු ගැනත් සාධාරණ විය යුතුයි – මහෙස්ත්‍රාත් කියයි

නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (13 දා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය.

ත්‍රස්ත පනතට ගැනෙන වැරදි කිසිවක් හෙළි වී නෑ - මුදලිගේ පිළිබඳ විමර්ශන රජය හිතාමතා ප්‍රමාද කරනවා

නීතිපතිවරයා විසින් පෙර නඩු දිනයේදී කරන ලද ඉල්ලීමක් අනුව එම නඩුව ඊයේ විවෘත අධිකරණය හමුවේදී කැඳවූ අතර වසන්ත මුදලිගේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. එම නඩුවේ දෙවන සැකකාර පෙර නඩු දිනයේදී ඇප මත මුදාහැර තිබූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියෝ ද අධිකරණයට පැමිණ සිටියහ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශනවලින් සියයට 60 ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බවත් එහිදී සැකකරුගේ ප්‍රකාශ 8-9 ක් ලබාගෙන තවත් පුද්ගලයන් 150 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසීය. විමර්ශන අවසන් වී නොමැති බැවින් එම සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට දැනුම්දීමේ හැකියාවක් නොමැති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට එම සැකකරු අත්අඩංගුවට ගෙන මාස හතරකට ආසන් කාලයක් ගත වී ඇති බවත් දෙවන සැකකාර ගල්වැව සිරිධම්ම හිමියන් ඇපමත මුදාහැරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නා සේ මෙම සැකකරු සම්බන්ධයෙන් ද එකී ක්‍රියාදාමය අනුගමනය කළ නොහැක්කේ දැයි පැමිණිල්ලෙන් විමසා සිටි අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරු සම්බන්ධයෙන් ද සාධාරණ ලෙස සිතා බලා කටයුතු කළ යුතු යැයි ද ප්‍රකාශ කළාය.

ගරු අධිකරණය ප්‍රකාශ කළ එම කරුණු නිවැරදි බවත් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඉදිරි විමර්ශන සිදු කිරීමට තම දෙපාර්තමේන්තුව වගබලා ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.

පැමිණිල්ල විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තා අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි කිසිවක් අනාවරණය වී නොමැති බවත් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන රජය විසින් ඕනෑකමින්ම ප්‍රමාද කරනා බවක් පෙනී යන්නේ යැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ජනාධිපති මන්දිරයට ඇතුළු වීම ත්‍රස්තවාද පනත යටතේ ගැනෙන වැරැද්දක් නම් එකී චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සාමාන්‍ය නීතිය යටතේ ඇප මත මුදාහරිනු ලැබුවේ කෙසේ දැයි විමසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි කිසිවක් ඉදිරිපත් කොට නොමැති බැවින් සාමාන්‍ය නීතිය යටතේ තීරණයක් ගැනීමේ බලය අධිකරණයට ඇතැයි පැවසීය. අධිකරණය විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින පරිදි කටයුතු කර ඔවුන්ගේ රබර් මුද්‍රාවක් බවට පත් විය නොයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දු ප්‍රකාශ මගින් පෙන්වාදී ඇතැයි ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවසීය.

තමා ප්‍රකාශ කරනු ලැබුවේ පැමිණිල්ල මෙහෙයවන උගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සම්බන්ධයෙන් නොව රජය සම්බන්ධයෙන් පමණක් බව ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කීවේය.

තමා කිසිවකුගේ අතකොලුවක් හෝ රූකඩයක් නොවන බවත් තමා කටයුතු කරනුයේ නීතියේ රාමුව තුළ සිටිමින් බවත් අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉදිරි නඩු දිනයේදී විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අධිකරණයට පැවසීය.

ඒ අනුව එම නඩුව අද (13 දා) පෙරවරු 12.00 ට කැඳවීමට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට ඉදිරිපත් කිරීම වඩා උචිත බව පෙන්වා දුන්නාය.

රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ රිවිහාර පින්නදුව, නුවන් බෝපගේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

අත්අඩංගුවට ගෙන මාස හතරක කාලයක් ගත වී ඇතත් අවසන් කර ඇත්තේ විමර්ශනවලින් සියයට 60 ක් පමණක් නම් ඉදිරි සියයට 40 අවසන් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇතැයි ද අධිකරණයට පෙන්වාදුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වසන්ත මුදලිගේ නමැති සැකකරුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් අධිකරණයට උපදෙස් ලබාදෙනු ලැබුවේ ස්වෙච්ඡාවෙන්ම බවත් ඒ අනුවම මෙම සැකකරු සම්බන්ධයෙන් ද ක්‍රියා කරනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක, ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment