මුද්දර ලස්සනයි මුද්‍රාවෙන් අවලංගුයි

1228

මුද්දරය සිත්ගත් නිර්මාණයකි. එහෙයින්ම මුද්දර එකතු කිරීම කුඩා දරුවන්ගේ කදිම විනෝදාංශයකි. කුඩා දරුවන් පමණක් නොවේ, ඇතැම් වැඩිහිටියන් ද මුද්දර එකතු කිරීම විනෝදාංශයක් කරගෙන සිටින බව සැබෑය.

1837 වර්ෂයේදී ශ‍්‍රීමත් රෝලන්ඞ් හිල් විසින් බි‍්‍රතාන්‍යයේ රාජකීය තැපැල් සේවා ආයතනයට ඉදිරිපත් කරන ලද තැපැල් ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් මගින්, තැපෑල හරහා ලිපි බෙදාහැරීම සඳහා ගාස්තු අයකර ගැනීමේදී එම ගෙවීම් සනාථ කෙරෙන රිසිට් පතක් වෙනුවට ඒ, ඒ මිල ගණන් දැක්වෙන සංකේතාත්මක නිර්මාණශීලී කුඩා සහතික පතක් අදාළ ලිපි කවරයේ අලවා යැවීමත්, එය භාවිතා කළ පසු දින මුද්‍රාවකින් අවලංගු කිරීමත් හඳුන්වාදෙන ලදී. එම යෝජනාවලියට අනුව 1840 වර්ෂයේ මැයි මස 05 හෝ 06 ලොව ප‍්‍රථම මුද්දරය නිකුත් විය. බි‍්‍රතාන්‍ය ජාතික ශ‍්‍රීමත් රෝලන්ඞ් හිල් විසින් ලොවට මුද්දරය හඳුන්වා දුන් කාලයේ සිට විවිධ රටවල මුද්දර එකතුවක් අපගේ නිවසේ ද තිබේ.

මුද්දර ලස්සනයි  මුද්‍රාවෙන් අවලංගුයි

1840 වර්ෂයේ මැයි මාසයේදී එංගලන්තයේදී නිකුත් වූ ලොව ප‍්‍රථම තැපැල් මුද්දරයේ සිදුරු විදමන් සහිත දාර නොවීය. කතුරෙන් කපා වෙන් කර තිබිණි. එමෙන්ම එංගලන්ත නාමය ද සඳහන් නොවිණි. එම සම්ප‍්‍රදාය මේ දක්වා බි‍්‍රතාන්‍ය මුද්දරවල දකින්නට තිබීම ද විශේෂත්වයකි. ලොව ප‍්‍රථම මුද්දරයට බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ උඩුකය සිත්තම් කළ හෙන්රි කොබෝල්ට් 1857 අපේ‍්‍රල් මස 01 වැනිදා මෙරටදී නිකුත් කරන ලද මුද්දරයේ සිත්තම්කරුවීමද විශේෂත්වයකි. එදා සිට මේ දක්වා මෙරටදී නිකුත් කර ඇති මුද්දර ප‍්‍රමාණය දහසකට වැඩිය. එම මුද්දරවලින් වැඩි ප‍්‍රමාණයක් ‘මුද්දර 160 ක්’ නිර්මාණය කර ඇත්තේ සනත් රෝහණ වික‍්‍රමසිංහයන්ය. හුදෙක් ඔහු මුද්දර නිර්මාණ ශිල්පියෙක්ම පමණක් නොවේ. තැපැල් ආශ‍්‍රිත මුල්දින කවර, සමරු තැපැල්පත්, දින මුද්‍රිකා විශේෂ සිහිවටන පත‍්‍රිකා, නිර්මාණශීලී මුද්දර විස්තර පත‍්‍රිකා, මුල්දින කවර රැඳවුම් කවර, මුද්දර ප‍්‍රදර්ශන පුවරු යනාදී සර්ව නිර්මාණකරණයේ ප‍්‍රවීණයෙකි. සර්ව නිර්මාණශීලී කලා අධ්‍යක්‍ෂවරයෙකි.

මුද්දර ලස්සනයි  මුද්‍රාවෙන් අවලංගුයි
සනත් රෝහණ වික‍්‍රමසිංහ

ගාල්ල ගොඩකන්ද ප‍්‍රදේශයේ උපත ලැබ, ගාල්ල මහින්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරමින්, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාව හැදැරූ සනත් රෝහණ වික‍්‍රමසිංහ ශ‍්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ ලියාපදිංචි මුද්දර නිර්මාණකරුවෙකි. 1983 ජගත් සන්නිවේදන වර්ෂය සඳහා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඔහු නිර්මාණය කළ මුද්දරය ලෝකයේ හොඳම මුද්දරවලින් එකක් ලෙස තේරී පත් වී ඇත. එම ජාත්‍යන්තර ජයග‍්‍රහණය, මුද්දර ලොවේ සනත් රෝහණයන් ලබාගෙන ඇති සෙසු ජයග‍්‍රහණ සහ මෙරට මුද්දර නිර්මාණකරණය ගැන බොහෝ කරුණු අපට පැහැදිළි කළේය. මේ වන විට ජීවිතයේ හැට වැනි විය පසුකරගෙන යන සනත් රෝහණයන්ගේ මුද්දර නිර්මාණකරණයේ තතු ඔහුගේම වචනවලින් ඔබට පැවසීම අපගේ කැමත්ත විය. මේ පෙළගැසෙනුයේ මුද්දරය ගැන සනත් කියන කතාවය.

’‘මම කුඩා කාලයේ සිට චිත‍්‍ර කලාවට දැඩි ඇල්මක් දැක්වූවා. පාසල් බාලදක්‍ෂ කණ්ඩායමට එකතු වීමත් එක්ක මගේ නිර්මාණ කුසලතා හොඳින් ඔපවත් වුණා. 1982 තුන්වැනි ජාතික බාලදක්‍ෂ ජම්බෝරියට සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණ කරල තිබුණා. ඒ සමරු මුද්දරය බාලදක්‍ෂයකු ලවාම නිර්මාණය කළ යුතු බවට එවකට ජාතික බාලදක්‍ෂ මූලස්ථානයේ කොමසාරිස් ජී. ජී. වින්ඞ්සර් මහතා යෝජනා කළා. ලංකාවේ සියලූම බාලදක්‍ෂයන්ගේ නිර්මාණ කැඳවා ‘බේඞ්න් ෆවර්’ කවර මුද්දරය සඳහා මගේ නිර්මාණය තෝරාගෙන තිබුණා. පසුව මුද්දර කාර්යාංශයේ එවකට හිටපු අධ්‍යක්‍ෂ පී. කුලතිලක මහතා එම මුද්දරය අඳින්න මට අවස්ථාව ලබාදුන්නා. එපමණක් නොවේ, ඒ අවස්ථාවේදීම ශ‍්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ නිර්මාණ ශිල්පියකු ලෙස මාව ලියාපදිංචි කරගත්තා. මුද්දරය නිර්මාණය කිරීම වෙනුවෙන් රුපියල් පන්සීයක ගාස්තුවක් ගෙව්වා. ඒ කාලේ රුපියල් පන්සීයක් කියන්නෙ ලොකු මුදලක්. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාධාර ලැබුණෙත් රුපියල් පන්සීයයි. එදා සිට දිගටම මුද්දර නිර්මාණ කරගෙන යන්න මම තීරණය කළා. මේ වෙනකොට මුද්දර එකසියහැටක් නිර්මාණය කරලා තියෙනවා…’’

මුද්දර ලස්සනයි  මුද්‍රාවෙන් අවලංගුයි


‘‘ඒ අතරින් 1987 අවුරුද්දේ නිර්මාණය කරපු ‘මහ ගොවි දැක්ම’ මුද්දරය අති විශේෂයි. ප‍්‍රදර්ශනයකට ඉදිරිපත් කළ මගේ නිර්මාණයක් ප‍්‍රථම ස්ථානයට ජයග‍්‍රහණය කරලා අවසානයේ මුද්දරයකට ගන්න තීරණය වෙලා තිබුණා. ඒ මුද්දරය මටම අ`දින්න ලැබීමත් දෛවෝපගත සිද්ධියක් වුණා. එම මුද්දරයට අකුරු ඇන්දෙත් අතින්. 1983 වර්ෂයේ ජගත් සන්නිවේදන වසර වෙනුවෙන් නිකුත් කළ මුද්දරයත් මගේම නිර්මාණයක්. ලෝකයේ හොඳම මුද්දර දහය අතරට එම මුද්දරයත් තේරුණා. 2000 වර්ෂයේ ඕලිම්පික් සමරු මුද්දර පේළියත් නිර්මාණය කිරීමට ලැබීම අභිමානයක්. ඒ වගේම දැනට මෙරට නිකුත් වී තිබෙන මුද්දර හතරේ කට්ටල කිහිපයක්ම නිර්මාණය කිරීමට මට අවස්ථාව ලැබුණා. ‘හේලීගේ දූම කෙතු’ මුද්දර හතරේ කට්ටලය. අවුරුදු අසූහයකට වතාවක් දූම කේතුව ලෝකයට පේනවා කියන කතාන්දරය මුද්දර රාමු හතර තුළ නිර්මාණය කළා. තවත් මුද්දර හතරක කට්ටලයක් ආනන්ද විද්‍යාලයට නිර්මාණය කළා. මුද්දර හතරේ කට්ටලයක් නිකුත් කළ ලෝකයේ ඇති එකම පාසල කොළඹ ආනන්ද විද්‍යාලයයි. ටෙලිකොම් ආරම්භයේදී නිකුත් කළ මුද්දර හතරේ කට්ටලය නිර්මාණය කළෙත් මමයි. සිනමාවේ පනස් වැනි ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් නිකුත් කළ මුද්දර රාමු හතරත් මම නිර්මාණය කළේ. මෙරට නිෂ්පාදනය කෙරුණු හොඳම චිත‍්‍රපට හතරට මුද්දර රාමු හතරක් නිර්මාණය කළා. ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 175 වැනි සංවත්සරය වෙනුවෙන් මුද්දර රාමු හතරේ කට්ටලයක් නිකුත් කළා. ටෙනිස් ක‍්‍රීඩාවට මුද්දර හතරේ කට්ටලයක් නිර්මාණය කළා. 1989 හඳ තරණයේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතරේ කට්ටලය නිර්මාණය කළෙත් මමයි…’’

‘‘ලංකාවේ ක‍්‍රිකට්වලට අවුරුදු එකසිය හැටක් පිරිච්ච අවස්ථාවේ නිකුත් කළ මුද්දරය නිර්මාණය කිරීමේ භාග්‍යයත් මට හිමි වුණා. 1996 ක‍්‍රිකට් වර්ල්ඞ් කප් එකට පෝස්ට් කාඞ් එකක් නිර්මාණය කළා. මුද්දර කලාව තුළ සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් බැහැරව නිර්මාණයන් කිරීමට මට පුළුවන් වෙලා තියෙනවා. ඒත් හිතුමතේට පමණක් මුද්දරයක් නිර්මාණය කරන්න බෑ. මුද්දරය නිර්මාණය කරන තේමාව ගැන අවධානය යොමු කරමින් මුද්දරයට අනුග‍්‍රහය දක්වන ආයතනය, මුද්දර කාර්යාංශයේ කමිටුවේ නිලධාරීන් සහ නිර්මාණකරු එකම මේසයක සිට සාකච්ඡුා කර ගන්නා ලද තීරණයකින් පසුව තමයි මුද්දරයක නිර්මාණ කටයුතු ආරම්භ වෙන්නේ…’’

‘‘මුද්දරය නිර්මාණය කරන ප‍්‍රමාණය සහ මුද්දරය අලෙවි කරන මිල තීරණය කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය. මි.මී. 25ං30, මි.මී. 31ං41, කුඩා මුද්දර වගේම මි.මී. 40ං80 වගේ දිග මුද්දරත් තියෙනවා. එවැනි රාමුවක් තුළ යම් තේමාවකට නිර්මාණයක් කරනවා කියන එක පහසු නෑ. විශාල සංකීර්ණ සිද්ධි දාමයක් සරළ සාරාංශයක් විදිහට කුඩා රාමුවක් තුළ නිර්මාණය කරන්න ඕනෑ. ඒ වගේම රටේ සංස්කෘතිය මුද්දර නිර්මාණය තුළින් ඉස්මතු කරන්න ඕනෑ. දළ සැලසුම් තුන, හතරක් ඇඳලා නිවැරැුදි ප‍්‍රමිතියටම මුද්දරයක් නිකුත් කරන්න මාස දෙක, තුනක කාලයක් ගත වෙනවා. දක්‍ෂ මුද්දර ශිල්පියකු මාසයකින් විතර මුද්දරයක නිර්මාණ කටයුතු අවසාන කරනවා. මම සතියෙනුත් මුද්දර නිර්මාණ කර භාර දීලා තියෙනවා. ඞී. බී. විජේතුංග සමරු මුද්දරය, ඞී. ආර්. විජයවර්ධන සමරු මුද්දරය, රන්ජන් විජේරත්න සමරු මුද්දරය මගේ මුද්දර කලාව තුළ වේගයෙන්ම කරපු මුද්දර තුනක්. අනුරාධපුර ශික්ෂණ රෝහලට අවුරුදු 50 ක් පිරීම නිමිති කොටගෙන නිකුත් කළ මුද්දරය නිර්මාණය කරන්න ගත වුණේ දවස් තුනයි. ලෝකයේ පුංචිම මුද්දරය මි.මී. 10ං20 යි. එවැනි මුද්දරයක් නිර්මාණය කිරීමත් මගේ සිහිනයක්…’’

මුද්දර නිර්මාණය කිරීම මගේ වෘත්තියේ කොටසක්. මුද්දර එකතු කිරීම මගේ විනෝදාංශය. මේ වෙනකොට ලෝකයේ විවිධ රටවල මුද්දර දසදහසකට වැඩි එකතුවත් මා ළඟ තියෙනවා. ‘‘අපිට ස්ථිර වැටුපක් නෑ. මුද්දර කාර්යාංශයේ ලියාපදිංචි වුණාට පත්වීම් ලිපියක්වත් අපිට දීලා නෑ. වෘත්තීය හැඳුනුම්පතක් නෑ. ලියාපදිංචි මුද්දර නිර්මාණ ශිල්පීන් විස්සක් විතර ඉන්නවා. ඒත් තැපැල් දෙපාර්තමේන්තුව තුළ අපිටම වෙන් වූ සේවා ස්ථානයක් නෑ. අදටත් මුද්දරයකට උපරිම ගෙවන්නේ රුපියල් දසදාහසයි. පවතින ආර්ථික ක‍්‍රමය යටතේ මුද්දරයක් නිර්මාණය කරන උපරිම ගාස්තුව රුපියල් තිස්දාහසක් කරන්න කියලා ඉල්ලීම් කරලා දැනට මාස කිහිපයක් වෙනවා. තවම ඒක වුණේ නෑ. ඇස් කණ්ණාඩි ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා කාලයක් වෙනවා. තවම කි‍්‍රයාත්මක වුණේ නෑ. වෛද්‍යාධාර ලැබෙන රක්‍ෂණාවරණයක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කළා. තවම පිළිතුරක් නෑ. කාලයක ඉඳලා මුද්දර යෝජනාවලි හතරක්, පහක් මම ඉදිරිපත් කරලා තියෙනවා. මුද්දර ශිල්පීන් බඳවාගැනීමට අදාළ කොන්දේසි එම යෝජනාවලියට ඇතුළත් කරලා තියෙනවා. එම යෝජනාවලිය ක‍්‍රියාත්මක වුණෙත් නෑ. මුද්දර උපදේශන මණ්ඩලයට මෙතෙක් තෝරාගෙන තියෙන්නේ ඔවුන්ගේ හිතවතුන්ව. මුද්දරය වගේම අවලංගු වන විදිහට තමයි අපිවත් පාවිච්චි කරන්නේ. මේ ගැටලූව නිසාම තැපැල් සේවක සංගම්වලින් අපිට කිව්වා මුද්දර නිර්මාණ ශිල්පීන්ගේ සංසදයක් පිහිටුවන්න කියලා. එවැනි එකමුතුවක් ගොඩනැ`ගීමට පසුබිම හදනකොට අපිට මුද්දර නිර්මාණ කරන්න දෙන්නෙ නැතුව ගියා. අදාළ නිලධාරීන්ට ඔලූව නවාගෙන සිටින කීකරු වන්දිබට්ටයන්ට තමයි මුද්දර නිර්මාණය කිරීමේ කටයුතු භාර දෙන්නේ. ඒ නිසාම මෑත කාලයේ නිර්මාණය වූ මුද්දරවල ගුණාත්මක තත්ත්වය පිරිහිලා තියෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම රටේ නම සටහන් කොට මුද්දර නිර්මාණය කරන ලෝකයේ එකම රට ලංකාව විතරයි. ඉන්දියාවේ ජාතීන් විශාල සංඛ්‍යාවක් ජීවත් වුණත් එරට මුද්දරවල සිත්තම් කෙරෙන්නේ ‘ඉන්දියා’ කියලා විතරයි. භාෂා තුනක නම් ඇතුළත් කරනකොට මුද්දරය නිර්මාණය කරන්න තියෙන ඉඩ ඇහිරෙනවා. අලංකරණය අඩු වෙනවා. මේ පටු ආකල්පවලින් මුද්දර කලාව වෙනස් කරන්න ඕනෑ. එහෙම වුණොත් මීටත් වඩා සුන්දර මුද්දර නිර්මාණ ඉදිරියේදී බිහි වෙනවා…’’

මුද්දර කලාව වෙනම විෂයක්. රටින්, රටට සංස්කෘතියත් සමඟ මුද්දර නිර්මාණය වෙනස් වන ආකාරය, භාවිතයෙන් පසු අවලංගු වන මුද්දර සහ අවලංගු නොකරෙන මුද්දර ගැන අධ්‍යයනය කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. ජාත්‍යන්තර මුද්දර වෙන්දේසි තියෙනවා. මුද්දර කලාව ව්‍යාපාරයක් කරගත්ත ලෝකයේ දැවැන්ත ව්‍යාපාරිකයන් ඉන්නවා. මෙරටත් එවැනි ව්‍යාපාරිකයන් සිටිනවා. ලෝකයේ පවතින සුපිරි ව්‍යාපාරයක්. ඒ නිසා එවැනි ව්‍යාපාර ප‍්‍රසිද්ධියේ කෙරෙන්නේ නෑ. මුද්දර සුරැුකුම් කාලාගාරයක් ආරම්භ වෙනවා නම් මෙරට ව්‍යාපාරිකයන්ටත් මුද්දර ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අවශ්‍ය අධ්‍යයන කටයුතු ලබාගන්න පුළුවන්. ඒ වගේම අවසානයට කියන්න තියෙන්නේ දෙතුන් දෙනකුගේ ඕනෑකමට මගේ සේවය  ලබානොගැනීම සම්බන්ධයෙන් විශාල කනගාටුවක් තියෙනවා. වයසට ගියත් අපේ හැකියාවන්ගේ සේවයක් ගන්න කියා මා ඉල්ලා සිටිනවා…’’ එම අහිංසක ඉල්ලීමත් සමඟ සනත් රෝහණයන් මුද්දරේ කතාව අවසාන කළේය.

 * තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment