“ශ්‍රීමත් ජෝන් ටාබට්” කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය – පළමු කලාප තරගාවලිය අද අනුරාධපුරයෙන් දිග හැරෙයි

142

අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන “ශ්‍රීමත් ජෝන් ටාබ” අභියෝග කුසලාන කනිෂ්ඨ ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ පළමු කලාපීය තරගය අද (30 වැනිදා) සහ හෙට (31 වැනිදා) යන දෙදින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.

අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ යන වයස් සීමාවන් යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු කලාප තරගය සඳහා උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත තුළ පිහිටි පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 ක් පමණ සහභාගි වීමට නියමිතය.

මෙම අදියරේ සෑම ඉසව්වකම පළමු 10 දෙනා ලබන දෙසැම්බර් මස පැවැත්වෙන අවසන් තරගාවලිය සඳහා වරම් ලබති.

මීට අමතරව උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසන් අදියරට පිවිසීමට හැකි වන පරිදි තවත් 34 කු තෝරා ගැනීමට සංවිධායකයන් තීරණය කර තිබේ.

මෙහි දෙවන කලාප තරගාවලිය ඇඹිලිපිටියේ දී ද තෙවැන්න බණ්ඩාරගම දී ද සැප්තැම්බර් මස පැවැත්වීමට පියවර ගෙන තිබේ.

සුපුරුදු පරිදි මෙවර කනිෂ්ඨ තරගාවලිය මෙන්ම ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය ද ‘ස්බරී’ අනුග්‍රාහකත්වයෙන් බල ගැන්වෙයි.

මෙම තරග ද්විත්වය සඳහා දිවයිනේ පාසල් 800 ක් නියෝජනය කරමින් සහභාගිවීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 18,000 කට ආසන්න බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය අනාවරණය කර සිටී.

මෙවර ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය සැප්තැම්බර් මස 13 සිට 16 දක්වා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරේ.

එයට අවුරුදු 20 න් පහළ, 18 න් පහළ සහ 16 න් පහළ යන වයස් සීමාවන් අයත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර, කසුන් රණවීර

ඡායරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment