පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහර දුන් සිසුන් 12කගේ ශිෂ්‍යභාවය අහෝසියි

415

හිටපු උපකුලපති අතුල සහ පුත්‍රයා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහරදී දේපොළවලට හානි කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය.

මෙම ප්‍රහාරය මෙහෙයවූ ශිෂ්‍යයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවද ධර්මරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහර දුන් සිසුන් 12කගේ ශිෂ්‍යභාවය අහෝසියි

විශ්වවිද්‍යාල තුළ මෙවැනි ක්‍රියාවන් සිදුවීම සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම ඉතා නරක පූර්වාදර්ශයක් සපයන බව පවසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අපරාධයට සම්බන්ධ සියලුම සරසවි ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකුගෙන් ඊයේ වන විට පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ප්‍රහාරයට සම්බන්ධ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හඳුනා ගැනීම සඳහා සීසීටීවී දර්ශන සහ විශ්වවිද්‍යාලයේ අනෙකුත් ශිෂ්‍යයන්ගෙන් තොරතුරු ලබාගත් බවද පොලිසිය පවසයි.

ඉකුත් 10 වැනිදා රාත්‍රි මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයා විදුර සේනාරත්න මහතා ගමන් ගත් මෝටර් රථය නවතා තිබූ යතුරුපැදි දෙකක ගැටීමෙන් පසු සරසවි ශිෂ්‍යයන් පිරිසක් සමග ආරවුලක් ඇති වී තිබේ.

එම ආරවුල සමථයකට පත් කිරීමට හිටපු උපකුලපතිවරයා ද ඒ අවස්ථාවේ එහි පැමිණ ඇත. එහිදී සරසවි ශිෂ්‍යයන් හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහරදී තිබිණි.

හිටපු උපකුලපතිවරයාගේ නිවසේ දොරවල් කඩාගෙන ශිෂ්‍යයන් පිරිස් එහි කඩා වදින ආකාරය සහිත සීසීටීවී දර්ශන පොලිසිය වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ සැකකාර ශිෂ්‍යයන් හඳුනාගෙන තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල මට්ටමෙන් වෙනම පරීක්‍ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවසයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ ශිෂ්‍යයන් වැඩි පිරිසක් තවමත් විශ්වවිද්‍යාල භූමියේ සැඟවී සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු සහ සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment